කෙසෙල්

ආහාරයක් ගැනීමේ දී වරක් දෙ වරක් නො ව දස වතාවක් හිතන්නට සිදු ව තිබේ. ඒ මන්ද යත් ආහාරවලින් අපේක්ෂා කරන පෝෂණය සහ ආරක්ෂාවට අමතර ව ඒවාට ගොවි බිමේ දී ද වෙළෙඳ පොළේ දී ද ආහාර පිළියෙල කිරීමේ දී ද එක් කරන ශරීරයට අහිතකර දේ පිළිබඳ ව ද සැලකිලිමත් වීමට සිදු ව තිබෙන හෙයිනි. රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව පවතින නිධන්ගත වකුගඩු රෝගයට හේතු ව ද නව තාක්ෂණික ක‍්‍රමවේද ඔස්සේ නිපදවා කෘෂිකර්මාන්තයට එක් කරන රසායනිකයන් බව බොහෝ පර්යේෂක අදහස යි. මෙය එක්තරා ආකාරයකට ලෝකයේ නව තාක්ෂණික දියුණු ව මිනිස් සමාජය ආපස්සට අරගෙන යනවා ය ලෙස යමකුට තර්කයක් ඉදිරිපත් කළ හැකි ය.

එසේ ම අපේ රට විවිධාකාර, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග සහ නොයෙකුත් ආහාර වර්ග බහුල රටක් වුව ද මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ලෝකයේ දියුණු රටවල් හා සසඳන කල කොහෙත් ම සතුටුදායක මට්ටමක නැත. 2006/2007 ජන ව්‍යාප්තිය හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අපේ රටේ අලූත උපදින දරුවන්ගෙන් 16.6%ක් “අඩු උපත් බර සහිත” දරුවන් ය. ගර්භනී අවධියේ මවගේ දුර්වල පෝෂණ තත්ත්වය මීට ප‍්‍රධාන හේතුව යි. උපත් බර අඩු දරුවන් මන්දපෝෂණයට හා විවිධ රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි ය.

පෝෂණ ඌනතා හා අනෙකුත් සෞඛ්‍ය ගැටලූවලින් මිදීමට නම් ආහාරවල තිබෙන ගුණ-අගුණ සේ ම වර්තමානයේ අප වෙළෙඳපොළේ දී මේවා මිල දී ගැනීමේ දී සැලකිලිමත් වීම ද ඉතා ම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා නවතම පර්යේෂණාත්මක තොරතුරු ද ඇතුළත් “හොඳ ආහාරයක් ගනිමු” යන තේමාව යටතේ ගවේෂණාත්මක ලිපි පෙළක් “ගවේෂණ” පාඨකයන් වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. එමගින් රටේ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු දැකීම ද දැනුමින් සන්නද්ධ යහපත් පුරවැසියන්ගෙන් යුත් දියුණු රටක් වනු දැකීම ද අපගේ අපේක්ෂාව යි. ලෝකයේ වැඩි ම දෙනකුගේ ප‍්‍රධාන ම පලතුරක් ලෙස ආහාරයට ගන්නා කෙසෙල් පිළිබඳ ව අපි මෙවර කලාපයෙන් සාකච්ඡා කරමු.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මගින් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයටත්, නිසි මානසික හා කායික වර්ධනයටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබේ. සෑම ආහාරයක ම පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් ඇති නමුත් එක් ආහාරයක සෑම පෝෂ්‍ය පදාර්ථයක් ම අඩංගු නො වේ. එබැවින් දිනපතා විවිධ ආහාර ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක් ම ලබා ගත හැකි ය. මෙලෙස සෑම පෝෂ්‍ය පදාර්ථයක් ම අවශ්‍ය ප‍්‍රමාණවලින් අඩංගු ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස හඳුන්වනු ලබයි.

