ශ‍්‍රී ලංකා පිළිකා සංගමය සහ එහි ජාතික සේවය

1948 දී ආරම්භ කළ ශ‍්‍රී ලංකා පිළිකා සංගමය මෙරට ප‍්‍රථම පිළිකා සුව සත්කාර ආයතනයයි. 1997 දී පාර්ලිමේන්තු පනතක් මගින් රජයට අනුබද්ධිත පුණ්‍යායතනයක් බවට පත් වූ මෙම ආයතනය වර්තමානයේ සේවා රැුසක් ඉටු කරයි. ශ‍්‍රී ලංකා පිළිකා සංගමයට අනුබද්ධ ශාඛා 5කි. එම ශාඛා සහ ආරම්භ කළ වසර පහත දැක්වේ.

X මොරටුව ශාඛාව         1948

X නුවර ශාඛාව               1971

X ගාල්ල ශාඛාව             1973

X මඩකලපුව ශාඛාව       1980

X අනුරාධපුර ශාඛාව       1993

පිළිකා සංගමය මගින් පිළිකා රෝගීන් හට සත්කාර සැපයීම, එම රෝගීන්ගේ හා ඥාතීන්ගේ බලාපොරොත්තු රහිත මානසික අවපීඩන තත්ත්ව නිසා විය හැකි අපහසුතා මගහරවා යථාර්ථයට මුහුණ දීමට හැකි පරිසරයක් ගොඩනැගීමට කටයුතු කිරීම සහ පොදු මහජනයාගේ සෞඛ්‍ය දැනුම වැඩි දියුණු කිරීමට අවශ්‍ය ව්‍යාපෘති දියත් කරයි. සංගමය මගින් කරන කාර්ය ප‍්‍රධාන අංශ 4කට වෙන් කළ හැකි ය.

x              සායන පැවැත්වීම

x              රෝගී සත්කාර සේවය

x              සහන සේවා සැපයීම

x              අධ්‍යාපන සේවා සැපයීම

 

සායන පැවැත්වීම

පිළිකා සංගමයේ කාර්ය අතුරින් මාසික ව පවත්වන පිළිකා රෝග හදුනා ගැනීමේ සායනය විශේෂ ස්ථානයක් ගනියි. අපේ‍්‍රල් සහ දෙසැම්බර් හැර අනෙක් සෑම මසක ම දෙ වන ඉරු දින කොළඹ පිළිකා සංගම් පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම සායනයේ දී  ඕනෑ ම පුද්ගලයකුට ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍යවරුන් හමු වී නොමිලේ පිළිකා හදුනා ගැනීමට අවස්ථාව සපයා දෙයි. මීට අමතර ව විශේෂ ඉල්ලීම් මත, කොළඹින් බැහැර ප‍්‍රදේශවල ද පිළිකා සංගමය විසින් මෙවැනි සායන සංවිධානය කරනු ලබයි.

රෝගී සත්කාර සේවය

පිළිකා සංගමය මගින් පවත්වාගෙන යන සත්කාර සේවා මධ්‍යස්ථාන දෙකක් “මහරගම අපේක්ෂා රෝහල” අසල පිහිටුවා තිබේ. මෙම මධ්‍යස්ථාන “ශාන්ත සෙවන” හා “බණ්ඩාරනායක වාට්ටුව” ලෙස හදුන්වනු ලබයි. මූලික ප‍්‍රතිකාර අවසන් කළ, එය සුව කළ නොහැකි තත්ත්වයේ පසුවන රෝගීන් 35 දෙනකු “ශාන්ත සෙවන” මධ්‍යස්ථානය මගින් රැක බලා ගනු ලබයි. මහරගම පිළිකා රෝහලෙන් මෙන් ම දිවයිනේ  ඕනෑ ම රෝහලකින් පිළිකා රෝගය සඳහා මූලික ප‍්‍රතිකාර අවසන් කළ රෝගියකුට මෙම ආයතනයට ඇතුළු වීමේ හැකියාව ඇත. එම රෝගීන්ට අවශ්‍ය සියලූ ආහාරපාන සහ ඇඳුම් පැළදුම් නොමිලේ ලබා දෙන අතර ම තම දිවියේ අවසන් කාලය නිවෙස්වල නොසිට සතුටින් ඉහළ මානසික තත්ත්වයක් සහිත ව ගත කිරීමට ඉඩ ප‍්‍රස්තාව මෙම මධ්‍යස්ථානය උදාකර දෙයි.

