36_10 පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය

පාසල්  සිසුන්ගේ සුභ සාධනය තහවුරු කිරීම සඳහා අතීතයේ සිට ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. පාසල් දරුවන්ට ආහාර වේල් ලබා දීම, මුද්දර කාඩ්පත් ලබා දීම, පණු ඛෙහෙත් හා පෝෂක පෙති ලබා දීම, සෞඛ්‍ය සායන පැවැත්වීම හා දෙමාපිය දැනුම්වත් කිරීම් මේ සඳහා උදාහරණ වේ. පාසල්වල ක්‍රියාත්මක වන සමස්ත සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මනා ව සංවිධනය කර ගැනීමටත් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මට්ටම් අනුව ඇගයීමටත් ඉඩ සලසා දෙමින්, 2007 වර්ෂයේ දී, 21/2007 චක්‍රලේඛය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව විසින් නිකුත් කරන ලදී. පාසල් පද්ධතියේ සිදු වී ඇති වෙනස්කම් හා කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, මෙම චක්‍රලේඛය සංශෝධනය කර 2/2019 ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ශාරීරික සෞඛ්‍යයට අමතර ව මානසික සෞඛ්‍යය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරමින් සකස් කර ඇති නව චක්‍රලේඛය, පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ මනෝ සමාජයීය යහපැවැත්ම ප්‍රවර්ධනය සඳහා නව වැඩසටහන් කිහිපයක් ම හඳුන්වා දී තිබේ.

පාසල් දරුවන් හා පාසල් කාර්ය මණ්ඩලය ඇතුළු පාසල් ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පූර්ණ සංවිධාන ශක්තිය යොදවා ක්‍රියා කරන පාසලක්, සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් ලෙස හැඳින්වේ. “නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන්න දර්ශනය කොට ගත් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ මෙහෙවර වන්නේ “පාසල් දරුවන් සෞභාග්‍යමත් වීම සඳහාත්, තම පවුලේ හා ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහාත් අවශ්‍ය නිපුණතාවන්ගෙන් බලවන්ත කිරීම මගින් ලැබී ඇති අධ්‍යාපන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලසාලීම” යන්නයි. පාසල් පරිශ්‍රය සිසුන්ගේ පූර්ණ සෞඛ්‍ය ප්‍රවර්ධනය වන ස්ථානයක් බවට පත් කිරීම සඳහා, පාසල් ප්‍රජාවගේ පූර්ණ අවධානය යොමු කරමින් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණ වන අතර, පහත ප්‍රධාන අංග පහෙන් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සමන්විත වේ.

ඒ අනුව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ මුලික ම අංගයක් වන්නේ ප්‍රජා දායකත්වයයි. එසේ ම මෙහෙවර හා අරමුණ තුළ ද ප්‍රජාවේ වැදගත්කම අවධාරණය කර තිබේ. පාසල් ප්‍රජාවේ දායකත්වය රූපයේ දක්වා ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග සියල්ලේ දී ම වැදගත් වේ.

පාසල් ප්‍රජාව

අධ්‍යාපනඥයන් විසින්  “පාසල් ප්‍රජාව” යන්න පාසලක සුභ සාධනය සහ පැවැත්ම සඳහා දායක වන  විවිධ පුද්ගලයින්, කණ්ඩායම්, ව්‍යාපාර සහ ආයතන ලෙස අර්ථ දක්වයි. පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන උපදෙස් සංග්‍රහයේ දැක්වෙන අන්දමට පාසල් ප්‍රජාව ලෙස දෙමාපියන්, ආදි ශිෂ්‍යයන්, සුභපතන්නන්, රාජ්‍ය නිලධාරින් ආදින් දක්වා තිබේ. පාසල් සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ පාසලට සුබ පතන්නන්ගේ සහයෝගය ලබා ගනිමින් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පාසලේ සාර්ථක ව ක්‍රියාත්මක කිරීම විදුහල්පතිගේ වගකීමයි. රූපයේ එක් එක් අංශයට අදාළ ප්‍රජා දායකත්වය ගැන වෙන් වෙන් ව සාකච්ඡා කරමු.