බොහෝ දේ අඩංගු කෙසෙල් යනු ලොකු කුඩා කවුරුත් එක ලෙස ප‍්‍රිය කරන ආහාරයකි. ප‍්‍රණීත රසය හා දිරවීමේ පහසුව නිසා ලොව වැඩි දෙනකුගේ ප‍්‍රියතම අතුරුපසක් බවට කෙසෙල් පත් ව තිබේ. දැනට ලෝකයේ වගා කරන වැදගත් ම බෝගයක් වන වී, තිරිඟු සහ බඩඉරිඟුවලට පසු ව හතර වන වැදගත් ම බෝගය වශයෙන් සැලකෙන්නේ කෙසෙල් ය. එසේ ම ලෝකයේ වැඩිපුර ම වගා කරන පලතුරු අතරින් කෙසෙල් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි.

කෙසෙල් ශාකය ලොව පළමු ව ව්‍යාප්ත වූයේ පැපුවානිව්ගිනියාවේ බව විශ්වාස කෙරේ. කෙසෙල් විශේෂ 1000ක් පමණ ලොව පුරා රටවල් 107ක දැනට හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ වගා කර ඇති මුළු පලතුරු භූමි වපසරියෙන් 54%ක් ම ඇත්තේ කෙසෙල් ය. කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රධානතම ලාභය ආහාරයක් ලෙස ගත හැකි වීම වුව ද අලංකරණ ශාකයක් ලෙස ද තන්තු ලබා ගැනීම සඳහා ද එය භාවිත වේ. කෙසෙල් පලතුරක් ලෙස මෙන් ම වෑංජනයක් ලෙස ද ආහාරයට ගැනේ. මීට අමතර ව අප රට ද ඇතුළු ව ඇතැම් රටවල කෙසෙල් මුව ද කෙසෙල් බඩය ද ආහාරයට ගැනේ. මෙම ලිපිය මගින් අප උත්සාහ දරන්නේ පලතුරක් ලෙස කෙසෙල්වල ඇති වැදගත්කම ද කෙසෙල් ආහාරයට ගැනීමේ දී සහ මිල දී ගැනීමේ දී දත යුතු කරුණු ද පිළිබඳ ව පර්යේෂණාත්මක දෘෂ්ටි කෝණයකින් විමසා බැලීමට ය.

කෙසෙල්වල ඇති පෝෂණ සංඝටක

පෝෂකය                          ප‍්‍රමාණය %

ජලය                                 73 – 75

කාබෝහයිඩ්‍රේට්                  23.20

ප්‍රෝටීන්                               1.16

දළ තන්තු                            0.76

මේදය                                  0.36

විටමින් B6                           0.5

මැන්ගනීස්                           0.3

විටමින් C                               9

පොටෑසියම්                         450

තන්තු හා කෙඳි                      3

ප්‍රෝටීන                                 1

මැග්නීසියම්                         34

ෆෝලේට්                           0.025

රයිබොෆ්ලේවින්                 0.1

නියැසින්                              0.8

යකඩ                                   0.3

 

කෙසෙල් ගෙඩියක කෑමට ගත හැකි කොටසේ ග‍්‍රෑම් 100ක් සැලකූ කල එහි ශක්තිය කිලෝ ජූල් 371ක් අන්තර්ගත ය. කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑම් 23ක් පමණ ඇත. තන්තු ග‍්‍රෑම් 3කට ආසන්න ප‍්‍රමාණයක් ද මේදය ග‍්‍රෑම් 0.33ක් ද ප්‍රෝටීන ග‍්‍රෑම් 1ක් ද ඇත. කෙසෙල්වල ඇති විටමින් වන්නේ විටමින් B 1, විටමින් B 2, විටමින් B 3, විටමින් B 5, විටමින් B 6, යනාදිය යි. ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන් ලැබිය යුතු පෝෂණ සංඝටකයක් වන ෆෝලේට් ද සැලකිය යුතු ප‍්‍රමාණයක් පවතී. කැල්සියම්, යකඩ, මැග්නිසියම්, පොටෑසියම්, පොස්පරස්, සින්ක් යනාදිය ද සැලකිය යුතු ප‍්‍රතිශතවලින් පවතී.

