36_1_කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව බල ගැන්වීම සහ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම

‘ගවේෂණ’ නවතම කලාපය ඇරඹෙනුයේ ”පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය” යන තේමාවට අදාළ සංකල්ප පැහැදිලි කරන ලිපි පෙළකිනි. එනම් විද්‍යාත්මක පර්යේෂණවලට ප‍්‍රජා සහභාගිත්වය පිළිබඳ ව අවධාරණයකිනි. ඒත් සමග ම මෙම සටහනේ දී අපි නූතන ලෝක ගැටලූව වූ කොරෝනා වසංගතය ගැන ඔබේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. ගෝලීය අර්බුදයක් වූ කොරෝනා වසංගත රෝගය පාලනය කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ශ‍්‍රී ලංකාව තුළ හොදින් ක‍්‍රියාත්මක විය. එහෙත් ඒ අභියෝගය ජය ගැනීමේ පළමු හෝරාව සාර්ථක ව නිම කළ ද යළිත් කොරෝනා අවදානම හිස ඔසවමින් පවතී. මෙම අභියෝගය හමුවේ පොදු ජනතාවගේ කාර්යභාරය කුමක් දැයි යන්න පැහැදිලි කර ගත යුතු ව ඇත.

 

මුල් අදියර කිහිපයේ ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය හා එක් වූ ත‍්‍රිවිධ හමුදාව, රෝගය පැතිරීමේ අවදානම අවම කරන ලදී. පොකුරු කීපයක් ම සාර්ථක ව මැඩලීමට රටක් ලෙස අපි සමත් වුණෙමු. එහෙත් කොරෝනාව නැවත හිස එසවීම වළක්වා ගැනීමේ මීළඟ අදියරේ දී වඩාත් ම තීරණාත්මක කාර්යභාරය සතු ව තිබෙන්නේ මහජනතාවට ය; සැබවින් ම ඔවුන්ගේ දෑත්වලට ය. එම නිසා ජනතාව ඒ සඳහා බල ගැන්වීම මෙන් ම පංගුකාරයන් බවට පත් කර ගැනීමේ ක‍්‍රියාදාමය, අප හමුවේ පවතින අභියෝගයකි. එහෙත් අප සතු එම කාර්යභාරය නිසියාකාර ව ඉටු වී ඇත්දැයි ගැඹුරින් සිතා බලන්නට, මිනුවන්ගොඩ ආශ‍්‍රිත ව ඇති වූ ‘කොවිඞ් 19’ පොකුර අපට බල කර සිටී.

මේ දක්වා අප ‘පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ තුළ සාකච්ඡා කළෙත්, ඉලක්ක කළෙත් පර්යේෂණ සඳහා ජනතාව සතු කාර්යභාරය හා ඒවායේ කොටස්කරුවන් බවට ජනතාව පත් කර ගැනීමේ ක‍්‍රියාදාමය පිළිබඳ ව ය. මන්ද යත් පර්යේෂණවල ප‍්‍රතිලාභ වඩාත් භුක්ති විඳිනුයේ ජනතාව වන හෙයිනි. නිහඩ පේ‍්‍රක්ෂකයන් ලෙස නො ව සක‍්‍රීය පංගුකාරයන් ලෙස පර්යේෂණ සඳහා ජනතාව පංගුකාරයන් බවට පත් කර ගැනීමේ ක‍්‍රියාවලිය දැන් කොරෝනා උවදුර පරාජය කිරීම වෙනුවෙන් ද දිගුවක් ලෙස යොදා ගැනීම, අද දවසේ මූලික කටයුත්ත බවට පත් ව ඇත.

කොරෝනා ප‍්‍රශ්නය, සමස්ත ලෝකයට ම අලූත් දෙයක් වන හෙයින් ඒ සඳහා ද පර්යේෂණ කිරීමට සිදු ව ඇත. මේ නිසා කොරෝනාවට අදාළ පර්යේෂණ කටයුතුවලට මෙන් ම කොරෝනාව පරාජය කිරීමේ සමාජීය මෙහෙවර වෙනුවෙන් ජනතාව බල ගන්වා කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ මූලික ව්‍යායාමයට ද අත්වැලක් ලෙස මෙම ‘ගවේෂණ’ කලාපයේ දී යොදා ගත් පර්යේෂණ තේමාව බලාත්මක කිරීමේ හැකියාව ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

විශේෂයෙන් මෙවර කලාපයේ ලිපි, සෞඛ්‍ය පර්යේෂණ හා අධ්‍යාපනය සම්බන්ධ මහජන සහභාගිත්ව සංකල්පය භාවිත කිරීම පිළිබඳ ව ලියැවී ඇතත්, කොරෝනාව වැනි ආපදා තත්ත්වවලට ද මෙම සංකල්පය භාවිත කිරීමේ හැකියාව එලෙස ම පවතියි. එනමුදු සාමාන්‍ය ජන ජීවිතය පවතින අවස්ථාවලට වඩා, මෙවන් සුවිශේෂී අවස්ථාවල මහජන සහභාගිත්වයේ සුවිශේෂී රටා දක්නට ලැබේ. ඒ පිළිබඳ ව ඔබ සැමගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමු.

අපේ වැඬේ අපේ අතේ; ගෙදරින් පටන් ගමු; වැඩ බිමට ගෙන යමු; සමාජය සුරකිමු.

You may also like...