රසගුණ සපිරි අඹ

අඹ යනු අප හැමෝ ම කන්න කැමති ඉතා මිහිරි රසක් ඇති පලතුරකි. අතීතයේ සිට ම ලෝකයේ බොහෝ රටවල ඉතා සුලභ, බහුල ව ආහාරයට ගනු ලබන පලතුරක් ලෙස අඹ සැලකුන ද එහි ඇති ගුණ පිළිබඳ ව ජනතාවට පවතින්නේ ඉතා අල්ප අවබෝධයකි. එම නිසා අපි අඹ සහ එහි ඇති ගුණ අගුණ පිළිබඳ ව සාකච්ඡා කරමු.

මැන්ජිෆෙරා ඉන්ඩිකා (Mangifera indica) නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය ඇනකාඩියේශියේ (Anacardiaceae) කුලයට අයත් වන අතර ඉන්දියාවේ සම්භවය වූ බවට සැලකේ. ශ‍්‍රී ලංකාවට අවේණික ශාකයක් නොවූවත් මෙරට සෑම ප‍්‍රදේශයක ම පාහේ වගා කරනු ලබන අඹ ශාකයක් නොමැති ගෙවත්තක් සොයා ගැනීමට නොහැකි තරම් ය. වර්තමානයේ ශ‍්‍රි ලංකාවේ අක්කර 27500ක පමණ ඉඩම් ප‍්‍රමාණයක අඹ පැතිරි තිබේ. බහුල වශයෙන් කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, පුත්තලම, මොනරාගල හා යාපනය දිස්ත‍්‍රික්කවල අඹ වාණිජ බෝගයක් ලෙස වගා කරනු ලැබේ. නැවුම් පලතුරක් ලෙස දේශීය වෙළෙඳපොළේ අඹ සදහා ඉහළ ඉල්ලූමක් දක්නට ලැබේ. එලෙස ම අඹ අපනයනය කිරීමෙන් සැලකිය යුතු විදේශ විනිමයක් ද රටට ඇදී එයි.

පෝෂණ පදාර්ථ අන්තර්ගතය (අඹ ගෙඩි 100 g ක අන්තර්ගත පෝෂණ ප‍්‍රමාණ)

ජලය                                          81.0 g

ශක්ති පදාර්ථ                              74 k cal

ප්‍රෝටීන්                                      0.6 g

ලිපිඩ                                            0.4 g

කාබොහයිඩ්‍රේට                            16.9 g

කැල්සියම්                                     14 mg

පොස්පරස්                                     16 mg

යකඩ                                             1.3 mg

කැරොටින්                                     2743 micro g

තයිමින්                                          80 micro g

රයිබොෆ්ලේවින්                            90 micro g

නියැසින්                                        0.9 mg

විටමින් C                                       16 mg

 

කෘෂි දේශගුණික කලාපවලට අනුව ශ‍්‍රි ලංකාවේ බහුල ව වගා කරනු ලබන අඹ ප‍්‍රභේද

 

වියළි කලාපය –  කරුතකොලොම්බන්, විලාඞ්, වේලයිකොලොම්බන්, අම්බවාලි, චෙම්බටන්, මල්වාන

අතරමැදි කලාපය – කරුතකොලොම්බන්, වේලයිකොලොම්බන්, විලාඞ්, මල්වාන, බෙට්ටි අඹ

තෙත් කලාපය – වේලයිකොලොම්බන්, ගිරා අඹ, පීටර්ප‍්‍රසාන්ඞ්, දම්පාර

 

පිළිකා මර්දනයට ඔසුවකි

අඹවල අධික ප‍්‍රමාණයක් පෙක්ටින් නැමැති ශාක කෙදි අඩංගු වේ. මෙවා රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සදහා හේතු වේ. මීට අමතර ව පුරස්ථි ග‍්‍රන්ථිය අශ‍්‍රිත ව ඇති වන පිළිකා තත්ත්වය මර්දනය කිරීමට ද පෙක්ටින් කෙඳිවලට හැකියාවක් පවතී. තව ද  ඕනෑ ම අවධියක පවතින පිළිකා රෝගි තත්ත්ව මර්දනය සදහා බෙහෙවින් උපකාරි වන ගැලෙක්ටින් 3 නමැති ප්‍රෝටීනය, අඹවල අඩංගු පෙක්ටීන් කෙදිවල අන්තර්ගත සංයෝගයක් සමග සුසංයෝග ව පවතින බව මෑතක දී කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ආයතනය මගින් කරන ලද එපික්-නෝෆෝක් (EPIC-Norfolk) නම් පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ අඹ අහාරයට ගැනීම, ආහාර මාර්ගයේ පිළිකා තත්ත්ව ඇති වීමේ අවදානම අඩු කරන බවයි.

