පොතක වත – “මම ක‍්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි”

බි‍්‍රතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක‍්‍රමවේද හා අධ්‍යාපන පද්ධතියේ වහලුන් බවට අප පත් ව ඇතැයි බොහෝ දෙනකු නඟන මැසිවිලි මම අසා ඇත්තෙමි. එම මැසිවිලිවල අසත්‍යතාවක් නැත්තා ම නො වේ. එහෙත් ඒවා හුදෙක් මැසිවිලිවලට පමණක් සීමා වීම කනගාටුවට කරුණකි. මැසිවිලිවලට පමණක් සීමා නො වී, එම විවේචන ඉන් ඔබ්බට ගෙන යා හැක්කේ අපගේ සමාජ-ආර්ථික-ආගමික රටාවට අනුරූප අධ්‍යාපන පද්ධතියක් ගොඩ නඟා ගැනීමෙන් බව, අමුතුවෙන් පසක් කළ යුතු නො වේ. එහෙත් එසේ කළ හැක්කේ අපගේ ම අධ්‍යාපන පද්ධතියෙන් මතු වන පර්යේෂණ පාදක කොට ගෙන පමණි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාශීලි පුද්ගලයන්, තම ක්ෂේත‍්‍රයේ මතු වන ප‍්‍රශ්නවලට විද්‍යාත්මක විසදුම් සෙවීමෙන් සහ එම විසදුම් ක‍්‍රියාවට නැඟීමෙන්, දැනට පවතින (අප විසින් බොහෝවිට මැසිවිලි නඟන) අධ්‍යාපන පද්ධතිය වඩාත් සාධනීය මට්ටමකට ගෙන යා හැකි අතර ම, එය වඩාත් අපගේ සමාජ-ආර්ථික-සංස්කෘතික රටාවට අනුරූප කළ හැකි වේ.

ඉහත කරුණු කාරණාවලින් සාධනීය වන්නේ, වත්මන් අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයා කරා ගෙන යන ගුරුවරයා, හොඳ ගුරුවරයකු පමණක් නො ව හොඳ පර්යේෂකයකු ද විය යුතු වගයි. එහෙත් ගුරුවරයා පර්යේෂණ ක‍්‍රියාවලියට යොමු නොවීමට ප‍්‍රධානතම හේතු දෙක වනුයේ තත්කාලීන ගුරුවරයාට අධ්‍යාපන පර්යේෂණ ක‍්‍රමවේද පිළිබඳ මනා දැනුමක් නොමැති වීම සහ පර්යේෂණ සඳහා වැය කළ හැකි කාලය මඳ වීමයි. මෙම හේතු දෙකට ම පිළිතුරු මෙම පොතෙන් සැපයේ.

පළමු හේතුව වන අධ්‍යාපන පර්යේෂණ ක‍්‍රියාවලිය පිළිබඳ දැනුම මද බවට මෙම පොතින් මනා ව පිළිතුරු සපයයි. පොතෙහි අන්තර්ගත පස් වැදෑරුම් ක‍්‍රියාවලිය,  ඕනෑ ම කෙනකුට ඉතාමත් ඉක්මනින් කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් ලියැවී ඇත. මෙම කෘතියේ පර්යේෂණවේදයේ ඇති තාක්ෂණික පදවලට අනුරූප ඉංග‍්‍රීසි පද ද සපයා ඇත. එය පාඨකයාට ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයන කිරීමක දී පහසුවක් වනු ඇත. එසේ ම පොතෙහි සඳහන් පර්යේෂණ ක‍්‍රමවේද බොහොමයක් “ගුණාත්මක පර්යේෂණ” ක‍්‍රමවේද වීම, ගණිතමය නැඹුරුවක් නැති පාඨකයකුට වුව ද මෙම පොතෙන් ප‍්‍රයෝජන ගැනීමට අවකාශ සලසයි. එහෙයින් සෞන්දර්යාත්මක විෂයයන් උගන්වන ගුරුවරුන්ට පවා පොත පරිශීලනය කිරීමට අපහසු නො වනු ඇත.

