පිළිකා මර්දනය සඳහා වෙන ම ජාතික වැඩසටහනක් කුමට ද? මෙම වැඩසටහන ආරම්භ වුණේ් කවදා ද?

වර්ෂ 1980 තමයි “ජාතික පිළිකා මර්දන වැඩසටහන” ආරම්භ වන්නේ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ අධ්‍යයනයකින් පසු මෙරට තියන පිළිකා රෝග ප‍්‍රමාණය, එහි පීඩනය පිළිබඳ එළඹුණු නිර්දේශ මත. මෙවැනි වැඩසටහන් දැනටත් ලෝකයේ රටවල අඩුවෙන් තමයි තියෙන්නේ. ඉන් එක රටක් තමයි ශ‍්‍රී ලංකාව.

මෙම වැඩසටහනේ සේවය කරන පිරිස කවු ද?

වෙන ම අධ්‍යක්ෂවරයෙක් යටතේ වෙන ම කණ්ඩායමක් විධියට තමයි ක‍්‍රියාත්මක වන්නේ. අධ්‍යක්ෂ වග කියන්න  ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයේ “බෝ නො වන රෝග කාර්යාංශයේ” නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට. “බො නොවන රෝග කාර්යාංශයට” අයිති වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නො වන රෝග ඒකකය, පිළිකා මර්දන වැඩසටහන හා මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහනයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්නවා පරිපාලන කටයුතුවලට සහාය දක්වන්න. ඊට පසු විශේෂඥ වෛද්‍යවරු, ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරු සහ ප‍්‍රජා විශේෂඥ දන්ත වෛද්‍යවරයකුගෙන් සමන්විත තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඔවුන් යටතේ වෛද්‍ය නිලධාරින් සහ දන්ත වෛද්‍ය නිලධාරින් සිටිනවා. ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා හෙද සොහොයුරියන් කණ්ඩායමක් සිටිනවා.

තාක්ෂණික නො වන කණ්ඩායමට කළමනාකරණ සහකාරවරයකු, සංවර්ධන නිලධාරියකු, පරිගනක දත්ත ක‍්‍රියාකරුවෝ සහ අනිකුත් අවශේෂ කාර්ය මණ්ඩලය ඇතුළත් වෙනවා.

“ජාතික පිළිකා මර්දන වැඩසටහනේ” කාර්යභාර්ය කුමක් ද?

පිළිකා මර්දනය සඳහා අවශ්‍ය ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම, සංශෝදනය කිරීම සහ එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වනවා යැයි සහතික කිරීම අප ආයතනයේ කාර්යභාර්ය වෙනවා. පිළිකා මර්දනය පිළිබඳ අපේ ක‍්‍රමෝපාය සැලැස්ම (Strategy plane) රටේ ක‍්‍රියාත්මක වනවා කියා සහතික කිරීම සහ ඒකට අවශ්‍ය පහසුකම් ජාතික මට්ටමින් සැකසීමට අපි කටයුතු කරනවා. පිළිකා වැළැක්වීම, පිළිකාවට ප‍්‍රතිකාර කිරීම සහ රෝගියාගේ ජීවිතයේ අවසාන කාලවකවානුව සුවදායක කිරීමට දිස්ත‍්‍රික් මට්ටමින් තියන අපේ සෞඛ්‍ය පද්ධතියේ කටයුතු නියාමනය කිරීම මෙම වැඩසටහනේ දි සිදු වෙනවා.

ඊළඟ කාරණය තමයි “ආවේෂණය”. ඒ කියන්නේ පිළිකා රෝගය සම්බන්ධ ව දැන් තියන තත්ත්වය කුමක් ද? යන්න හා එහි වැඩිවීම හෝ අඩුවීම පිළිබඳ ඇති ප‍්‍රවණතාව විමර්ශනය කරනවා. ඒ වගේ ම පිළිකා පිළිබඳ ලේඛන, සංඛ්‍යා දත්ත පවත්වාගෙන යාම සහ වාර්ෂික විශ්ලේෂණ වාර්තා සකස් කිරීම අපේ කාර්යයක්.

ඊට අමතර ව ජාත්‍යන්තර සහාය ලබා ගැනීම, අලූත් දැනුම/ඥානය ලබා ගැනීම, පහසුකම් ලබා ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේ ම අපේ කාර්ය මණ්ඩලයේ ශක්‍යතාව/ හැකියාවන් වැඩි දියුණු කිරීම වැනි කටයුතුත් අපේ කාර්යභාර්යයක්.

පිළිකා මර්දනයට විශේෂ වැඩසටහනක් අවශ්‍ය වෙන්නේ කුමට ද?