ප්‍රතිපත්ති සැකසීම

ජාතික මට්ටමින් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අතර පාසල් මට්ටමේ දී ඒවා ක්‍රියාත්මක විය යුතු වේ. මෙසේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පළමු ව පාසලට ගැළපෙන පරිදි ඊට අදාළ වැඩසටහන් සැලසුම් කර වාර්ෂික සැලස්මක් සකස් කළ යුතු ය. එම වැඩසටහන් ක්‍රියාත්මක වීම, නියාමනය, ඇගයීම හා  ප්‍රතිපෝෂණ ලබා දීම ද සිදු විය යුතුය. මෙම කාර්ය ඉටු කිරීමේ වගකීම මූලික ව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන අතර ඊට අමතර ව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ශිෂ්‍ය සමාජ මගින් වැඩි දායකත්වයක් ලබා දෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. පාසල් සෞඛ්‍යය ප්‍රවර්ධනය සම්බන්ධ ව තීන්දු තීරණ ගැනීමට ප්‍රජාවට අවස්ථාව සලසා දෙන පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ සංයුතිය පහත පරිදි වේ.

  • විදුහල්පති (සභාපති)
  • සෞඛ්‍ය වැඩසටහන් භාර නියෝජ්‍ය විදුහල්පති/අංශ ප්‍රධාන$අදාළ ගුරු භවතුන්
  • ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පති/ අංශ ප්‍රධාන
  • ගුරුවරුන් (උපරිම තුන් දෙනෙකු)
  • ශිෂ්‍ය නියෝජිතයන් (පාසල් සෞඛ්‍ය සමාජවල සභාපති/ සම ලේකම්වරුන්/භාණ්ඩාගාරික$ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යවරයා)
  • දෙමාපිය නියෝජිතයන් (උපරිම පස් දෙනෙකු)
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක
  • බාහිර සුබ පතන්නන්

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති පාසලේ භෞතික පරිසරය සම්බන්ධ ප්‍රතිපත්ති, සිසුන්ගේ කායික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති හා මනෝ සමාජයීය යහපැවැත්ම සම්බන්ධ ප්‍රතිපත්ති ලෙස තෙආකාර වේ. එම ප්‍රතිපත්ති පිළිබඳ ව ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් හා පාසලට සම්බන්ධ සියලූ ම පාර්ශවකරුවන් දැනුම්වත් කළ යුතු ය. ඒ සඳහා හඳුනා ගත් ප්‍රතිපත්ති පාසල් පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම මගින් සියලූ දෙනාගේ අවධානය ඒ සඳහා යොමු වනු ඇත.

පුද්ගල කුශලතා වර්ධනය

සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය පාසල් විෂය මාලාවෙන් මෙන් ම විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ද කළ හැකි ය. සෞඛ්‍ය හා සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුම ප්‍රාථමික අවධියේ දී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයය යටතේ ද, ද්විතියික අවධියේ දී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයය මගින් ද ඉගැන්වේ. ප්‍රජා සහභාගිත්වය අනිවාර්යයෙන් ම අවශ්‍ය වන විෂය බාහිර හා විෂය සමගාමී නිපුණතා වර්ධන ක්‍රියාකාරකම් සඳහා උදාරණ පහත දැක්වේ.

  • පාසල් සෞඛ්‍ය දින වැඩසටහන
  • බාලදක්ෂ, ශිෂ්‍යභට වැනි වැඩසටහන්
  • ක්‍රීඩා වැඩසටහන්
  • පෝෂණ වැඩසටහන් (උදා කොළකැඳ ලබා දීමේ වැඩසටහන්)
  • දෙමාපිය ඇගයීම් වැඩසටහන්

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පාසල විසින් සැලසුම් සහගත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය. මෙහි දී පාසලේ ගුරුවරයකුට හෝ ගුරුවරුන් කණ්ඩායමකට වගකීම් පැවරෙන අතර ප්‍රජා සහයෝගය ලබා ගනිමින් සාර්ථක ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි.

හිතකර පරිසරය තත්ත්වයක් නිර්මාණය කිරීම

පාසල් පරිසරය භෞතික හා මනෝ සමාජයීය ලෙස දෙයාකාර වේ. පාසල් භූමිය හා අවට ඇති සියලූ ම දේවල් භෞතික පරිසරයට ඇතුළත් වේ. පාසලේ භෞතික පරිසරයට පහත සඳහන් දෑ අයත් වේ.