ක‍්‍රීඩකයන්ට ශක්තිජනක ආහාරයක් ලෙස කෙසෙල්වල සුක්‍රෝස්, ෆ්රක්ටෝස් හා ග්ලූකොස් වැනි ස්වාභාවික සීනි වර්ග අන්තර්ගත වේ. එම නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයට ක්ෂණික ශක්ති වැඩි වීමක් ලැබේ. එම නිසා කෙසෙල් ලොව පුරා ක‍්‍රීඩකයන් අතර ශක්තිජනක ආහාරයක් ලෙස ඉතා ජනප‍්‍රිය ව පවතී.

ඇමෙරිකාවේ උතුරු කැරලිනා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඬේවිඞ් නෙයිමාන් ඇතුළු පිරිස කරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගැනීම මගින් විනාඩි 90ක වෙහෙසකර ව්‍යායාම් කාලයක් සඳහා ප‍්‍රමාණවත් ශක්තිය සැපයෙන බව යි. මීට අමතර ව කෙසෙල්වල අන්තර්ගත පොටෑසියම් ශරීරයේ පේශි සංකෝචනයට හා ව්‍යායාම් කිරීමේ දී සිදු වන කෙණ්ඩා පෙරළීම වැනි තත්ත්වයන් අඩු කිරීමට වැදගත් වේ.

ඕනෑ ම ක‍්‍රිඩකයකුගේ සාර්ථකත්වයට මානසික ඒකාග‍්‍රතාව ඉතා වැදගත් වේ. කෙසෙල් ආහාරයට ගැනීම මගින් ක‍්‍රීඩකයන්ගේ මානසික ඒකාග‍්‍රතාව හා සාවධාන බව වැඩි වර්ධනය වේ.

සාමාන්‍ය පුද්ගලයකුට සාපේක්ෂ ව ක‍්‍රීඩකයකු ඉතා අධික ලෙස කායික ව වෙහෙසට පත් වන බැවින් ඔවුනට වැඩිපුර විටමින් B6 අවශ්‍ය වේ (විටමින් B6 ශරීරයට ලැබෙන පෝෂකවලින් ශක්තිය නිදහස් කිරීම සඳහා වැදගත් වේ). එක් කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් නිර්දේශිත දෛනික විටමින් B6 ප‍්‍රමාණයෙන් 1/3ක් පමණ ලබා ගත හැකි ය.

බඩවැල් ආශ‍්‍රිත රෝග සමනයට කෙසෙල්වල බහුල ව පවතින සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් සහ ඇල්ෆා ග්ලූකන්ස් වැනි නොදිරවන තන්තු (Non-digestible fibers) මගින්, බඩවැල්වල නිසි ක‍්‍රියාකාරීත්වය පවත්වා ගැනීම මගින් මළබද්ධය හා බඩවැල් ආශ‍්‍රිත රෝග වළක්වා ගැනීමට උදව් වේ. එමෙන් ම ආහාර මගින් ශරීරයට ඇතුළු වන නොයෙකුත් විෂ ද්‍රව්‍ය හා පිළිකාකාරක වර්ග ශරීරයෙන් ඉවත් කරලීම මගින් නිදන්ගත රෝග වැළඳීමේ අවදානම අඩු කරයි. කොලෙස්ටරෝල් ඇතුළු අහිතකර තෙල් වර්ග ශරීරයට උරා ගැනීම ද පාලනය කරයි. අතීසාරය වැළැක්වීමේ හැකියාව ද කෙසෙල් සතු ය. ඊට හේතු වන්නේ ද කෙසෙල්වල පවතින තන්තුමය ස්වභාවය යි.

කෙසෙල්වල විශේෂිත ලෙස අන්තර්ගත වන ෆ්රක්ටොඔලිගොසැකරයිඩ (Fructooligosaccharides) නමැති සංයෝග මගින් බඩවැල්වල ජීවත් වන හිතකර බැක්ටීරීයා පෝෂ්‍ය කරයිි. මෙම හිතකර බැක්ටීරියා මගින් විවිධ විටමින සහ ජීරක එන්සයිම ස‍්‍රාවය කරන අතර එමගින් බඩවැල්වල පෝෂක අවශෝෂණ හැකියාව වැඩි දියුණු කරයි. තව ද ශරීරයට අහිතකර බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.

