දියුණු රටක කසළ කළමනාකරණය

නිවෙස්වලින්, කාර්යාලවලින්, කර්මාන්තශාලාවලින් ඉවත් කරන ඝන අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කිරීම හැම රටකට ම අභියෝගයකි. ඒ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් සිටින රටක් වන කැනඩාවේ අපද්‍රව්‍ය කළමනාකරණය ආදර්ශයක් ලෙස ගෙන, නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රම අපේ රටට උචිත ලෙස සකස් කර ගැනීම එතරම් අපහසු නැත.
පරිසරය රැක ගැනීම යටතේ කසළ කළමනාකරණය ජාතික මට්ටමේත් ප‍්‍රාන්ත මට්ටමේත් නගරසභා මට්ටමේත් වගකීමක් වන නිසා, සෑම තලයකට ම ඒ පිළිබඳ නීතිමය බලයක් ද ඇත. අපද්‍රව්‍ය වර්ග කිරීම, දැනුම්වත් කිරීම හා නිපදවන කසළ ප‍්‍රමාණය අඩු කිරීම මෙහි වැදගත් ම අංගය ය.
අපද්‍රව්‍ය වර්ග කිරීම

මෙහි දී හඳුනා ගැනීම හා සන්නිවේදන පහසුව උදෙසා වර්ණය, සංකේතයක් ලෙස භාවිත කරනු ලැබේ. අපද්‍රව්‍ය ප‍්‍රධාන ලෙස වර්ග හයකි.
1. කොළ පාට බඳුන් – ඉවත දමන ආහාර හා කාබනික ද්‍රව්‍ය (Organic)
2. නිල් පාට බඳුන් – ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය (Recycling)
3. අළු පාට බඳුන් – ඉහත දෙකට අයත් නො වන අපද්‍රව්‍ය (Garbage)
4. වත්තේ කොළ රොඩු ආදිය (Yard Waste)
5. ඉලෙක්ට්‍රොනික උපකරණ (Electronic Waste)
6. නිවෙස්, කාර්යාල, කම්හල්, හෝටල් ආදියේ භාවිත කර ඉවත් කරන පරිසරයට අනතුරුදායක අපද්‍රව්‍ය (Household Hazardous Waste)

ඒ ඒ වර්ණයට අදාළ අපද්‍රව්‍ය සරල ව මෙසේ ය.

1. කොළ පාට බඳුන්: ඉතිරි වූ ආහාර, එළවලූ පලතුරු ලෙලි, බිත්තර කටු, ආහාර ගෑවුණු සිනිදු කඩදාසි, භාවිත කළ tea bag, තේ හා කෝපි මන්ඩි, සත්ත්ව වසුරු, මල්, පස්
2. නිල්පාට බඳුන්: නොබිඳුණු බෝතල්, ප්ලාස්ටික්, ඇදෙනසුලූ මෘදු පොලිතින්, ලෝහ, කඩදාසි, කාඞ්බෝඞ්, රිජිෆෝම් පිඟන්, කෝප්ප, පොලිස්ටයිරින් (ප‍්‍රදේශයේ ප‍්‍රතිචක‍්‍රීකරණ පහසුකම් අනුව මෙයට ද්‍රව්‍ය ඇතුළත් කෙරේ).
3. අළුපාට බඳුන්: කඵපාට ප්ලාස්ටික්, ඇලූමිනියම් ෆොයිල්, බබල් රැප් (විදුලි උපකරණ වටේ එන), බිඳුණු විදුරු භාජන, කැඩුණු ලි බඩු, ඉවර වූ පෑන්, පොලිතින් ආහාර දවටන, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, හිසකෙස්, නිය
4. වත්තේ කොළ රොඩු: නියමිත බඳුනක් නැත. ගස් අතු කුඩා කොටස්වලට කඩා විශාල කඩදාසි කවර හෝ අඬු සහිත පෙට්ටියක දමා තැබිම
5. ඉලෙක්ට්‍රොනික උපකරණ: පරිගණක, දුරකථන, කී බෝඞ්, TV, කැමරා, ස්පිකර් ආදී දේ භාර ගන්නා මධ්‍යස්ථාන ඇත. බැටරි ඉවත් කරන ලද උපකරණ වෙන ම විවෘත පෙට්ටියක දමා හෝ පෙනෙන සේ බිමින් තැබීම.
6. අනතුරුදායක අපද්‍රව්‍ය: මෙයට අයත් වන්නේ විෂ ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, විඛාදනය විය හැකි ද්‍රව්‍යයයි. එනම්, වාහනවල ඔයිල් ෆිල්ටර් වැනි නිෂ්පාදන, තෙල්වර්ග සහිත බඳුන්, පිසීමට භාවිත කළ තෙල් වර්ග, ඖෂධ, මද්‍යසාර සහිත ක‍්‍රීම් වර්ග, තීන්ත සහිත බඳුන්, පොලිෂ් බඳුන්, බැටරි වර්ග, කෘෂි රසායන, කෘමි නාශක බඳුන්, ෆ්ලොරසන්ට් ටියුබ් ඇතුළු බල්බ් වර්ග, ගෑස් ටැංකි, ටයර් ආදිය.

