කාමරංගා

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂි තැනකි. Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්  මෙම ශාකය හදුන්වනු ලබයි. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ ඵල හටගන්නා මෙම ශාකයේ “පැණි කාමරංගා” සහ “ඇඹුල් කාමරංගා” වශයෙන් ප‍්‍රභේද දෙකක් පවතී. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැතිය. එහෙත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයට ම ආවේණික මිහිරි රසයකින් යුක්ත ය.

මෑත කාලයේ දී “කාමරංගා” ශාකය අප රටේ බොහෝ දෙනා අතර ජනප‍්‍රියත්වයට පත් වූ පලතුරක් ලෙස හදුන්වා දිය හැකි ය. මෙයට ප‍්‍රධානතම හේතුව වූයේ කාමරංගා ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග සමනය කර ගැනීමට හැකිවන බවට මතයක් පැතිරයාමයි. එම මතයේ විද්‍යානුකූල සත්‍යතාව කුමක් ද යන්නත්, කාමරංගාවල පෝෂණ ගුණ සේ ම ඒවායේ ශරීරයට හිතකර හෝ අහිතකර භාවය පිළිබදවත් මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

ශාකයේ සම්භවය

කාමරංගා ශාකයේ සම්භවය පිළිබද නිශ්චිත ව කිව නොහැකිමුත් මෙම ශාකය ශ‍්‍රි ලංකාව හා මොලූකස් දිවයින ආශ‍්‍රිත ව සම්භවය වූ බවට විශ්වාස කෙරේ. එමෙන් ම ඉන්දු-චීන කලාපීය රටවල හෝ මැලේසියාව, ඉන්දුනීසියාව ආශ‍්‍රිත ව සම්භවය වූ බවට ද මත පවතියි. මැලේසියාව හා අග්නිදිග ආසියාතික රටවල සියවස් ගණනාවක් පුරා ආර්ථිකමය වශයෙන් වටිනා ශාකයක් ලෙස වගා කරනු ලබයි. චීනය, තායිවානය, ඉන්දියාව, පිලිපීනය, ඔස්ටේ‍්‍රලියාව, මෙන් ම ඇමෙරිකාව වැනි රටවල ද මෙය පලතුරක් ලෙස ජනප‍්‍රිය ව පවතී. එමෙන් ම බ‍්‍රසීලය වැනි ලතින් ඇමරිකානු රටවල කාමරංගා යුෂය ස්වාභාවික පානයක් ලෙස පරිභෝජනය කරනු ලබයි. තව ද කාමරංගා ගෙඩි අලංකරණ කටයුතු සඳහා සූපවේදයේ යොදා ගනියි. පලතුරක් ලෙස කාමරංගා ගෙඩි මෙන් ම ශාකයේ කොළ, පොතු විවිධ රෝගවලට ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී.

පෝෂණීය වටිනාකම

ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක රැසක් කාමරංගාවල අඩංගු වේ. විටමින් ක්‍ල පොටෑසියම්, පොස්පරස්, යකඩ, කැල්සියම්, තන්තු, ඇමයිනෝ අම්ල සහ ඛණිජ ලවණ බහුල ව පවතී. එපමණක් නො ව කාමරංගා ස්වාභාවික ප‍්‍රතිඔක්සිකාරකවලින් පිරිපුන් ය. ඒ නිසා ම කාමරංගා ඉතා ම වැදගත් පලතුරක් ලෙස හදුන්වා දිය හැකි ය.

කාමරංකා 100 g ක අඩංගු පෝෂණ සංඝටක

කැලරි                              35.7 g

ප්‍රොටීන්                            0.38 g

කාබොහයිඞ්රේට්              9.38 g

ආහාරමය තන්තු/ කෙඳි   0.80 g -0.90 g

මේදය                               0.8 g

කැල්සියම්                         4.4-6.0 mg

යකඩ                                0.32-1.65 mg

පොස්පරස්                         15.5-21.0 mg

පොටෑසියම්                       2.35 mg

කැරොටීන්                        0.003-0.552 mg

ටාටරික් අම්ලය                 4.37 mg

ඔක්සලික් අම්ලය               9.6 mg

කීමොග්ලූටරික් අම්ලය     2.2 mg

සිට්රික් අම්ලය                   1.32 mg

 

මීට අමතර ව තයමීන්, රයිබොෆ්ලේවින්, නියැසින්, ටි‍්‍රප්ටොෆෑන්, මෙතියොනින් සහ ලයිසීන් ඇමයිනෝ අම්ල වර්ග ද මෙහි අඩංගු වේ.

