ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නැත

දැනුම අහසින් කඩා නොවැටුණු බවත්, මිහිතලයේ සමස්ත දැනුම් සම්භාරය තනි තනි මිනිසුන්ගේ මනස් තුළ නිම නො වූ බවත්, අපි සියලූ දෙනාට කළ හැක්කේ පවතින දැනුම අනුසාරයෙන් එය තව තවත් පෝෂණය කිරීම පමණක් බවත් අපි මීට පෙර ද අවධාරණය කර ඇත්තෙමු.

වසර 30කට එහා දිවෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බුද පරාජය කරමින් ඉදිරියට යන ගමන සෙමින් වුවත් සාධනීය මාවතකට යොමු වෙමින් පවතින මේ වකවානුවේ, ආදරණීය මාතෘ භූමිය පෙරදිග බුද්ධි භාණ්ඩාගාරය කිරීමේ අවශ්‍යතාවත්, ව්‍යායාමයත් තනි පුද්ගලයකුගේ හෝ තනි ආයතනයක උරුමය හෝ වගකීම යැයි සිතීමට තරම් පටු මානයක සිරවීමට හැක්කේ පුංචි මිනිසුන්ට පමණි. එම නිසා ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නැති බව අප නැවත වතාවක් අවධාරණය කරමු.

දැනට පර්යේෂණ ක්ෂේත‍්‍රයේ නියැළෙන බොහෝ දෙනකුගේ කඩඉම පර්යේෂණ නිබන්ධයක් සම්පූර්ණ කිරීම හා එය උසස් වීමක් සඳහා ප‍්‍රයෝජනයට ගැනීම වැනි හුදු පුද්ගල මූලික ප‍්‍රවණතාව බව අකමැත්තෙන් වුව ද සඳහන් කිරීමට සිදු වී ඇත. එහෙත් තමන්ගෙන් ඔබ්බට දිවෙන පර්යේෂණ දැනුම පුළුල් ලෙස ජාතික තලයේ හා ජාත්‍යන්තර තලයට රැුගෙන ගොස් බෙදා හදා ගනිමින්, දැනුම තව තවත් පෝෂණය කරමින්, සමස්ත මානව සංහතියේ හෙට දවස දක්වා පුළුල් ව සිතීමේ විසල් මනසක් හා දැක්මක් සහිත පුරා විහිදුණු පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සාමූහික ප‍්‍රයත්නයක අවශ්‍යතාව දැඩි ලෙස මතුවෙමින් පවති. මින් අදහස් කරනුයේ පර්යේෂණ උපාධි හෝ තමා දායක වන දැනුම වර්ධනය කිරිමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිලාභ කිසිවක් පෞද්ගලික වීමට අප විරුද්ධ බව නො වේ. එහෙත් තමන්ගෙන් ඔබ්බට දිව යන න්‍යාය පත‍්‍රයකට ශ‍්‍රි ලාංකේය ජාතිය යොමු කිරිමේ බරපතළ අභියෝගය මේ රටට සැබෑ ලෙස ආදරය කරන සෑම දෙනකු හමුවේ තිබෙන යුතුකමක් බව අවධාරණය කරමු.

මේ වන විට ඒ සඳහා ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය වෙනදට වඩා පළල් තලයකට පැමිණ ඇති බව පැවසීම අතිශයෝක්තියක් නො වේ. විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්නා තත්ත්වය ද තව තවත් පුළුල් වෙමින් පවතී. පර්යේෂණ කටයුතු විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටතට ද කාන්දු වෙමින් පවතී. ඒ සෑම දේ ම ඉතා සාධනීය දිශාවකට ගමන් කිරීමේ සුබ පණිවිඩයකි.

‘පර්යේෂණ හා සංවර්ධන ආයතනය’ හා ‘ගවේෂණ’ සඟරාව බින්දුවෙන් පටන් ගත් අපට පුර්ණ කාලීන මානව සම්පත් හෝ යටිතල පහසුකම් තිබුණේ නැත. අප සතු ව තිබුණේ නොසැළෙන අධිෂ්ඨානය හා ඉලක්ක පමණි. එහෙත් ඒ දිගු ගමනේ දී අප සන්ධිස්ථානයට පැමිණ සිටිමු. ජාතික හා ජාත්‍යන්තර පිළිගැනිමට ලක්වන ප‍්‍රමිතියක් සහිත, පර්යේෂණ සඳහා ම කැපවුණු පර්යේෂණ ආයතනයක් අප ස්ථාපිත කර ඇත්තෙමු.