හදවත රැක දෙන කෙසෙල් ඉතා හොඳ පොටෑසියම් ප‍්‍රභවයකි. පොටෑසියම් ශරීරයට අවශ්‍ය ඉතා වැදගත් ඛණිජයක් වන අතර එය හදවත නිරෝගී ව පවත්වා ගැනීමටත්, රුධිර පීඩනය සාමාන්‍ය කිරීමටත් වැදගත් වේ. විවිධ වර්ගයේ එළවළු පලතුරු මෙන් ම මස් වර්ගවල ද පොටෑසියම් අන්තර්ගත වන නමුත් එක කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පමණක් දෛනික පොටෑසියම් අවශ්‍යතාවෙන් 23%ක් සපුරා ගැනීමට ඔබට හැකි වේ.  මධ්‍යම ප‍්‍රමාණයේ කෙසෙල් ගෙඩියක මිලි ග‍්‍රෑම් 450ක් පමණ පොටෑසියම් අඩංගු වේ.

මෑතක දී කරන ලද විද්‍යාත්මක අධ්‍යයන ගණනාවක දී ම හදවත නිරෝගී ව පවත්වා ගැනීමට පොටෑසියම්වල ඇති වැදගත්කම පෙන්වා දී ඇත. ඇමෙරිකාවේ වැන්ඩර්බිල්ට් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු වන වෛද්‍ය මාර්ක් හූස්ටන් පෙන්වා දී ඇත්තේ පොටෑසියම් බහුල ආහාර ගැනීම මගින් අධි රුධිර පීඩනය, හෘද රෝගය, ආඝාතය වැනි රෝගී තත්ත්ව සඳහා වූ අවදානම අඩු කර ගත හැකි බව යි.

තවද කෙසෙල්වල ඇති ස්වාභාවික සංඝටක අධි රුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධවලට සමාන ආකාරයකින් කි‍්‍රයා කරන බව ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන ඇත. මෙම අධ්‍යයනයේ දී තවදුරටත් පැහැදිලි වී ඇත්තේ අමු කෙසෙල්වලට වඩා ඉදුණු කෙසෙල්වල මෙම ගුණය වැඩි බව යි. දිනකට කෙසෙල් ගෙඩි 2ක් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය 10%කින් අඩු කර ගත හැකි බව පර්යේෂකයන් විසින් අනාවරණය කර ගෙන ඇත.

රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත් රුධිර නාළවල මේද තැන්පත් කිරීම් අවම කිරීමටත් කෙසෙල්වලට හැකියාව ඇත. කෙසෙල්වල අඩංගු තන්තු හා විටමින මේ සඳහා හේතු වන බව විද්‍යාඥයන්ගේ මතයයි.

ඇදුම රෝගින් සඳහා විශේෂ යි. ඇදුම රෝගයට කදිම ප‍්‍රතිකාරයක් ලෙස කෙසෙල් හැඳින්විය හැකි ය. ලන්ඩනයේ ඉම්පීරියල් විදුහලේ, හෘද හා පෙනහළු පිළිබද ජාතික ආයතනය විසින් කරන ලද අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ, දිනකට එක කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් හතිය වැනි ඇදුම රෝග ලක්ෂණ වර්ධනය වීම 34%කින් පමණ අඩු කර ගත හැකි බව යි. අනෙකුත් පලතුරුවලට වඩා කෙසෙල්වල ඉහළ ජල ද්‍රාව්‍ය ෆීනෝලික අම්ල ප‍්‍රමාණයක් අඩංගු වන අතර මෙය ශ්වසන පද්ධතියේ ප‍්‍රදාහයන් අඩු කිරීමට හේතු වේ. මීට අමතර ව කෙසෙල්වල අන්තර්ගත විටමින් B 6 ශ්වාස නාලවල ඇති සිනිදු පේශි පටක ලිහිල් කිරීමට හේතු වන විවිධ සංයෝග නිපදවීමට උපකාරී වන බව සොයා ගෙන ඇත. එමගින් ශ්වසන අපහසුතා මග හරවයි.

