39_4 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී පාර්ශ්වකරුවන් කරගත යුත්තේ කවුරුන් ද

අපි 21 වැනි සියවසේ තෙවැනි දශකයේ ජීවත් වෙමු. අපේ අධ්‍යාපන ක්‍රමය කාලයේ තාලයට ගළපා ගත යුතු ව තිබේ. එනිසා ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවශ්‍යතාවකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවේදී විෂයයක් බව තේරුම් ගැනීම අසීරු නැත. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ බොහෝ අවස්ථාවල දී මතු වූ අභියෝග විමසා බැලීමෙන්, මේ තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගත හැකි ය.

ඉතිහාසයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හා බැඳුණු ක්‍රියාදාමවල දී, අදාළ පාර්ශ්වකරුවන් ඒ ප්‍රතිසංස්කරණ සඳහා සම්බන්ධ කර ගැනීම මග හැරී තිබුණු බව පෙනී යයි. පාර්ශ්වකරුවන් ක්‍රියාදාමයේ පංගුකරුවන් සහ වගකිවයුත්තන් නො වන පසුබිමක, වෙනස්කම් ප්‍රායෝගික ව හඳුන්වා දිය නො හැකි ය. ඒ නිසා ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පාර්ශ්වකරුවන් වඩාත් සක්‍රීය ලෙසත් ප්‍රායෝගික ලෙසත් එක් කර ගත හැකි ආකෘති හඳුනා ගත යුතු ව තිබේ. එහි දී වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සදහා Patient and Public Involvement and Engagement – PPIE (රෝගීන්ගේ සහ පොදු ජනතාවගේ දායකත්වය සහ සහභාගිත්වය) පිළිබද සංකල්පය ප්‍රායෝගික ව භාවිත කළ හැකි එළඹුමක් ලෙස යෝජනා කිරීමට කැමැත්තෙමු.

PPIE සංකල්පය තේරුම් ගැනීම සඳහා මෙම ලිපියේ අන් තැනක පළ වන සටහන වෙත අවධානය යොමු කරන්න. එම සංකල්පය, ප්‍රමුඛ ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා භාවිත වන බව දැක ගත හැකි නමුත් එහි හරය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි කාර්යයක දී ද ධනාත්මක ව භාවිත කළ හැකි ය.

PPIE සංකල්පය අනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ ඒවායේ ප්‍රමුඛතා අනුපිළිවෙළ තීරණය කිරීමට මුල් තැන හිමි වේ. මෙය ප්‍රශස්ත ව සිදු කළ හැකි වනුයේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වගකීම පැවරෙන විද්වත් වෘත්තික මණ්ඩලයට සමාන්තර ව, අදහස් යෝජනා එකතු කරමින් සහභාගි වන “අධ්‍යාපනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන කණ්ඩායමක්” (User group) යොදා ගැනීමෙනි. මෙම කණ්ඩායමට ඉගෙනුම ලබමින් සිටින ප්‍රාථමික, ද්විතීයක සහ තෘතීයක මට්ටම්වල නියෝජිතයින් වන ශිෂ්‍යයින් අනිවාර්යයෙන් එක් කර ගත යුතු ය. ඒ පිරිසගේ දෙමාපියන් සහ භාරකරුවන් අමතක නො කළ යුතු ය. ගුරුවරුන් හා කථීකාචාර්යවරුන් කණ්ඩායම තුළ සිටිය යුතු ම පිරිසකි. ගුරුවරුන් හා කථීකාචාර්යවරුන් යන කාණ්ඩයට පෙර පාසල් ගුරුවරුන්, පාසල් ගුරුවරුන් විශ්වවිද්‍යාල කථීකාචාර්යවරුන් පමණක් නො ව වෘත්තීය පුහුණු ආයතනවල උපදේශකවරුන් ද ඇතුළු සියලූ කණ්ඩායම් නියෝජනය වීම තහවුරු කළ යුතු ය. මේ පිරිස රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම නියෝජනය කරන අයගෙන් සමන්විත විය යුතු අතර ‘ටියුෂන් ගුරුවරුන්’ නොතකා නොහැරිය යුතු ය.