 

දියවැඩියා රෝගයට කදිම ඔසුවක්

දියවැඩියා රෝගය හට ගන්නේ ශරීරයේ පරිවෘත්තීය ක‍්‍රියාවන්හි අක‍්‍රමිකතාවක් නිසා රුධිරයේ ග්ලූකොස් මට්ටම ඉහළ යාම නිසා ය. මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නමැති හෝමෝනය දේහයට අවශ්‍ය ප‍්‍රමාණයට නිෂ්පාදනය නොවීම හෝ මෙම හෝමෝනයේ ක‍්‍රියාකාරිත්වයට දේහ ෙසෙලවලින් ප‍්‍රතිරෝධීභාවයක් ඇති වීම නිසා ය. මේ හේතුවෙන් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනයකින් තොර ව ඉහළ පහළ යාම සිදු වේ.

ප‍්‍රධාන වශයෙන් කාමරංගා දියවැඩියා රෝගීන්ගේ ආහාරයට ඉතා ම ගුණදායක ය. ඉදුණු කාමරංගා ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කර ගත හැකි බව පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී ඇත. කාමරංගාවල අඩංගු නොදිරවන තන්තු මගින් ආහාරවල ඇති ග්ලූකොස් අවශෝෂණය කරන අතර, ආහාර මාර්ග පද්ධතියෙන් ග්ලූකෝස් විසරණය අඩු කරයි. එමෙන් ම පිෂ්ඨය ජීර්ණය වී ග්ලූකොස් නිදහස් කිරීම ප‍්‍රමාද කරනු ලබයි. තව ද පිෂ්ඨය ග්ලූකොස් බවට පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය වන ඇමයිලේස් නමැති එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය කාමරංගාවල අඩංගු විවිධ සංඝටක මගින් අඩු කරයි. එබැවින් කාමරංගා පලතුරක් ලෙස දිනපතා ආහාරයට ගැනීමට පුරුදු වීමෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට තම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාවක් තිබේ.

කොලස්ටරෝල් මට්ටම අඩු කරයි

සාමන්‍යයෙන් කාමරංගා ගෙඩියේ ලෙල්ල ඉවත් නොකර සම්පූර්ණයෙන් කෑමට ගනියි. කාමරංගාවල පෙක්ටින් වැනි ශාක තන්තු බහුල ව අඩංගු වේ. මෙම තන්තුවලින් කොටසක් ලෙල්ලෙහි ද අඩංගු වේ. අප ගන්නා අහාරවල අඩංගු කොලස්ටරෝල් සමග බැදී ඒවා ආහාර මාර්ගයට අවශෝෂණය වීම අඩු කිරීම මෙම තන්තු මගින් සිදු කරයි. එමගින් ශරීරියට අහිතකර කොලස්ටරෝල් මල ද‍්‍රව්‍ය සමග ශරීරයෙන් ඉවත් වේ. ආහාරවල අඩංගු මේදය අවශෝෂණය වීම අඩු කිරීම මගින් රුධිරයේ ට‍්‍රයිග්ලිසරෝල් මට්ටම, කොලස්ටරෝල් මට්ටම හා මේද සාන්ද්‍රනය අඩු කිරීමට මෙම පලතුරෙහි අඩංගු සංඝටකවලට හැකියාව පවතී.  2004 වර්ෂයේ දී මහාචාර්ය චාවු ඇතුළු පිරිස කරන ලද අධ්‍යයනයකින් කාමරංගා ආහාරයට ගැනීමෙන් රුධිර කොලස්ටරෝල් මට්ටම අඩු කර ගත හැකි බව විද්‍යාත්මක ව පහදා දී ඇත. තව ද අධික තන්තු ප‍්‍රමාණයක් අඩංගු වීම නිසා කාමරංගා අහාරයට ගැනීම මගින් ආහාර ජීරණය පහසු කරවයි. මෙහි අඩංගු නොදිරවන තන්තු ආහාර මාර්ග පද්ධතිය නිරෝගී ව පවත්වා ගැනීමට උපකාරී වේ.

ප‍්‍රතිඔක්සිකාරක බහුල කාමරංගා

කාමරංගා ප‍්‍රතිඔක්සිකාරකවලින් පිරිපුන් වේ. විටමින් සී එහි අඩංගු වන ප‍්‍රධානතම ප‍්‍රතිඔක්සිකාරකය යි. කාමරංගා ගෙඩියේ 100gක් මගින් දෛනික විටමින් අවශ්‍යතාවෙන් 57‍%ක් සපුරයි. ප‍්‍රතිඔක්සිකාරක බහුල පලතුරු ආහාරයට ගැනීමෙන් ශරීරයට අහිතකර රසායනික සංඝටක ඉවත් කරන අතර විවිධ ආසාත්මිකතාවලට එරෙහි ව දේහ ප‍්‍රතිශක්තිකරණය වැඩි කරවයි. මීට අමතර ව L -ඇස්කෝබික් අම්ලය (L- Ascorbic acid), එපිකැටෙචින් (Epicatechin) සහ ගැලික් අම්ලය (Gallic acid) වැනි ස්වාභාවික ප‍්‍රතිඔක්සිකාරකවලින් ද මෙය පිරිපුන් ය.