පිළිකා පාලනය කිරීමේ ගුණය කෙසෙල්වල වූ පෝෂණය විවිධ පිළිකා අවදානම් ඇති පුද්ගලයන්ට සහනය ගෙන දෙයි. මහා ආන්ති‍්‍රක පිළිකා (Colorectal cancer) රෝගීන් ඇසුරෙන් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ කෙසෙල් ආහාරයට ගැනීම මහ ආන්ති‍්‍රක පිළිකා අඩු කිරීමට හේතු වන බව යි. තව ද කෙසෙල් වැනි ප‍්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ පලතුරු ආහාරයට ගැනීම මගින් වකුගඩු ආශි‍්‍රත පිළිකා අවදානම ද අඩු කර ගැනීමට හැකි වන බව සොයා ගෙන ඇත.

2004 වර්ෂයේ, ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මේරිලින් ක්වෑන් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් කරන ලද පර්යේණයකින් පෙන්වා දෙන්නේ දිවියේ පළමු අවුරුදු දෙකක් දක්වා කාලය තුළ ළදරුවන්ට කෙසෙල් ආහාරයට එක් කිරීම ළමා ලියුකේමියාව නමැති පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානම අඩු කිරීමට හේතු වන බව යි.

HIV මර්දනයට නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ HIV වෛරසය මර්දනයට කෙසෙල් යොදා ගත හැකි බව යි . මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෑතක දී පෙන්වා දුන්නේ HIV වෛරසය පැතිරී යාම වැළැක්වීමට කෙසෙල්වලින් ප‍්‍රබල ඖෂධයක් නිපදවිය හැකි බව යි. කෙසෙල්වල පවතින බැන්ලෙක් නම් ප්‍රෝටීනය HIV නිෂේධකයක් ලෙස ක‍්‍රියාකරන බව පෙනී ගොස් තිබේ. බැන්ලෙක්, ලෙක්ටීන් නමැති ප්‍රෝටීන වර්ගයට අයත් වේ. ලෙක්ටීන් යනු සීනි හා බැදීමේ හැකියාව ඇති ප්‍රෝටීන විශේෂයකි. මේවාට වයිරස වැනි ආගන්තුක දේහ හඳුනා ගැනීමේ හැකියාව පවතී. හඳුනා ගන්නට පමණක් නො ව වයිරස වැනි ආගන්තුක දේහවලට බැඳී ඒවා වනසන්නට ද හැකියාව ඇත. HIV -1 ප්‍රෝටීනය හා බැදෙන්නටත් එය වනසන්නටත් කෙසෙල් ප්‍රෝටීනයක් වන බැන්ලෙක් සතු හැකියාව ඉතා ඉහළ ය. බැන්ලෙක් ප්‍රෝටීනය බහුල ව ඇත්තේ ‘ඇපල් බනානා’ (Apple bananas) හා රත් කෙසෙල් වැනි කෙසෙල් වර්ග කිහිපයක පමණි.

ස්නායු පද්ධතිය සුව කරයි. ආතතිය (Stress) හා විශාදයෙන් (Depression) පෙළෙන පුද්ගලයන්ට කෙසෙල් ආහාරයට ගැනීම සහනය ගෙන දෙන බව සොයා ගෙන ඇත. මේ සඳහා වැදගත් වන්නේ කෙසෙල්වල අන්තර්ගත ටි‍්‍රප්ටොෆෑන් නම් ඇමයිනෝ අම්ලය යි. මෙය ශරීරය තුළ දී ආතතිය සමනය කිරීමට හේතු වන සෙරොටනින් (Serotonin) නම් සංයෝගය බවට පරිවර්තනය වේ. මීට අමතර ව ශරීරයේ මැග්නීසියම් මට්ටම ඉහළ දැමීම සඳහා ද ටි‍්‍රප්ටොෆෑන් හේතු වේ. මැග්නීසියම් මගින් සාංකාව (Anxiety) නමැති මානසික රෝගි තත්ත්වය අඩු කරන බව විද්‍යාඥයන් තහවුරු කරයි.