අනතුරුදායක අපද්‍රව්‍ය භාර ගන්නා මධ්‍යස්ථානවලට හෝ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානවලට ගොස් භාර දිය යුතුයි. 10kg ට වඩා වැඩි ප‍්‍රමාණයක් ඇත්නම් විශේෂ සේවාවකට කතා කිරීමෙන් ගෙන යාමේ පහසුකම් ලැබේ.

සෑම නිවසක ම 1, 2, 3 වර්ගවල අපද්‍රව්‍ය සඳහා වැසිය හැකි කුඩා බඳුන් වෙන වෙන ම තිබිය යුතු අතර, තනි නිවාසවල, නිවසෙන් පිටත විශාල බඳුන් තිබිය යුතුයි. නිවාස සමූහයක් තිබෙන ගොඩනැගිලි, පාසල්, කාර්යාල හා කම්හල් ආදිය සඳහා වෙන් වෙන් ව අතිවිශාල බඳුන් ගොඩනැගිල්ලෙන් පිටත තැබිය යුතුයි. මේ සියලූ බඳුන් එක ම ප‍්‍රමිතියකින් යුක්ත වන අතර, රැුගෙන යාමට එන වාහනවලට පහසුවෙන් ළඟා විය හැකි පරිදි සකසා තිබේ.
1, 2, 3, 4, 5 එකතු කිරීම සඳහා, වෙන ම ට‍්‍රක් රථ පැමිණේ. ආහාර අඩංගු කොළ පාට බඳුන් සතිපතා එකතු කරන අතර නිල් බඳුන් හා අළු පාට බඳුන් සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට එකතු කරයි. වත්තේ කොළ රොඩුත්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයත් එකතු කරන්නේ අළු පාට බඳුන්වල කසළ ගෙන යන දිනයේ දී ම ය.
සෑම තනි නිවසකට ම වසර මුල දී අපද්‍රව්‍ය එකතු කිරීමට වාහන එන දිනය සඳහන් දින දර්ශනයක් ලැබේ. දින දර්ශනය දන්නා නිසා අදාළ දිනට පෙර දින රාත‍්‍රී නිවසේ තිබෙන බඳුන් පිටත බඳුන්වලට හිස් කර, එකතු කිරීමට නියමිත පිටත බඳුන් පාර අයිනේ තැබිය යුතු වේ. එක් එක් වර්ගයේ කසළ ගෙන යාම සඳහා වෙන ම ට‍්‍රක් රථ පැමිණේ. මේවායේ ගමනාන්ත එකිනෙකින් වෙනස් ය. අපද්‍රව්‍ය වර්ග කිරීම ගැන මහජනතාව දැනුම්වත් කිරීමට නොයෙක් ක‍්‍රම උපයෝගි කර ගනී.
x අපද්‍රව්‍ය එකතු කිරීමේ වාර්ෂික දින දර්ශනයේ අපද්‍රව්‍ය වර්ග කිරීම විස්තරාත්මක ව පළ කර ඇත.
x පාසල්, කාර්යාල, හෝටල්, පොදු ස්ථාන ආදී හැම තැන ම වර්ග කරන ලද කසළ බඳුන් තැබීම. ඒ අසළ පින්තුර සහිත වර්ගීකරණ පෝස්ටර් තැබීම
x දැනුම්වත් කිරීමේ වැඩසටහන්, අත් පත‍්‍රිකා, පොත් පිංච මගින් නිතර මහජනතාව දැනුම්වත් කිරීම.
x පාසල් විෂය නිර්දේශයේ විවිධ විෂයය යටතේ මේ ගැන සාකච්ඡුා කෙරේ.
x පාසල්වල සෑම පන්තියක ම කසළ වර්ගීකරණ ගැන පෝස්ටර් තිබෙන අතර කසළ වර්ග සඳහා වෙන ම බඳුන් තිබේ.
x බොහෝ පාසල්වල පන්තිවල ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන් සිසුන් විසින් ම ක‍්‍රියාත්මක කෙරේ. මෙහි දී අදාළ නො වන ද්‍රව්‍ය එම බඳුනේ තිබුණ හොත් එකතු කරන සිසුන් විසින් ම අනෙක් සිසුන් දැනුම්වත් කෙරේ.
x අදාළ නාගරික වෙබ් අඩවිය