ඇමරිකාවේ ටෙක්සාස් කෘෂිජීවක පර්යේෂණ (Texas AgriLife Research) ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින්, අඹ ආහාරයට ගැනීම පියයුරු පිළිකා හා ඇතැම් ආන්ත‍්‍රික පිළිකා මර්දනයට හේතු වන බව පෙන්වා දී තිබේ. අනෙකුත් පලතුරුවලට සාපේක්ෂ ව අඩු ප‍්‍රතිඔක්සිකාරක ප‍්‍රතිශතයක් අඹවල අන්තර්ගත වූව ද එහි විශිෂ්ට පිළිකා නාශක ගුණයක් පවතින බව ඔවූහු වැඩිදුරටත් පෙන්වා දෙති. මේ සදහා අඹවල අන්තර්ගත පොලිෆිනෝලික සංයෝග හේතු වන බව ඔවුන්ගේ මතයයි. මෙම පොලිෆීනෝලික සංයෝගවලට පිළිකා ෙසෙල පමණක් විනාශ කිරීමේ හැකියාවක් පවතී. එමගින් නිරෝගි ෙසෙලවලට කිසිදු හානියක් සිදු නො වේ.

මීට අමතර ව අඹවල ඇස්ට‍්‍රගලින්, ක්වර්සටින්, අයිසොක්වර්සිට‍්‍රින් හා ෆයිස්ටින් (astragalin, quercetin, isoquercitrin and fisetin) නමැති ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මෙම සංයෝග ද අඹවල ඇති පිළිකා මර්දන හැකියාවට ඉවහල් වේ.

ප‍්‍රතිශක්තිය වඩයි

අඹවල බීටා කැරටින් (beta-carotene) නම් කැරටිනොයිඩ සංයෝගය අඩංගු වන අතර එය ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීම සදහා උපකාරි වෙයි. තව ද හානිකර බැක්ටීරියා හා විෂ සදහා වූ ප‍්‍රතිරෝධය වැඩි කරයි. තව ද වැඩිපුර ශරීරයට ලැබෙන අතිරේක බීටා කැරටින දේහය තුළ දී විටමින A බවට පරිවර්තනය කරනු ලබයි. විටමින A ප‍්‍රතිිඔක්සිකාරකයක් වන අතර, මෙය ශරීරයට හානිකර නිදහස් මුක්ත ඛණ්ඩකවලින් අභ්‍යන්තර පද්ධති හා අවයව ආරක්ෂා කරයි.

රක්තහීනතාවට කදිම ඔසුවක්! ගර්භනී මවුවරුන්ට විශේෂයි!

අඹවල ඉහළ යකඩ ප‍්‍රතිශතයක් අඩංගු වේ. මෙය නිරක්තිය හෙවත් රක්තහීනතාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ රතු  රුධිරාණු වර්ධනය සදහා උපකාරි වේ. දිනපතා අඹ ආහාරයට ගැනීමෙන් නිරක්තිය රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ම සුව වීමේ හැකියාව පවතී.

යකඩ අවශ්‍යතාව ගර්භණී සමයේ දී ඉතා අත්‍යවශ්‍ය සංඝටකයක් බැවින් ගර්භණී මවුවරුන්ට අඹ ආහාරයට ගැනීම බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. වෛද්‍යවරුන් විසින් ගර්භණී සමයේ දී යකඩ පෙති ලබා ගැනීමට සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබයි. යකඩ අමතර ඖෂධයක් ලෙස ශරීරයට ලබා ගැනීම වෙනුවට යකඩ බහුල පලතුරක් වන අඹ ආහාරයට එක් කර ගැනීමෙන් නිරෝගි සම්පන්න ගර්භණී අවධියක් පවත්වා ගැනීමට හැකියාව පවතී.

කුරුලෑ සදහා ප‍්‍රතිකාරයක්

සමහර විට ඔබ පුදුම වන්නට පුළුවන්, අඹ සමේ නිරෝගී බව පවත්වා ගැනීමට උපකාරි වන බව දැන ගැනීමෙන්. සමට දිදුලන පෙනුමක් ලබා දීමට මෙන් ම සමේ පැහැය වර්ධනය කිරීමටත් අඹවල අඩංගු සංඝටකවලට හැකියාවක් පවතී. අඹ මදය තලපයක් ලෙස සාදා මුහුණේ ආලේප කිරීමෙන් සමේ ඇති වන කුරුලෑ සුව කර ගැනීමට හැකියි.

අඹවල අධික විටමින් A හා C ප‍්‍රමාණයක් අඩංගු වේ. මෙම විටමින දෙක ම ශරීරයේ කොලැජන් ප්‍රොටීන නිපදවීම සදහා උපකාරි වේ. මෙම කොලැජන් රුධිර නාල හා දේහයේ සම්බන්ධක පටක ආරක්ෂා කරන අතර එමගින් සමේ ස්වාභාවික වියපත් වීමේ ක‍්‍රියාවලිය (skin’s natural aging process) ප‍්‍රමාද කරයි. එම නිසා ඔබේ අහාරයට අඹ එක්කර ගැනීම මගින් නිරෝගි, තරුණ සමක් සමක් පවත්වා ගැනීමට ඔබට හැකි වේ.