කෙසෙල්වල අන්තර්ගත ප‍්‍රතිඔක්සිකාරක හා ෆීනෝලික සංයෝග ස්නායු ෙසෙල රැක ගැනීම සඳහා උදවු වන බව ඇමෙරිකාවේ කෝනෙල් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ. කෙසෙල් ආහාරයට ගැනීම මගින් ඇල්සයිමර් රෝගය (Alzheimer & disease) වැනි ස්නායු පිරිහීමේ රෝ්ගී තත්ත්ව ඇති වීමේ අවදානම ද අඩු කර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

මොළයේ ක‍්‍රියාකාරිත්වය හා වර්ධනය සඳහා කෙසෙල්වල අඩංගු වන පෝෂ්‍ය සංඝටක බෙහෙවින් වැදගත් වේ. බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් පාසල් ළමයින් ඇසුරෙන් කළ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ දිනකට කෙසෙල් ගෙඩි තුනක් ආහාරයට ගැනීම ළමයින්ගේ ඉගෙනුම් හැකියාව හා උද්යෝගය වර්ධනය කිරීමට හේතු වන බව යි.

කෙසෙල් වැඩිපුර ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ?

අප ඉහත සාකච්ඡුා කළේ කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි ප‍්‍රයෝජන පිළිබදව යි. එහෙත් ඔබ දන්නවා  ඕනෑ ම ආහාරයක් පමණට වඩා ගැනීමෙන් විවිධ අතුරු ආබාධ ඇති විය හැකි බව. එමෙන් ම විවිධ රෝග සඳහා අප ගන්නා ඇතැම් ඖෂධ ආහාර සමග අන්තර්ක‍්‍රියා කිරීමෙන් ද විවිධ සංකූලතා ඇති විය හැකි ය.

අධික ලෙස කෙසෙල් ආහාරයට ගැනීම නිසා හිසරදය හැදීමට පුළුවන. මේ සඳහා හේතු වන්නේ කෙසෙල්වල අඩංගු ටයිරැුමීන් ෆෙනිල් එතිල් ඇමීන් හා ඇමයිනෝ අම්ල ය. වැඩිපුර ඉදුණු කෙසෙල්වල මෙම සංයෝගය වැඩිපුර අන්තර්ගත වේ. මෙම සංයෝග මගින් රුධිරනාල විස්තාරණය කර මොළයට සපයන රුධිරය වැඩි වීමෙන් හිසරදය ඇති වේ.

හෘද රෝගීන්ට කෙසෙල් සුදුසු ද?

බටහිර ඖෂධ ලබා ගන්නා හෘද රෝගීන් විශේෂයෙන් අධික ලෙස කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු ය. හදවත් රෝග සඳහා බහුලව නිර්දේශ කරන beta blockers  වර්ගයේ ඖෂධ මගින් රුධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ යාම සිදු වේ. මේ නිසා කෙසෙල් වැනි පොටෑසියම් බහුල ආහාර ගැනීම පාලනය කළ යුතු ය.