ආයතනයේ ස්වේච්ඡාවෙන් සේවයේ යෙදෙන වෛද්‍යවරු දෙදෙනෙක් සිටිති. එමෙන් ම කාන්තා හා පිරිමි වාට්ටුවල සේවය සඳහා සාත්තු සේවකයින් හය දෙනා බැගින් සිටිති. එසේ ම රෝගී සත්කාර සඳහා ප‍්‍රධාන හෙද පාලිකාවක් මෙන් ම හෙද නිලධාරීන් හත් දෙනෙක් සේවයේ යෙදී සිටිති. මෙම ආයතනයේ උපදේශන සේවාවක් ද පවත්වාගෙන යයි. පුහුණු උපදේශකයින් සේවයේ යොදවා ඇති අතර රෝගීන්ට, රෝගීන් ගේ ඥාතීන්ට මෙන් ම වෙනත්  ඕනෑ ම අයකුට උපදේශන සේවා ඔස්සේ මානසික සහනය ලබා ගත හැකි ය.

කොළඹින් බැහැර ප‍්‍රදේශවල සිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මහරගම පිහිටි “අපේක්ෂා රෝහලට” පැමිණෙන රෝගීන් 85 දෙනකු “බණ්ඩාරනායක වාට්ටුවේ” නවාතැන් ගෙන සිටිති. බණ්ඩාරනායක වාටිටු සංකීර්ණය පිරිමි වාට්ටු තුනකින්,  කාන්තා වාට්ටු දෙකකින් හා විශේෂ කාමර 12 කින් යුක්ත වන අතර එය හෙදි නේවාසිකාගාරයකින් ද සමන්විත ය. මෙම ආයතනයට රෝගීන් ඇතුළත් කර ගනු ලබන්නේ මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව ය. දිනපතා මෙම ආයතනයේ පවතින පුරප්පාඩු මහරගම පිළිකා රෝහලට දැනුම් දෙන අතර ඒ අනුව දෛනික ව පැමිණෙන රෝගීන්ගෙන් කොටසක් පුරප්පාඩු අනුව මෙම ආයතනයට එවනු ලබයි.

නියමිත කාලය සපිරෙන තෙක් අපේක්ෂා රෝහලෙන් භෞතික සහ රසායනික වෛද්‍ය ප‍්‍රතිකාර ලබන මෙම රෝගීන්ට අවශ්‍ය සියලූ ආහාරපාන හා ඇදුම් පැළදුම් මෙම මධ්‍යස්ථානය මගින් නොමිලේ ලබා දෙයි. බොහෝ රෝගීන් අනුරාධපුර, බදුල්ල, හා හම්බන්තොට වැනි ප‍්‍රදේශවල වැසියන් වන අතර මෙලෙස නොමිලේ නවාතැන් සහ ආහාර පාන ලැබීම නිසා ඔවුන්ට විශාල මුල්‍යමය ඉතිරියක් සිදු වේ. රෝගීන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමට අවශ්‍ය  සියලූ පහසුකම් මෙම මධ්‍යස්ථානවල ස්ථාපිත ව ඇත. යහපත් නිස්කලංක පරිසරය, සර්වාගමික වතාවත්, සිංහල දෙමළ අලූත් අවුරුද්ද හා නත්තල් දිනය උත්සවාකාරයෙන් සැමරීම, පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලබා දීම, බාහිර පුද්ගලයන්ට ආහාර පාන පිළිගැන්වීමට සහ තේපැන් සංග‍්‍රහ රෝගීන් වෙනුවෙන් පැවැත්වීමට ඉඩ සැලැස්වීම, මේ අතරින් ප‍්‍රධාන වෙයි.

සහන සේවා සැපයීම

ආර්ථිකමය ගැටලූවලින් පෙළෙන පිළිකා රෝගීන් 125 දෙනකුට මාසික ව රු. 1500 බැගින් ලබා දෙනු ලැබේ. මේ අතරින් රෝගීන් 100 දෙනකු කොළඹින් බැහැර දුෂ්කර ප‍්‍රදේශවල වැසියන් වන අතර ඔවුන්ට මුදල් ඇනවුම් ඔස්සේ මුදල් ලබා දෙන අතර ඉතිරි රෝගීන්ට පිළිකා සංගම් මධ්‍යස්ථානයේ දී මුදල් ලබා දෙනු ලැබේ.