  • පාසල් සිසුන්ගේ ආරක්ෂාව
  • ආපදා කළමනාකරණය
  • පිරිසිදු පානීය ජලය
  • ප්‍රමාණවත් වැසිකිලි පහසුකම්
  • පාසල් භූමිය සහ පන්ති කාමර පරිසරය
  • නිසි පරිදි කැළි කසළ ඉවත් කිරීම
  • පාසල් වත්ත වගා කර තිබීම

භෞතික පරිසරයට අයත් වන ඉහත අංග ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට පාසල් පරිපාලනය වග බලා ගත යුතු ය. මෙහි දී ද ප්‍රජා දායකත්වය නිසි පරිදී යොදා ගන්නේ නම් ලැබිය හැකි ප්‍රතිලාභ බොහෝ ය. උදාහරණයක් ලෙස පාසල් සිසුන්ගේ හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදුහල විසින් විධිමත්  වැඩසටහනක්  ක්‍රියාත්මක කළ යුතු ය. මෙහි දී අනතුරුදායක භූමි ප්‍රදේශ, අනතුරුදායක ක්‍රීඩා උපකරණ හා ගොඩනැගිලි ආදියෙන් තොර ප්‍රියමනාප පාසල් පරිසරයක් සකස් කර ගැනීම සිදුවිය යුතු ය. මේ සඳහා දෙමාපියන්ගෙන් හා සුබ පතන්නන්ගෙන් සක්‍රිය දායකත්වයක් ලැඛෙන පරිදි වැඩසටහන් සැලසුම් කළ යුතු ය. තව ද ප්‍රථමාධාර හා ආපදා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු ය. ප්‍රථමාධාර සඳහා පුහුණු කිරීමේ දී  ඒ සඳහා රතු කුරුස සමාජය, ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව, සෞඛ්‍යදාන ව්‍යාපාරය වැනි ආයතන හරහා පුහුණුවීම් ලබා දීමට ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට ද කටයුතු කළ හැකි ය. පාසල් රිය  නියාමක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී  පාසලට ආසන්න පොලිස් ස්ථානයේ සහයෝගය ලබා ගත හැකි ය.

මනෝ සමාජයීය පරිසරය සකස් කිරීමේ දී පහත සඳහන් දෑ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වේ.

  • ප්‍රජාතන්ත්‍රවාදී ව කටයුතු කරන පරිසරයක් ඇති කිරීම
  • දරුවන් අවමානයට ලක්වන දඬුවම් දීමෙන් වැළකීම
  • ගැටලූ ඇති දරුවන් සඳහා උපදේශන සේවයක් ඇති කිරීම
  • විවේක කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීම සඳහා පහසුකම් ඇති කිරීම
  • ළමයින්ට විවිධ හේතූ නිසා වෙනස්කම් නොකිරීම
  • පාසල් සමාජය මගින් අන්තර් පුද්ගල සබඳතා හා නායකත්ව ලක්ෂණ වර්ධනය කිරීම
  • මනා ගුරු-සිසු සබඳතා පැවතීම
  • මානසික ආතතිය හා කාංසාවෙන් තොර වීම සඳහා අවස්ථාව සැලසීම

මනෝ සමාජයීය පරිසරය සකස් කර ගැනීමට ප්‍රජා දායකත්වය ලබා ගැනීම සඳහා උදාහරණයක් ලෙස 2/2019 පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් සති පාසල් වැඩසටහන දැක්විය හැකි ය. සිසුන් අතර මෙන් ම ගුරුවරුන් අතර ද මානසික ආතති තත්ත්ව ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් මේ වන විට මතු වී අතර මෙවැනි ආතති තත්ත්ව මග හරවා ගැනීම සඳහා ඇති පහසු ම ක්‍රියාකාරකම් වන්නේ සතිමත් බව වර්ධනය කර ගැනීමයි. සති පාසල වැඩසටහන සති පාසල පදනම හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පුහුණු කිරීමේ හා පර්යේෂණ කිරීමේ මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන ස්වේච්ඡා වැඩසටහනක් වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත වැඩසටහනක් වන මේ සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු සම්පත් දායක කණ්ඩායමක් දායක වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධනයට අනුකූල ව සෞඛ්‍ය සේවා සකස් කිරීම

සෞඛ්‍ය ප්‍රවර්ධනයට අවශ්‍ය සේවා ලබා දීමේ දී විශේෂයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් ලබා ගත හැකි දායකත්වය වැදගත් වේ. මෙහි දී පාසල් සෞඛ්‍ය පරීක්ෂණය නොකඩවා පැවැත්වීම හා දැනුම්වත් කිරීම් වැඩසටහන් පැවැත්වීම මූලික වේ.

පාසල් සෞඛ්‍ය පරීක්ෂණය වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආදී සෞඛ්‍ය ක්ෂේත්‍ර වෘත්තිකයන් මෙන් ම දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙන් ද සිදු කෙරේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සිසුන්ගේ උස, බර, ශරීර ස්කන්ධ දර්ශකය, සායනික රක්තහීනතාව සහ පෙනීම පිළිබඳ ව සහ වෙනත් ගැටලූ පිළිබඳ ව සොයා බලයි. වෛද්‍යවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණය පැවැත්වෙන දිනයේ දී සිසුන්ගේ ගැටලූ පිළිබඳ පරීක්ෂා කරනු ලැබේ. ගැටලූ සහිත දරුවන් දෙමාපියන් දැනුම්වත් කිරීමෙන් අනතුරු ව ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.