කෙසෙල් වගාවට කෘමිනාශක භාවිතය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කෙසෙල් වගාවට හානි කරන කඳගුල්ලා, අලගුල්ලා වැනි කෘමීන් මර්ධනය සදහා කාබොෆියුරාන් නමැති රසායනිකය බහුල ව භාවිත වේ. මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරුට ඇතුළු වීමෙන් ස්නායු පද්ධතියට හානි සිදුවීමේ හැකියාව ඇත. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය පාලනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විවිධ නිර්නායක ගොවීන්ට හදුන්වා දී ඇත. කෙසෙල් කැන් පීදී ඇති විට කාබෝෆියුරාන් කෙසෙල් පඳුරුවලට හෝ පසට එක් නොකිරීම ඉන් එක නිර්නායකයකි. පීදුණු පසු ව යෙදු විට ගෙඩිවල විෂ රැදී පවතී. එවිට එම කෙසෙල් ආහාරයට ගැනීම සෞඛ්‍ය ආරක්ෂිත නො වේ. මීට අමතර ව රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා භෞතික කෘමි මර්ධන ක‍්‍රම හදුන්වා දී ඇත. පැළ සිටුවීමේ දී කෙසෙල් ගුල්ලාගේ හානියෙන් තොර නීරෝගී පැළ ලබා ගැනීම සඳහා යොදා ගන්නා ඉතා කාර්යක්ෂම ක‍්‍රම 2ක් වේ. එනම් ඇල්දිය ප‍්‍රතිකාරය හා උණුදිය ප‍්‍රතිකාරය යි. ඇල්දිය ප‍්‍රතිකාරයේ දී කෙසෙල් පැළවල අලය කොටස පමණක් පිරිසිදු ඇල්දියෙහි ගිල්වා දින 2ක් පමණ ඒ ආකාරයට ම තිබීමට හරිනු ලැබේ. එවිට මුල්වලින් ජලය උරාගෙන අලය තුළ සිටින කීටයින්, බිත්තර හා වැඩුණු සතුන් ඇතුළු සියලූ කොටස් විනාශ වී යයි. ඒවා දින 2න් පසු ව ඉවතට ගෙන ක්ෂේත‍්‍රයේ සිටුවිය හැකි ය. උණුදිය ප‍්‍රතිකාරයේ දී කෙසෙල් පැළයක අලය කොටස පමණක් නටන ජලයේ තත්පර 30ක් 40ක් ගිල්වා තබනු ලැබේ. එවිට අලයේ සිටින සියලූ ම සතුන් විනාශ වී යන අතර වෙනත් දිලීර, බැක්ටීරියා වැනි බීජාණු ද විනාශ වී යයි. මෙමගින් සාර්ථක ව කෘමී මර්දනය කළ හැකි අතර කෘමිනාශක මගින් වන සෞඛ්‍ය හානිය ද අවම කර ගත හැකි ය.

තව ද කෙසෙල් වගාවට හානි කරන දිලීර මර්දනයට යොදා ගන්නා දිලීරනාශක ද සෞඛ්‍යයට හානිකර වේ. කොස්ටරිකා රාජ්‍යයේ විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් කෘමිනාශකවලට නිරාවරණය වීම මගින් සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි, ශ්වසන පද්ධතියේ අසාත්මිකතා හා නව දරු උපත් ආකූලතා වැනි රෝගී තත්ත්ව ඇති වීමේ අවදානමක් පවතින බව යි. එම නිසා වගාවන් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට වඩා කෘමිනාශක භාවිත කිරීම ගොවීන් විසින් අවම කළ යුතු ය.

ඔබේ සෞඛ්‍යයට වින කරන කාබයිඞ් පලතුරු ඉදීම යනු ජෛවරසායනික ක‍්‍රියාවලියකි. එහි දී කෙසෙල් ගෙඩිවල වර්ණය, සුවඳ, රසය මෙන් ම ස්වභාවය ද වෙනස් වීමකට ලක් වේ. පලතුරුවල ස්වාභාවික ව නිපදවෙන “එතිලීන්” නම් හෝමෝනයේ ක‍්‍රියාකාරීත්වය මේ සඳහා බලපායි.