මීට අමතර ව පිළිකා සංගමයට පැමිණෙන රෝගීන්ට වියළි ආහාර ද්‍රව්‍ය, ඇදුම් පැළදුම් හා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පාසල් උපකරණ ද මෙම සේවය යටතේ සැපයෙයි. මෙම සංගමය මගින් මහරගම අපේක්ෂා රෝහල් පරිශ‍්‍රයේ පිහිටි ප‍්‍රධාන ආපන ශාලාව පවත්වාගෙන යන අතර ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට, රෝගීන් බැලීමට එන පවුලේ සාමාජිකයන්ට හා නැදෑ හිතමිතුරන්ට ඉතා සහනදායි මිලට ආහාර පාන සපයනු ලැබේ.

අධ්‍යාපන සේවා සැපයීම

“පිළිකා ඇතිවීම වළක්වා ගත හැකි ය; එය සුව කළ හැකි ය; එයට ඔබ බිය විය යුතු නැත”, මෙම සංගමයේ අධ්‍යාපන අංශයේ තේමාව එයයි. මහජනතාව අතර පිළිකාව පිළිබඳ ව ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා වෙර දරන අධ්‍යාපන අංශය කොළඹ මෙන් ම කොළඹින් පිට පළාත්වල ද සේවා රැුසක් සිදු කරයි. මේ අතරින් දිවයින පුරා පිහිටි පාසල්, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිර්මාණය වූ ග‍්‍රාමීය වනිතා සංගම් හා පෞද්ගලික ආයතන පාදක කර ගෙන විශේෂ වැඩසටහන් පැවැත්වීම, අත් පත‍්‍රිකා බෙදා දීම, කාව්‍ය තරග හා රචනා තරග පැවැත්වීම, ප‍්‍රධාන වෙයි.

බාලක සහ බාලිකා පාසල්වල 8 වන ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල සිසුන් සඳහා රූපමය මාධ්‍ය යොදා ගෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මෙම අංශයේ ප‍්‍රධාන කාර්යයකි. පිළිකා කලින් හදුනා ගැනීමේ ඇති වැදගත්කම, පිළිකා වළක්වා ගත හැකි චර්යා රටා, සෞඛ්‍යයට අහිතකර ආහාර පාන, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් ඇතිවන බලපෑම් මෙහි දී පැහැදිලි කරයි. මෙම පාසල් වැඩසටහන් සඳහා ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් ලැබෙන අතර පිළිකා හදුනා ගැනීම සඳහා පැවැත්වෙන සායන සඳහා මෙම දරුවන්ගේ දෙමව්පියන්ගේ සහභාගිත්වය වැඩිවීම, මෙහි සාර්ථකත්වය පිළිඹිබු කරන වැදගත් සාධකයකි.

මෙවැනි සේවා රැුසක් සිදු කරන “ශ‍්‍රී ලංකා පිළිකා සංගමය” ශ‍්‍රී ලංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එක් දෙයකි. එනම් “ඔබ, ඔබට, ඔබේ දරුවන්ට සහ පවුලේ සාමාජිකයන්ට ආදරෙයි නම් නොපමාව වෛද්‍ය සායනවලට සහභාගි වී පූර්ව පිළිකා තත්ත්ව තිබේදැයි පරික්ෂා කර ගන්න” යන්න ය. මෙසේ පරික්ෂා කිරීම මගින් බොහෝ පිළිකා තත්ත්ව සුව කර ගත හැකි වේ. එමෙන් ම වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් සෑම වසර 5කට වරක් “පැප් පරික්ෂාව” සඳහා යොමු වීම හා ස්වයං පියයුරු පරික්ෂාව, පිළිකා වළක්වා ගැනීමට වැදගත් වේ.

“ශ‍්‍රී ලංකා පිළිකා සංගමය” රජයේ අනුමත ලාබ නොලබන පුණ්‍යායතනයකි. එහි සේවාවන් ලැබීමට හෝ ඊට දායකත්වය දැක්වීමට ඔබ කැමති නම් පහත දුරකථන අංකය මගින් ඔවුන් ව සම්බන්ධ කර ගත හැකි ය.

තොරතුරු සැපයීම : ඩි. ඩබ්. සෝමදාස ජයරත්න (අධ්‍යාපන අංශ ප‍්‍රධානි)

දුරකථන : 0112585879

ලිපිනය: ශ‍්‍රී ලංකා පිළිකා සංගමය, අංක 37/25, බුලර්ස් පටුමග, කොළඹ 07.

 

ලසිත් දිසානායක

 

You may also like...