අධික රුධිර පීඩනය සමනයට

අඹවල පොටෑසියම් හා මැගිනීසියම් අධික ව අඩංගු වේ. මීට අමතර ව සෙලිනියම්, කැල්සියම්, යකඩ හා පොස්පරස් වැනි අයන ද අඩංගු වේ. මෙම අයන රුධිර පීඩනය සාමාන්‍ය අගයෙන් පවත්වා ගැනීමට වැදගත් වේ. අඹවල අඩංගු විටමින් C රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට හේතු වේ. එමගින් රුධිර පීඩනය ද අඩු කරනු ලබයි.

නිරෝගිමත් ස්නායු ක‍්‍රියාකාරිත්වයක් සදහා

අඹවල අන්තර්ගත විටමින් B 6 මොළයේ ක‍්‍රියාකාරිත්වය හා නිරෝගී පැවැත්ම සදහා උදවු වේ. තව ද මෙම විටමින සිතේ ස්වභාවය හා නින්දේ චර්යා පාලනය සදහා වැදගත් වන ස්නායු සම්පේ‍්‍රශකවල මනා ක‍්‍රියාකාරිත්වයට ද හේතු වේ. අඹවල විටමින බහුල ලෙස අඩංගු නිසා ඔබේ ආහාරයට අඹ එකතු කර ගැනීමෙන් නිරෝගිමත් ස්නායු පද්ධතියක් සහ මොළයේ ක‍්‍රියාකාරිත්වයක් පවත්වා ගත හැකි ය. මෙම නිසා ස්නායු ආශ‍්‍රිත ආකූලතා සදහා අතිරේක විටමින ලබා ගැනීමේ අවශ්‍යතාව ද අවම කර ගත හැකියි. අඹවල අඩංගු ග්ලූටමීන් අම්ලය (Glutamine acid) මතක ශක්තිය හා මානසික ඒකාග‍්‍රතාව වර්ධනය සදහා ඉවහල් වේ.

දියවැඩියාව පාලනයට

දැනට කර ඇති පර්යේෂණවලට අනුව බෝ නො වන රෝග අතරින් දියවැඩියාව පාලනය සදහා භාවිත කළ හැකි ස්වාභාවික ප‍්‍රතිකාරකයක් ලෙස අඹ හදුනා ගෙන තිබේ. එහෙත්් එහි ක‍්‍රියාකාරිත්වය පිළිබද ව තවදුරටත් වෛද්‍ය පර්යේෂණ කරනු ලැබේ.

පැණි රස නිසා අඹ දියවැඩියා රෝගින්ට නුසුදුසු යැයි පැරණි මිත්‍යා මතයක් පැවතුන ද එහි කිසිදු සත්‍යතාවක් නැත. අඹ කොළ 5-6 ක් පමණ උතුරන වතුරේ තම්බා, පැය 12ක් පමණ රාත‍්‍රියෙහි පෙෙඟන්නට හැර පසු දා උදෑසන හිස් බඩ පානය කිරීමෙන් දියවැඩියා රෝගය පාලනය කර ගත හැකි ය. අඹ කොළ මගින් ඉන්සියුලින් මට්ටම පහත හෙළනු ලබන අතර අඹ ඵලය මගින් රුධිර සීනි ප‍්‍රමාණය පාලනය කරයි.

ශක්ති ජනක ආහාරයක් ලෙස

ශරීරයට ශක්තිය ලබා ගැනීමේ ඉතා ම පහසු ක‍්‍රමයක් ලෙස අඹ ආහාරයට ගැනීම හදුන්වා දෙන්නට පුළුවන. අඹ ග්රූම් 150ක කැලරි 86ක් පමණ අන්තර්ගත වේ. මෙම ශක්ති ප‍්‍රමාණය ඉතා ම පහසුවෙන් දේහයට අවශෝෂණය කර ගනු ලැබීමේ හැකියාවක් පවතී. මීට අමතර ව අඹවල, පිෂ්ඨය අන්තර්ගත වේ. මෙය අහාර ජීරණ ක‍්‍රියාවලියේ දී ග්ලූකෝස් බවට පරිවර්තනය වීම මගින් ශරීරයට ශක්තිය ලැබේ.