අපට අද වෙළෙඳ පොළේ දී බොහෝ විට මිල දී ගන්නට ලැබෙන්නේ ස්වාභාවික ව ඉදුණු පලතුරු නො ව කෘති‍්‍රම ව ඉදවන ලද ඒවා ය. මෙසේ කෘත‍්‍රිම ව ඉදවීමට භාවිත කරන රසායනික සංයෝග රාශියක් ඇතිමුත් වර්තමානයේ වැඩිපුර ම භාවිත කරන්නේ “කාබයිඞ්” ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන කැල්සියම් කාබයිඞ් නමැති රසායනික සංයෝගය යි. මෙම සංයෝගය වඩා ලාභදායි වීමත් පැය 24ක් වැනි ඉතා කෙටි කාලයක දී පලතුරු ඉදීමේ ක‍්‍රියාවලිය කර ගත හැකි වීමත් නිසා දියුණු වෙමින් පවතින රටවල වෙළෙදුන් අතර වඩාත් ජනප‍්‍රිය පලතුරු ඉදවීමේ ක‍්‍රමයකි.

කාබයිඞ් මිනිස් ශරීරයට අහිතකර සංයෝගයකි. ආසනික්, පොස්ෆරස් වැනි විෂ රසායන ද්‍රව්‍යවල ශේෂ කොටස් ද මේවායේ අන්තර්ගත වේ. කාබයිඞ් මෙන් ම කාබයිඞ්වල ඇති මෙවැනි අනෙකුත් විෂ රසායන ද්‍රව්‍ය බොහොමයක් ද පිළිකා කාරක බව විද්‍යාත්මක ව සොයා ගෙන ඇත. එසේ ම මේවා නිතර ශරීරගත වීමෙන් වෙනත් බරපතළ රෝග තත්ත්ව ද ඇති විය හැකි බවත්, ගර්භනී මව්වරුන් කාබයිඞ් යෙදු පලතුරු ආහාරයට ගැනීමෙන් ගබ්සා වීම්වලට හා අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතාවලට ද ලක්විය හැකි බවත් සොයා ගෙන ඇත. බොහෝ රටවල මෙවැනි කෘති‍්‍රම ඉදවුම්කාරක භාවිතය තහනම් කර ඇතත් ආසියාතික රටවල තවමත් භාවිත වේ.

ස්වාභාවික ව ඉදුණු කෙසෙල් හඳුනා ගන්නේ කෙසේ ද?

කාබයිඞ් යොදා කෘත‍්‍රිමව ඉදවන ලද කෙසෙල්ගෙඩිවල මදය මෘදු වන අතර ලෙල්ල ඒකාකාරී කහ පැහැයක් ගනී. කිසිදු කළු ලප හෝ අවපැහැ ගැනීම් මතුපිට දක්නට නොලැබේ. එමෙන් ම කෙසෙල් ගෙඩියේ නැට්ට කොළ පැහැයක් ගනී. ගෙඩියේ රසය හා පෝෂ්‍ය ගුණය ස්වාභාවික ව ඉදුණු කෙසෙල්වලට වඩා බෙහෙවින් අඩු වේ.

කෘත‍්‍රිම ව ඉදුණු කෙසෙල්

ස්වාභාවික ව ඉදුණු කෙසෙල්වල ලෙල්ල තද කහ වර්ණයෙන් යුක්ත වන අතර ලෙල්ලෙහි මතුපිට කුඩා කළු හෝ දුඹුරු ලප දක්නට ලැබේ. නැට්ට කළු පැහැයක් ගන්නා අතර ගෙඩිවල මදය මදක් අමු ගතියෙන් යුක්ත යි.

ස්වාභාවික ව ඉදුණු කෙසෙල්

ශ‍්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප‍්‍රභේද

සීනි කෙසෙල්, ඇම්බන්, ආනමාළු, කෝලිකුට්ටු, ඇඹුල් කෙසෙල්, රතඹලා, කණ්ඩුල, නදී, පූවාළු, බිං කෙසෙල්

පිසීමට ගන්නා කෙසෙල් ප‍්‍රභේද

පුලතිසි, ප‍්‍රසාද්, මොන්දන්, මැටි කිතල, ඇටමුරු, අළු කෙසෙල්

මීළඟ කලාපයෙන් අති බහුතරයකගේ මිහිරිතම පලතුරක් වන අඹ ගැන සවිස්තර ව සාකච්ඡා කෙරේ.

 

ලක්ෂාන් වර්ණකුල

You may also like...