ගෙන යන අපද්‍රව්‍ය වලට සිදුවන දේ

කොළ පාට බඳුනේ හා වත්තේ කොළ රොඩු කොම්පෝස්ට් සැදීම පිණිස ඒ සඳහා වූ මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබේ. සාදන කොම්පෝස්ට් වසරේ වගා කටයුතු කරන කාලය වන අපේ‍්‍රල් සිට සැප්තැම්බර් දක්වා නොමිලේ ලබා ගැනීමට වෙන ම ස්ථාන පිහිටුවා ඇත. සාමාන්‍යයෙන් පවුලකට කියුබික් මීටරයක පස් ප‍්‍රමාණයක් ගෙන යා හැකි ය. කොම්පෝස්ට් සාදන සමාගම් මගින් පැකට් කර විකුණනු ලැබේ.
නිල් බඳුනේ ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යොමු කරයි. මෙහි දී අපද්‍රව්‍ය යන්ත‍්‍ර මගින් හෝ මිනිස් ශ‍්‍රමයෙන් වර්ගීකරණය කර වෙන් වෙන් ස්ථාන වෙත යොමු කරයි. මේවා බොහෝ විට පුද්ගලික සමාගම් ය. එහෙත් පළාතේ/ප‍්‍රාන්තයේ නීතිවලට අනුව ක‍්‍රියා කරති. ඔවුහු ද්‍රව්‍ය එකිනෙකට සුදුසු ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කරති.
Garbage එහෙම නැත්නම් ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නොහැකි කසළ යොදවන්නේ බිම් පිරවීමට (Landfilling) හෝ දහනයට (incineration) යි.
බිම් පිරවීම: බොහෝ නගරවල සෞඛ්‍යාරක්ෂිත බිම් පිරවීම සිදු වේ. මෙහි දී කරන්නේ ස්වාභාවික ව හෝ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා පොළොවේ වලක් මෙන් ඇති ස්ථාන තෝරා ගෙන ඉවතලන කසළ තරමක ස්තරයක් ලෙස ඇතිරීමයි. ඉන් පසු එය වැසෙන සේ කුණු රහිත තුනී පස් තට්ටුවක් යොදයි. මෙලෙස තෝරා ගත් බිම පිරෙන සේ මාරුවෙන් මාරුවට කසළ හා පස් පුරවයි.
සාමාන්‍යයෙන් ජනයා වෙසෙන ප‍්‍රදේශයට ඈතින් ඇති බිම් තෝරා ගත්තත් ජනගහනය වැඩි වෙමින් නගර විශාල වීමේ දී මෙම පුරවන ලද බිම් උද්‍යාන, කාර්මික උද්‍යාන හා ගොල්ෆ් පිටි සඳහා යොදා ගනු ලබයි. අසමතුලිත පොළවේ ස්වභාවය නිසා පිරවූ බිම් පහසුවෙන් හඳුනා ගත හැකි ය. එක් බිමක් පිරී අවසන් වීමට පෙර වෙනත් සුදුසු බිමක් හඳුනා ගැනෙයි.
දහනය: ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් පසු ඉතිරි වන දව්‍ය හා වෙනත් කසළ, දහන මධ්‍යස්ථානවල දී තද තාපයට හසු කර බිඳ වැට්ටවීමෙන් පසු ව දහනය කරයි. කසළ ගිනි ගැනීමෙන් ලැබෙන තාපය මගින් විශාල බොයිලර්වල ජලය උණු කර, ලැබෙන වාෂ්ප මගින් විදුලිය නිපදවා, ගොඩනැගිලි උණුසුම් කිරීමට හෝ කර්මාන්තශාලාවල යන්ත‍්‍ර ක‍්‍රියා කරවීමට යොදා ගනී. දහනයෙන් ඉතිරි වන අළු බිම් පිරවීම පිණිස යැවේ.
ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ස්ථානවලින් බාර ගෙන උපකරණ ගොනු කර අනුමත ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානවලට ප‍්‍රවාහනය කෙරේ. මේවා කසළ සමග එක් නොවීමට වග බලා ගනු ලැබේ.