ආහාර ජීරණය පහසු කරවයි

ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය සඳහා ද අඹ වැදගත් වේ. අඹවල පවතින කෙඳි හේතුවෙන්, මලබද්ධය වැනි රෝගවලින් ආරක්ෂා විය හැකි ය. ආම්ලිකතාව සහ ආහාර නොදිරවීම වැනි අපහසුතා මග හරවා ගැනීමට හොද පිළියමක් ලෙස අඹ ආහාරයට ගැනීම හදුන්වා දෙන්නට පුළුවන. අඹවල අන්තර්ගත වන ජීරක එන්සයිම අහාර ජීරණ ක‍්‍රියාවලිය පහසු කරනු ලබයි. එම නිසා ඔබට දැනෙන බොහෝ අපහසුතා සමනය වේ. අඹවල අඩංගු එස්තර, ටර්පීන් හා ඇල්ඩිහයිඩ වැනි සංයෝග අහාර රුචිය වැඩි කරන අතර ආහාර ජීරණ පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට හේතු සාධක වේ.

අඹ මහින් ආසාත්මිකතා ඇති විය හැකි ද?

සමහර පුද්ගලයන් අඹවල අඩංගු ඇතැම් සංඝටකවලට සංවේදී විය හැකියි. අඹ ආහාරයට ගැනීමෙන් මෙම පුද්ගලයින්ට සමේ අසාත්මිකතා ඇති වේ. මෙයට හේතුව වන්නේ අඹ ඇනකාඩියේෂියේ (Anacardiaceae) කුලයට අයත් වීමයි. විෂ සහිත ශාකයක් වන අයිවී ශාකය ද (Poison Ivy) මෙම ශාක කුලයට ම අයත් බැවින් අඹ මෙම ශාකයට පරිණාමික ව නෑකම් කියයි. අඹවල ඉතා සුළු සාන්ද්‍රණයකින් අන්තර්ගත උරුශිනෝල් (Urushinol) නමැති සංයෝගය මෙම අසාත්මිකතාවලට හේතු සාධක වේ. පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මෙම ආසාත්මිකතාවේ ප‍්‍රබලතාව වෙනස් වන අතර අඹ කොල සහ ලෙල්ල මෙම ආසාත්මික සදහා වැඩි වශයෙන් හේතු වේ. අඹ යුෂ පානය කිරීමෙන් හෝ අඹ මදය ආහාරයට ගැනීමෙන් ආසාත්මික ප‍්‍රතික‍්‍රියා පේ‍්‍රරණය වීමේ හැකියාව බෙහෙවින් ම අවම වේ.

මේ ගැනත් සිතන්න…

වෙළෙඳපොළේ  ඇති අනෙකුත් බොහෝමයක් පලතුරු මෙන් ම අඹ ඉදවීම සදහාත් වෙළෙදුන් විසින් කාබයිඞ් නමැති කෘත‍්‍රිම ඉදවුම්කාරකය භාවිත කරනු ලබයි. කාබයිඞ් යොදා ඉදවන ලද අඹවල මදය මෘදු වන අතර ලෙල්ල ඒකාකාරි කහ පැහැයක් ගනී. කිසිදු කළු ලප හෝ අව පැහැ ගැනීම් මතුපිට දක්නට ලැබෙන්නේ නැත. එහෙත් රසය හා පෝෂ්‍ය ගුණය ස්වාභාවික ව ඉදුණු අඹවලට වඩා බෙහෙවින් අඩු වේ. එම නිසා වෙළෙදපොළේ ඇති ආකර්ෂණීය කහ පැහැති ඉදුණු අඹ මිල දී ගැනීමේ දී ඔබ සැලකිලිමත් විය යුතුයි.

අපි මෙම ලිපි පෙළේ පළමු කලාපයෙන් කාබයිඞ් භාවිතය හා එහි සෞඛ්‍ය හානි පිළිබඳ ව විස්තරාත්මක ව සාකච්ඡුා කළ බව ඔබට මතක ඇතැයි සිතමු. කාබයිඞ්වල ආසනික්, පොස්පරස් වැනි විෂ රසායන ද්‍රව්‍ය කොටස් අන්තර්ගත වන අතර මේවා පිළිකාකාරක ලෙස ක‍්‍රියා කරන බව විද්‍යාත්මක ව තහවුරු කර තිබේ. මෙයට අමතර ව මෙම රසායනික ද්‍රව්‍ය නිතර ශරීරගත වීමෙන් වෙනත් බරපතළ රෝග තත්ත්ව ද ඇති විය හැකි බවත් ගර්භනී මව්වරුන් කාබයිඞ් යෙදු පලතුරු ආහාරයට ගැනීමෙන් ගබ්සා වීම්වලට හා අංගවිකල දරුවන් බිහිවීම් වැනි සංකූලතාවලට ද ලක් විය හැකි බවත් සොයා ගෙන ඇත.

ලක්ෂාන් වර්ණකුල

ජාන විද්‍යාගාරය

පර්යේෂණ හා සංවර්ධන ආයතනය

 

 

You may also like...