ව්‍යවසායකයන්, රැකියා සඳහා තරුණ පිරිස් බඳවා ගන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ද මීට එක් කර ගත යුතු ව තිබේ. විභාග සහ ඇගයීම් සිදු කරන වෘත්තිකයින් ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අනධ්‍යන කළමනාකරුවන් ද මේ කණ්ඩායමට එක් කර ගත යුතු ය. අධ්‍යාපන කළමනාකරුවන් යන්නෙන්, පාඨ ග්‍රන්ථ ප්‍රකාශන කළමනාකරුවන් ද පාසල් හා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ගොඩනැගිලි සහ විද්‍යාගාර ඉදිකිරීම් සැලසුම් කරන්නන් හා මෙහෙයවන්නන් ඇතුළු පිරිස් ද අදහස් කෙරේ.

මෙවන් පිරිස් හඳුනා ගන්නේ කෙසේ ද? PPIE සංකල්පය තුළ සැම විට ම සිදු කෙරෙන්නේ ඒ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන ලෙස කරන ඉල්ලීමක් ඔස්සේ පිරිස් තෝරා ගැනීම යි. ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ විවිධ අදියර සඳහා වෙන් වෙන් ව කණ්ඩායම් ඒකරාශි කළ හැකි ය. ඉහත පැහැදිලි කළ, අධ්‍යාපනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන කණ්ඩායම තෝරා ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිත කරමින් පොදු දැනුම්දීමක් ඔස්සේ ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය.

PPIE එළඹුම අනුව, අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා රාමුව ඉහත සඳහන් කළ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතයින්ට ඉදිරිපත් කර ප්‍රතිපෝෂණය ලබා ගත හැකි ය. අවසාන ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කළ යුත්තේ එම ප්‍රතිපෝෂණය ලබා ගැනීමෙන් පසු ව පමණි.

මෙවැනි ප්‍රතිපෝෂණයක් ලබා ගෙන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම ප්‍රායෝගික ද? වෛද්‍ය ක්ෂේත්‍රයේ නව දැනුම සොයන සංකීර්ණ පර්යේෂණ ව්‍යාපෘති තුළ මේ ක්‍රියාදාමය සාර්ථක ව භාවිත වේ. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල කෙරෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණවල දී PPIE සංකල්පය නිරතුරු ව භාවිත කරමින් යහපත් ප්‍රතිඵල ලබනු දැකිය හැකි ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු පුළුල් කාර්යයකි. ඊට සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය, අදහස්, අත්දැකීම් එක් කර ගත යුතු ය. එසේ නොවෙතොත් ඒවා අසවල් කමිටුවේ ප්‍රතිසංස්කරණ යෝජනා හෝ අසවල් අමාත්‍යවරයාගේ නැති නම් අසවල් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනා ලෙස ඌනනය වෙයි. එයින් ම එම යෝජනාවලට ප්‍රතිපක්ෂ ව විරෝධතා ගොනු වීමේ ඉඩක් මතු වේ.

PPIE සංකල්පය මගින් එම අභියෝග ජය ගැනීමට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගත හැකි ය. එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සමග එක් ව එම සංකල්පය මෙරට විද්‍යාත්මක පර්යේෂණ සඳහා හඳුන්වා දීමට ගෙවී ගිය වසර තුනක කාලයේ දී කටයුතු කර ඇත.  එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා PPIE සංකල්පයේ හරය භාවිත කෙරෙන්නේ නම් ඊට අවශ්‍ය න්‍යායික, තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන්ගෙන් ලබා ගැනීම අසීරු නොවනු ඇත.

 

මනෝරි විමලසේකර

සම්බන්ධීකාරක – PPIE

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

manouridias@gmail.com

 

 

 

 

 

 

 

You may also like...