අනතුරුදායක අපද්‍රව්‍ය එකතු කිරීමෙන් පසු වෙන වෙන ම වර්ග කෙරේ. ඒ එක එකක් අදාළ ප‍්‍රතිකර්ම සඳහා යොමු කෙරේ. සමහර ප‍්‍රතිචක‍්‍රීකරණ ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීමක් පවා සිදු කෙරේ.
බැටරි: නැවත භාවිතයට ගත හැකි ලෝහ හා ප්ලාස්ටික් වෙන් කර ඒවා නැවත අලූත් කොටස් සෑදීම සඳහා යොදවයි. ඇසිඞ් තනුක කර ස්පටිකිකරණය හෝ නව බැටරිවලට යොදවා ගැනීම හෝ කරයි. පසට එක් වීමක් සිදු නො කෙරේ.
තීන්ත වර්ග: මිනිස් ශ‍්‍රමය යොදවා වර්ග කරන තීන්ත අතරින් එක සමාන වර්ණ ඇති ඒවා නැවත තීන්ත සැදීමට යොදවයි. එලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නො හැකි තීන්ත මගින් සිමෙන්ති හා හුණුගල්වලට ආදේශක සාදයි. ඉතා ම සුළු ප‍්‍රමාණයක් බිම් පිරවීමට යෙදවෙයිි.
ඔයිල් ෆිල්ටර් හා වාහන තෙල්: කුණු, රසායන ද්‍රව්‍ය හා ජලය ඉවත් කර අලූත් වාහන තෙල් ලෙස යොදා ගනී.
ඉවීමෙන් පසු ඉවත් කරන තෙල්: ආපනශාලා ආදියෙන් ඉවත් කරන භාවිත කළ තෙල් 100%ක් ම ප‍්‍රතිචක‍්‍රීකරණය කරයි. ජිව වායු හා බයෝ ඩිසල් සැදීම සිදු වේ.
ඖෂධ: කල් ගිය හෝ භාවිත නො කළ ඖෂධ, නැවත මිල දී ගත් ඔසුසලට භාරදීමට මහජනයා උනන්දු කරවයි. එම ස්ථානවලින් හා භාර ගන්නා මධ්‍යස්ථානවලින් එකතු කරන ඖෂධ උදාසීන කර, විෂ නසා බිම් පිරවීමට යොමු කරයි.
කෘමිනාශක හා කෘෂි රසායන: පාලිත තත්ත්ව යටතේ ඉහළ තාපයකට ලක් කරයි. රසායනිකයන් වෙනස් වූ පසු තවදුරටත් ඇති දුෂිත ද්‍රව්‍යයත්, රසදිය, ෆියුරින් වැනි දේත් ඉවත් කර ඉතිරි වන අපද්‍රව්‍ය බිම් පිරවීමට යොදවයි.
පෙට‍්‍රල්, ඩිසල් වැනි ඉන්ධන: ක‍්‍රමානුකුල ව එකට මිශ‍්‍ර කර ‘අපද්‍රව්‍ය ඉන්ධන’ සාදයි. සිමෙන්ති පෝරණුවල ක‍්‍රියාකාරිත්වය සඳහා යොදා ගන්නේ මෙම අපද්‍රව්‍ය ඉන්ධනයි.
සිරින්ජ: ලෝහ තුඩු සහිත භාවිත කළ සිරින්ජ වෙන ම පෙට්ටිවල අසුරා දහන මධ්‍යස්ථාන වෙත යවයි. දහනයෙන් අනතුරු ව ඉතිරි වන ලෝහ කොටස් ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරේ.
ෆ්ලොරසන්ට් ටියුබ්: ප‍්‍රමාණය හා වර්ගය අනුව වෙන ම අසුරා ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවයි. එහි දී මේවා තෙරපීමකට ලක් කර ඇලූමිනියම් වැසුම්, තඹ කොටස්, වීදුරු, රසදිය අඩංගු කුඩු වෙන් කරයි. ඒවා වෙන ම පිරිසුදු කර නිෂ්පාදන මධ්‍යස්ථානවලට යොමු කරයි.
මේ අනුව ඉවතලන කසළවලින් 50%කට වැඩි ප‍්‍රමාණයක් නැවත භාවිත කළ හැකි ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කරයි.

ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ද්‍රව්‍ය සකසන නව ද්‍රව්‍ය

ප්ලාස්ටික් භාජන හා පියන් මල් බඳුන්, ප්ලාස්ටික් කණු, සෙල්ලම් බඩු
පරණ පත්තර, සඟරා අලූත් පත්තර, සඟරා සඳහා කොළ
ටෙලිෆෝන් ඩිරෙක්ටරි බිත්තර අසුරන උපකරණ
ඇලූමිනියම් බීම කෑන් ඇලූමිනියම් ෂීට්, විසිතුරු භාණ්ඩ
ලෝහ බඳුන් ලෝහ ගොඩනැගිලි උපකරණ
ප්ලාස්ටික් බෝතල් කාපට් සඳහා නූල්, රෙදි වැල් බඳින ලණු, දවටන
සිසිල් බිම පෙට්ටි (කුඩා) කඩදාසි අත්පිස්නා, ටිෂු
ඩෙනිම් ඇඳුම් පැන්සල් (ලී වෙනුවට)

කසළ නිපදවීම අඩු කර ගැනීමට මහජනයා යොමු කිරීම තවත් වැදගත් පියවරකි. ප‍්‍රධානතම අරමුණක් වන්නේ landfilling සඳහා යන කසළ ප‍්‍රමාණය අඩු කර ගැනීමයි. එය පුද්ගල වගකීමක් ලෙස සලකා ඒ පිළිබඳ දැනුම්වත් කරමින් මහජනතාව උනන්දු කෙරේ.
අපද්‍රව්‍ය නිපදවීම අඩුකිරීම සඳහා උපදෙස්
x භාණ්ඩ මිල දී ගැනීමේ ලැයිස්තුවක් සකස් කර අවශ්‍ය දේ පමණක් මිලට ගැනීම
x ප‍්‍රමාණවත් තරමට ඉවුම් පිහුම් කිරීම හා ආහාරයට ගත හැකි ප‍්‍රමාණය පිඟානට බෙදා ගැනීම
x ඉතිරි වන ආහාර පසු ව පරිහරණයට ශීත කිරීම
x අනවශ්‍ය ලෙස දවටන කිහිපයක අසුරා ඇති ද්‍රව්‍ය මිලට නොගැනීම
x හැකි සැම විට ම නැවත භාවිත කළ හැකි හෝ පිරවිය හැකි බඳුන් ගැනීම
x පාසලට, කාර්යාලයට ආහාරපාන ගෙන යාමට නැවත භාවිත කළ හැකි බඳුන් යොදා ගැනීම
x භාණ්ඩ ගෙන ඒමට රෙදි හෝ නැවත භාවිත කළ හැකි මලූ භාවිත කිරීම
x ඉක්මනින් විනාශ වන හා එක වරක් පමණක් භාවිත කළ හැකි භාණ්ඩවලට වඩා කල් තබා ගත හැකි භාණ්ඩ මිලට ගැනීම
x පරිගණකයේ සටහන් කළ දේ මුද්‍රණයට පෙර සෝදුපත් බැලීම
x හැකිතාක් කඩදාසියේ දෙපස ම භාවිතය
x නැවත භාවිත කළ හැකි හෝ අලූත්වැඩියා කළ හැකි දේ ඉවත විසි නොකිරීම
x අබලි වීමට පෙර අලූත්වැඩියා කිරීම
x ඇඳුම්, සපත්තු, කාපට්, බොත්තම්, විසිතුරු භාණ්ඩ, පිඟන් භාණ්ඩ, ළදරු ප‍්‍රෑම්, ගෘහභාණ්ඩ ආදී ඉවත් කරන දේ භාවිත කළ හැකි අයට අඩු මිලට හෝ නොමිලේ දීම (මෙසේ භාවිත කළ දේ ලබා ගෙන අඩු මිලට විකුණන හෝ සුබසාධන ලෙස නොමිලේ බෙදා හරින ස්ථාන ඇත).
x ඉවතලන රෙදි හා හම්වලින් නව නිෂ්පාදන සිදු කිරීම.

කසළ කළමනාකරණය යනු යන්ත‍්‍ර සුත‍්‍රවලින් ඉවත හෙලා විසඳිය හැකි ප‍්‍රශ්නයක් නො වේ. එය සම්පත් නැවත යොදා ගැනීම උදෙසා මහජනතාවගේ විනය හා ආකල්ප දියුණු කිරීම මගින් ජනතාව බල ගන්වා ජය ගත යුතු අභියෝගයකි.

බුද්ධිනී රුහුණුහේවා (B.Sc., M. Ed.)
ටොරොන්ටෝ, කැනඩාව

You may also like...