කෘතියේ නම : මම ක්‍රියාමුලික පර්යේෂකයෙක් වෙමි

කතෘවරු : ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, ඩබ්. එම්. චන්දන විජේකෝන්, ඩී. ඉවෝන් එස්. සමරවික්‍රම

ප්‍රකාශනය : අධ්‍යාපන පර්යේෂණ ඒකකය, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

කරුණු මෙසේ වුව ද, මෙම පොත කියවීමෙන් මට දැන ගැනුමට ලැබුණේ “ක‍්‍රියාමූලික පර්යේෂණ” පිළිබඳ ලේඛනයක් මීට වසර 50කට ද පෙර ස්වභාෂාවෙන් මුද්‍රණය වී ඇති බවයි. එසේ නම් මීට පෙර මුද්‍රිත පොත්වලින් නො වුණු සේවයක් මෙම පොතෙන් විය හැකි ද? මෙම පොතෙහි වන එක්තරා සුවිශේෂී ගුණාංගයක් එසේ වෙනත් පොත්වලින් නොවුණු සේවයක් මේ පොතින් වීමට දායක වනු ඇතැයි මට හැගේ. එම ගුණාංගය නම් පොතෙහි ඇති පියවර පහ පැහැදිලි කිරීමට යොදා ඇති උදාහරණයි. බොහෝ පර්යේෂණ පොත් උදාහරණවලින් වියුක්ත ය. උදාහරණ ඇති පර්යේෂණ පොත් පවා එක් උදාහරණයක් යොදා ගන්නේ එක් සංකල්පයක් පමණක් පසක් කිරීමට ය. එහෙත් මෙම පොතෙහි ඇති ප‍්‍රධාන උදාහරණය මුළු පොත පුරා ම දිව යයි. එම නිසා පොතෙහි අන්තර්ගත පර්යේෂණ ක‍්‍රියාවලියෙහි ඇති පියවර පහ, එක් පියවරකින් අනෙක් පියවරට ගළපා ගැනීමට පාඨකයාට පහසු වෙයි. මෙම ප‍්‍රධාන උදාහරණයට අමතර ව, එක් එක් සංසිද්ධිය පැහැදිලි කිරීමට වෙනත් අතුරු උදාහරණ රාශියක් උපයෝගි කර ගෙන තිබීම ද ප‍්‍රශංසණීය වේ.

ගුරුවරයකු පර්යේෂණ ක‍්‍රියාවලියට යොමු නොවීමට පාදක වන දෙ වන හේතුව වන කාලය මඳ බවට ද මෙම පොතින් පිළිතුරු සැපයේ. එම පිළිතුරු දෙවැදැරුම් ය. පළමු ව පොතෙහි අන්තර්ගතය ක‍්‍රියාවට ආදේශ කිරීමට පහසු ආකාරයෙන් ලියැවී තිබීම නිසා පාඨකයාට අඩු කාලයකින් මෙම පොත කියවා තේරුම් ගැනීමට හැකි වීම, කාර්යබහුල ගුරුවරයා මේ පොත වෙත යොමු කිරීමට වැදගත් වේ. දෙ වනුව පොතින් කියා පාන අධ්‍යාපන පර්යේෂණ ක‍්‍රමවේදය (ක‍්‍රියාමූලික පර්යේෂණ ක‍්‍රමවේදය), කාර්යබහුල ගුරුවරයා තම ඉගැන්වීමේ ක‍්‍රියාවලියේ දී ම පර්යේෂණ කාර්යයට යොමු කරයි. එය කාර්යබහුල ගුරුවරයකුට පර්යේෂණ ක‍්‍රියාවලියෙහි නිරත වීමට මහත් පිටුවහලක් වනු නොඅනුමාන ය.

ඉහත විග‍්‍රහයෙන් පිළිබිඹු වන පරිදි, ගැඹුරු විද්‍යාවක් ඉතාමත් ප‍්‍රායෝගික ව තම අධ්‍යාපන ක‍්‍රියාදාමයට ආදේශ කළ හැකි පරිදි, සරල බසින් ගෙන හැර පෑමට, වියත් මඩුල්ලක් විසින් ගනු ලැබූ උත්සාහයක් ලෙස මම මෙම පොත දකිමි. එවන් උත්සාහයක් අධ්‍යාපන පර්යේෂණයට ළැදි කාර්ය බහුල ගුරුවරයාට මහත් ආස්වාදයක් වනු නොඅනුමාන ය. එසේ ම එවන් ළැදියාවක් වර්ධනය කිරීමට මෙතෙක් අවකාශ නො ලද ගුරුවරුන්ට “මම ක‍්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි” පොත කියැවීමෙන් අධ්‍යාපන පර්යේෂණ ක‍්‍රියාවලියට ළැදියාවක් වර්ධනය කර ගත හැකි වනු ඇත.

(මෙම කෘතියේ PDF පිටපත වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මෙම වෙබ් සබැදියට http://nwpedu.lk/pdfup/index.php පිවිසීමෙන් ලබා ගත හැකි ය)

ගෝමින්ද පොන්නම්පෙරුම

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

වෛද්‍ය පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

 

ගවේෂණ සගරාව / 2018 ජනවාරි -මාර්තු / 30 වන කලාපය 

 

 

You may also like...