ආයුර්වේද ගුණ

හිසේ කැක්කුම, හන්දිපත් අමාරු සහ මුහුණේ කුරුළෑ ඇති අවස්ථාවල දී කාමරංගා කොළ කොටා සාදාගත් තලපය ආලේප කරයි. තව ද හිසේ කැක්කුම සහ පණු අමාරු ඇති අවස්ථාවල දී කාමරංගා කොළ සහ පොතු ඉස්ම බීමට ලබා දෙයි.

කම්මුල්ගාය, සරම්ප, පැපොල වැනි රෝග ඇති විට කාමරංගා කොළ කොටා සකස් කළ තලපය ආලේප කරයි. එපණක් නො ව කොළ සහ පොතු තම්බා ගත් වතුර බීමට ද ලබා දෙයි. සමේ ඇති වන තුවාල සේදීමට ද කාමරංගා කොළ තම්බා ගත් වතුර යොදා ගනියි.

උගුරේ සෙම ස්වභාවය ඇති අවස්ථාවල දී කාමරංගා කොළ සහ පොතු තම්බා ගත් වතුරින් උගුර සේදීමෙන් එම තත්ත්වය සමනය කර ගත හැකි ය.

කාමරංගා ගෙඩි යුෂට සීනි දමා වරින් වර පානය කිරීම අධික රුධිර පීඩනයට ප‍්‍රතිකාරයක් බව ආයුර්වේදයේ සඳහන් ය.

වකුගඩු රෝගීන්ට නුසුදුසු යි

වකුගඩු ආශ‍්‍රිත කිසිදු රෝගී තත්ත්වයක් ඔබට නොමැති නම් කාමරංගා ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය ගැටලූ ඇති නො වේ. එහෙත් ඔබේ වකුගඩු ක‍්‍රියාකාරිත්වයේ සොඛ්‍යමය ගැටලූ පවතී නම් කාමරංගා ආහාරයට ගැනීම පිළිබද ව ඔබ සැලකිලිමත් විය යුතු ය. වකුගඩු ආශ‍්‍රිත ව රෝගී තත්ත්ව පවතින පුද්ගලයන් කාමරංගා ආහාරයට ගැනීම බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කරන අතර ඇතැම් විටෙක එය මාරාන්තික විය හැකි ය. මෙම තත්ත්වය “කාමරංගා විෂ වීම” ලෙස හැදින්විය හැකි ය. “කාමරංගා විෂ වීම” මගින් ඔක්කාරය, වමනය, උදරයේ වේදනාව, කැරකිල්ල, නින්ද නොයෑම සහ මානසික ආකූලතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි ය.

මීට ප‍්‍රධානතම හේතුව වන්නේ කාමරංගාවල අධික ඔක්සලික් ඇසිඞ් ප‍්‍රමාණයක් අඩංගු වීම යි. මෙම අම්ලය දුර්වල වූ වකුගඩුවල එකතු වීමේ හැකියාවක් පවතී. බ‍්‍රසීලයේ විද්‍යාඥයන් පිරිසක් කරන ලද පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ ඔක්සලික් අම්ලයට අමතර ව කාමරංගාවල අඩංගු වෙනත් රසායනික සංයෝග ද මේ සදහා හේතු වන බව යි. මෙහි දී ඔවුන් ඉදිරිපත් කරන වැදගත් පෙන්වා දීමක් වනුයේ අනෙකුත් ඔක්සලික් අධික පලතුරු ආහාරයට ගැනීමෙන් වකුගඩු දුර්වල රෝගීන්ට මෙවැනි රෝග ලක්ෂණ මතු නො වන බව යි.

කාමරංගා ආහාරයට ගැනීමෙන් අනතරු ව ඉහත සදහන් කළ රෝග ලක්ෂණ ඔබ හට දැනුණ හොත් හැකි තරම් ජලය පානය කළ යුතු ය. මීට අමතර ව වකුගඩු ආබාධ සහිත පුද්ගලයින් වහා ම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු විය යුතු ය. “කාමරංගා විෂ වීම”, වකුගඩු ක‍්‍රියාකාරිත්වය දුර්වල රෝගීන්ට කාමරංගා ගෙඩි භාගයක් වැනි කුඩා ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් පවා සිදු විය හැකි ය. ගෙඩියක් අහාරයට ගැනීම නිසා මිය ගිය රෝගින් ද වාර්තා වී ඇත.

ලක්ෂාන් වර්ණකුල

You may also like...