දැනුම්වත් කිරීමේ වැඩසටහන් ලෙස සිසුන්ගේ පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගෙන යාම පිළිබඳ ව නිපුණතා සංවර්ධනය සඳහා වූ වැඩසටහන්, ප්‍රජනක සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් හා මානසික සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් දැක්විය හැකි ය. ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුම්වත් ව සිටින අතර ඔවුන් ඒ සඳහා දායක කර ගත හැකි ය.

මීට අමතර ව පාසල් දිවා ආහාර ලබා දීමේ වැඩසටහන ඇතුළු පෝෂණ වැඩසටහන් නියමනයේ දී හා පාසල් ආපනශාලා විධිමත් ව පවත්වා ගෙන යාමේ දී ද සෞඛ්‍ය අංශයේ සහයෝගය ලබා ගැනේ. දිවා ආහාර ලබා දීමේ වැඩසටහන නියමිත ප්‍රමිතිවලට අනුකුල ව පාසලේ ක්‍රියාත්මක වේ ද? යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අධීක්ෂණයට ලක් වේ. පාසල් ආපනශාලා පවත්වාගෙන යාම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 35/2015 චක්‍රලේඛයට අනුව පාසල් ආපනශාලා අධික්ෂණය කර ශ්‍රේණි පිරිනැමීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර එහි දී නුසුදුසු ආහාර සහිත ආපනශාලා ඉවත් කිරීමට කටයුතු  කරනු ලැබේ.

සේවා ලබා දීමේ ප්‍රජා දායකත්වය

පාසල හා සමාජය අතර ඇති සම්බන්ධතාව, දෙපාර්ශ්වයට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් විය යුතු ය.

  • ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන ව්‍යාපෘති පාසල මගින් ක්‍රියාත්මක කිරීම
  • මනා සෞඛ්‍ය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන පණිවිඩ සමාජයට ගෙන යාමේ වාහකයන් ලෙස පාසල් සිසුන් යොදා ගැනීම
  • ප්‍රජාව මගින් පාසලේ සිසුන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඉවහල් වන දේ ඉටු කිරීම

පාසල මගින් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පාසල් ප්‍රජා සබඳතා වර්ධනයට ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් සඳහා උදාහරණ පහත දක්වා ඇත.

  • විවිධ ව්‍යාපෘති මගින් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා සම්පත් ලබා ගැනීම (ශ්‍රමදාන පැවැත්වීම, කසළ බඳුන් වැනි දේ පරිත්‍යාග ලෙස ලබා ගැනීම)
  • සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ සේවය ලබා ගැනීම (විවිධ විෂය ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන දැනුම්වත් කිරීම් සිදු කිරීම)
  • රාජ්‍ය නිලධාරින් මගින් රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනීම (පාසල් ගෙවතු වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික දැනුම හා පැළ වර්ග ලබා ගැනීම)

මේ ආකාරයට ම පාසලෙන් ප්‍රජාවට ද සේවා සැපයීමට හැකි ය.

  • විවිධ කරුණු පිළිබඳ ව දැනුම්වත් කිරීම (කෘෂිකර්මය, තාක්ෂණික දැනුම ආදිය පිළිබඳ ව)
  • පාසලේ සම්පත් ප්‍රජාවේ අවශ්‍යතා සඳහා සුදුසු පරිදි ලබා දීම
  • ප්‍රජා අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ අනුව පාසලෙන් අවශ්‍ය සේවා ලබා දීම

ඉහතින් විස්තර කළ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන උපායමාර්ගවලට අමතර ව පාසල් ඇගයීම සඳහා ද සක්‍රිය දායකත්වයක් විශේෂයෙන් ම සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් ලබා ගත හැකි ය. එසේ ම කලාප, පළාත් හා ජාතික මට්ටමේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සාමාජිකයන් ලෙස ද සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට අදහස් හා යෝජනා ලබා දීමෙන් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීමට දායක විය හැකි ය.

මේ අනුව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක ව ක්‍රියාත්මක වීමට නම් ප්‍රජාවගේ සක්‍රිය සහයෝගය හා දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

පියුමි එන්. විමලකීර්තී

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් සෞඛ්‍ය හා පෝෂණ)

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ගාල්ල

 

You may also like...