එහෙත් අපට අද ඇත්තේ අන් ආයතන අභිබවා යන කුහක තරගයක් නො වේ. ඒ මන්දයත් දේශිය දැනුම් සම්භාරය පර්යේෂණ සංස්කෘතියක් තුළ පෝෂණය වන ඒ දැවැන්ත ව්‍යායාමයේ තනි අයිතිය ඉල්ලා සිටීමට කිසිවකුටත් අයිතියක් නොමැති බව දැඩි ලෙස විශ්වාස කරන හෙයිනි.

අපි අපේ සීමාවන් හොඳාකාර ව ම දනිමු. එහෙත් අපේ හැකියාවන් ගැන ද පැහැදිලි අවබෝධයකින් හා තක්සේරුවකින් සිටිමු. ‘පර්යේෂණ හා සංවර්ධන ආයතනය’ සහ ‘ගවේෂණ’ සඟරාව ස්ථාපිත කර එය පෝෂණය කළ අති බහුතරයකට මේ ගැන අදත් ඇත්තේ නිරවුල් දසුනකි; විශ්වාසයකි. අප අතර ද අගතිගාමී ඝෘණාත්මක අදහස් දරන උදවිය නොසිටියා ම නො වේ. වෙනත් පුද්ගල සමූහයන් හා ආයතනවල ද එවන් ප‍්‍රවණතා තිබීම ගැන ද අප පුදුම විය යුතු නැත. ඒ මන්දයත් අසුබවාදී සමාජ, ආර්ථික, දේශපාන හා සංස්කෘතික ඛාදනයට ලක් ව තිබූ අපේ රටේ පොදු යහපත පරයා පෞද්ගලික ප‍්‍රතිලාභ ඉස්මතු වීම ඔස්සේ ඇති වී තිබෙන වැරදි ප‍්‍රවණතා තවමත් සමාජය තුළ අක්මුල් බැසගෙන තිබෙන බැවිණි.

එහෙයින් අප විසින් තිරසාර ලෙස විශ්වාස කළ නව දැනුම නිර්මාණය කිරීම හා පෝෂණය කිරිමේ ජාතික න්‍යාය පත‍්‍රය තව තවත් ඉහළට ඔසවා තැබීමේ භාරදුර කටයුත්තේ වගකිව යුතු කොටස්කරුවකු බවට පත් වී ”පුරා විහිදුණු පර්යේෂණ සංස්කෘතියක්” යන සටන් පාඨය සමාජ ගත කිරිමේ අසීරු වගකීමක අප නිරත වී සිටිමු. ඒ සඳහා අවැසි ඉදිරි දසුන හා කැපවීම සහිත තමන්ගෙන් ඔබ්බට සිතිය හැකි මිනිසුන් සීමිත සංඛ්‍යාවක් හෝ අප සමග නොසැළී සිටින බව ද අප හොඳාකාර ව දනිමු. එම කටයුත්තට දායක වීමට, ලොව කොතැනක හෝ වෙසෙන ජාතික හා ජාත්‍යන්තර දැනුමට තීරණාත්මක ලෙස දායක වූ ශ‍්‍රී ලාංකික විද්වතුන්ට, බුද්ධිමතුන්ට මේ අපේ විවෘත ආරාධනය යිි. ඒ සඳහා අප සියලූ දෙනා එක්වෙමු. ලාංකේය භූමි තලයේ පර්යේෂණ සඳහා කැපවුණු මනසකින් හෙබි තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීමේ දිගු කාලීන ඉලක්කය හඹා යමු. හෙට දවස ජය ගනු හැක්කේ ජව සම්පන්න, පිළුණු නොවුණු පර්යේෂණාත්මක මනසකින් හෙබි අංකුර පර්යේෂකයන් සංචිතයක් ස්ථාපිත කිරීමෙන් පමණි.

“ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නැත”

Editorial 22nd volume

You may also like...