36_3 සෞඛ්‍ය පර්යේෂණ සඳහා සහභාගිත්ව පිවිසුමක්

දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථීකයක් ගොඩ නගා ගැනීම මෙරට සංවර්ධනය සඳහා ඇති ප්‍රමුඛ පිවිසුම් මාර්ගයක් ලෙස දැනටමත් හඳුනා ගෙන තිබේ. එවන් ආර්ථීකයක් පර්යේෂණ සංස්කෘතියක් මෙරට තහවුරු කළ යුතු ය. ඊට ඉහළ ප්‍රමිතියේ පර්යේෂණ ක්‍රම වලීන් පිළිබඳ ලොව විවිධ රටවල ගොඩ නැගී ඇති දැනුම් පද්ධතිය විමසා බැලීම අත්‍යවශ්‍ය ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොව උසස් ම ප්‍රමිතියේ පර්යේෂණ සිදු කරන රටවල් හා ඒවායේ වෘත්තීය පර්යේෂණ ආයතන තම කටයුතු සඳහා රෝගීන්ගේ ද එම රෝගීන් හා නිරතුරු ව කටයුතු කරන පිරිසගේ ද දායකත්වය තහවුරු කර ගැනීම සඳහා PPIE නම් සංකල්පය ප්‍රායෝගික ව භාවිත කරනු ලැබේ. එම සංකල්පය මෙරටට හඳුන්වා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආයතනය පුරෝගාමී කාර්යභාරයක නිරත ව සිටී. මැනවින් සැලසුම් කළ පර්යේෂණවලින් ලබන දැනුම නිසා සමස්ත සමාජයට ම ප්‍රතිලාභ හිමි වේ. රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය සහිත ව පර්යේෂණ සිදු වන විට, පර්යේෂණ ප්‍රතිඵලවල ඵලදායිතාව ඉහළ යයි. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන පර්යේෂණ විශේෂිත ය. උදාහරණයක් ලෙස දියවැඩියා රෝගීන් පිළිබඳ කරන පර්යේෂණයක් සැලසුම් කරන පර්යේෂකයකුට, දියවැඩියා රෝගය වැළඳුන රෝගියකුගේ අත්දැකීම් ද ඛෙහෙවින් වැදගත් වේ. එසේ ම එවැනි රෝගියකු හා නිරතුරු ව රැඳන පවුලේ ඥාතීන් මෙන් ම රෝගියාට උවටැන් කරන්නට ද සේවා සපයන්නට ද ඉදිරිපත් වෙන සෙසු පුද්ගලයන්ගේ ද අත්දැකීම් හා දැනුම එක් කර ගත හැකි නම්, දියවැඩියාවට අදාළ පර්යේෂණය, ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන ලෙස සැලසුම් කළ හැකි වේ.

මීට අමතර ව පොදු සමාජයේ වෙසෙන දියවැඩියා රෝගය පිළිබඳ උනන්දුවක් දක්වන ඒ ගැන දැනුම සොයන දැනුම ඛෙදා හදා ගැනීමට කැමති පොදු මහජන අදහස් ද පර්යේෂණයේ දී විශේෂ වටිනාකමක් එක් කරනු ඇත. එසේ සෞඛ්‍ය පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය හා සහභාගිත්වය ලබා ගැනීම විධිමත් ව සිදුකිරීම PPIE සංකල්පයේ හරය යි.

PPIE යාන්ත්‍රණය නිසා, වෛද්‍ය විද්‍යාත්මක සහ සෞඛ්‍ය පර්යේෂණ-වල උසස් ගුණාත්මකභාවයක් අත්කර ගැනීමට ඉහළ ආදායම් සහිත සංවර්ධිත රටවල පර්යේෂකයන් සමත් ව ඇත. ඒ නිසා ම එවැනි පර්යේෂණ ප්‍රතිඵල ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පොදු සමාජීය යහපත වෙනුවෙන් භාවිත කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. PPIE සහභාගිත්ව ප්‍රවේශය සඳහා එක් වන පිරිස සමග, පර්යේෂණ චක්‍රය අතරතුර (රූප සටහන බලන්න) පර්යේෂකයෝ, විවිධ අවස්ථාවල දී සම්බන්ධ වී දායකත්වය ලබා ගනිති. එමගින් පර්යේෂණයට සම්බන්ධ වන සියලූ දෙනාට ම පර්යේෂණ දැනුමේ හවුල්කරුවන් වීමට අවස්ථාව හිමි වේ. උදාහර-ණයක් ලෙස කිසියම් රෝගයකට අදාළ පර්යේෂණයක් කරන පර්යේෂකයකුට අදාළ රෝගයෙන් පෙළෙන අයකු තුළ, රෝගය හා එහි ස්වභාවය පිළිබඳ ව ඇති දැනුම මෙන් ම රෝගියකුගේ අවශ්‍යතා පිළිබඳ ව ඇති අවබෝධය, වඩාත් සාර්ථක පර්යේෂණ සඳහා ප්‍රවේශය සපයයි.

ප්‍රජාවක සාමාජිකයන්ට නන් අයුරින් සෞඛ්‍ය පර්යේෂණ ක්‍රියාවලියට සම්බන්ධ විය හැකි ය. පර්යේෂණ ප්‍රශ්න සකස් කර ගැනීමට සහාය වීම, පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ අනුමැතිය ලබා ගැනීමට ඉල්ලූම් කිරීමේ දී පර්යේෂකයා සමග එක් ව අදාළ කමිටුව හමුවේ පෙනී සිටීම, පර්යේෂණ උපදේශනය සඳහා වූ ප්‍රජා කණ්ඩායම්වල සාමාජිකයන් සේ කටයුතු කිරීම, පර්යේෂණය මගින් අනාවරණය කර ගත් අලූත් දැනුම ප්‍රචලිත කිරීමට සහාය දැක්වීම ඉන් සමහරකි.

ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත ආර්ථීකයක් පවතින රටකට ගැළපෙන ආකාරයේ ආකෘති ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේ හඳුනා ගෙන අපේ පර්යේෂණ ද, රටේ දැනුම ප්‍රචලිත කිරීමට සහාය දැක්වීම ඉන් සමහරකි.

දියුණුවට මග පාදන ගුණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයකට පත් කර ගැනීම යුගයේ අභියෝගය යි. PPIE සංකල්පය ඒ සඳහා ප්‍රවේශයක් ලෙස භාවිත කළ හැකි ය.

පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ PPIE පිළිබඳ දැක්ම කෙබඳු ද ?

ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් ඇතුළු සියලූ පාර්ශ්ව දැනුම්වත් කරමින් වඩා ඉහළ ප්‍රමිතියකින් යුතු පර්යේෂණ සංස්කෘතියක් රට තුළ ස්ථාපනය සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආයතනය කැප වී සිටී. පර්යේෂණ සහ සංවර්ධන ආයතනය දැනට අවුරුදු 20කට අධික කාලයක සිට අපේ රටේ නැගී එන නවක පර්යේෂකයන්ට පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ දැනුම මෙන් ම පර්යේෂණයක දී අවශ්‍ය වන තාක්ෂණික සහාය ලබා දීමේ දී ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

2018 වසරේ සිට PPIE සංකල්පය මෙරට පර්යේෂකයන්ට සහ පොදු ජනතාවට හඳුන්වා දීමට අදාළ ව විවිධ වැඩමුළු පර්යේෂණ සැසි පැවැත්වීම ඔස්සේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

 

මනෝරි විමලසේකර

 

 

You may also like...