“පිළිකාව” කියන්නේ විශේෂ රෝගයක්. දැන් අපි දියවැඩියාව, මැලේරියාව වගේ රෝගයක් ගත්තොත් එක ලෙඩක්නේ. එහෙත් පිළිකාව කියන්නේ එක ලෙඩක් නෙමේ. උදාහරණයක් විධියට මහබඩවැලේ ඇති වන පිළිකාව (Colon cancer) ජාන මගින් වගේ ම ආහාරවල බලපෑමෙනුත් එන්න පුළුවන්. ඒ වගේ සමහර පිළිකා තියනවා ජානවලින් එන ඒවා. තවත් සමහර ඒවා තියනවා දුම්පානයෙන් වගේ එන ඒවා.

ඒ වගේ ම ශරීරයේ පිළිකාව ඇති ස්ථානය අනුව පිළිකා රෝගයේ බරපතලකම වෙනස් වෙනවා. විවිධ පිළිකාවලට කරනු ලබන ප‍්‍රතිකාර වෙනස් වෙනවා. සමහර ඒවා ඔපරේෂන් කරන්න පුළුවන්. සමහර ඒවා ඔපරේෂන් කරන්න බැරි තැන්වල ඇති වෙනවා. ඒවා විකිරණ හරි ඖෂධ ප‍්‍රතිකාරවලට හරි ලක් කරනවා නැත්නම ඒ දෙවර්ගය ම කරනවා.

ඒ වගේ ම තවත් පිළිකා ඇති වෙන්න පුළුවන් ආසාදනය (Infection) නිසා. උදාහරණයක් විධියට ගැබ් ගෙළ පිළිකා ඇති වෙන්නේ හියුමන් පැපිලෝමා වෛරස් නිසා. එය වැළක්වුවහොත් ගැබ් ගෙළ පිළිකා වළක්වා ගන්න පුළුවන්. එන්නත් නිසි පරිදි කිරීමෙන් මේ වෛරසය වළක්වා පිළිකාවෙනුත් ආරක්ෂා කර ගන්න පුළුවන්. හෙපටයිටිස් බී නිසා අක්මා පිළිකා ඇතිවන අතර හෙපටයිටිස් බී වෛරස එන්නත ලබා දීමෙන් අක්මා පිළිකාවෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්. මේ රෝගයේ ඇති සංකීර්ණත්වය නිසා ම පිළිකා මර්දනය සඳහා වෙන ම වැඩසටහනක් තිබීම ඉතා වැදගත් වෙනවා.

පිළිකා රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඇතැම් රෝගීන් ප‍්‍රතිශතයක් ඉන්නවා, ඒ අයගේ ජීවිත කාලය කෙටියි. ඒ අය අනිවාර්යයෙන් ම තව අවුරුදු කීපයකින් මැරෙනවා. ඒ කාලයේ තියන බරපතළ ම දේ තමයි රෝගියාට දැනෙන වේදනාව. ඒත් එක්ක ම අනිකුත් සමාජීය ප‍්‍රශ්න. කටේ පිළිකාවක් ආවොත් කන්න බොන්න බෑ. ගිලින්න බෑ. බඩගින්නේ ඉන්නේ. දුගඳ හමනවා. ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය ගොඩාක් පිරිහෙනවා. ඔවුන් ව රැුක බලා ගන්න, ඔවුන් සමග ගමනක් බිමනක් යන්න වැනි අවස්ථා ඔවුන්ගේ පවුල්වලට කළමනාකරණ කර ගැනීම අපහසුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් වගේ ම දැනුම ලබා දීම ඒ වගේ රෝගියාගේ ජීවිතයේ අවසාන කාලය ගුණාත්මක ව ගත කරලා මරණයත් ගුණාත්මක ව සිදු වීමට පරිසරය ලබා දීම අපේ වගකීමක් විධියට අපි සලකනවා. අපි ඒකට කියනවා සහන සුවය සැලසීම (Palliative care) කියලා.

පිළිකා රෝගියාගේ වගේ ම ඔහුගේ පවුලේ අයගේ මනස සුවපත් කිරීම සඳහා මෙම වැඩසටහන මගින් කොතරම් අවධානයක් යොමු කරනවා ද?

එය තරමක් ප‍්‍රාථමික අවස්ථාවක තමයි තියෙන්නේ. ඒවා තවදුරටත් වැඩිදියුණු කරන්න  ඕන. අපේ රටේ දැනට ප‍්‍රධාන පෙළේ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පළාතකට එක බැගින් වගේ තියනවා. අපිට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිටින නිසා තවත් රටේ තැන්වල පිළිකා මධ්‍යස්ථාන පිහිටුවන්නට කටයුතු කරනවා. එලෙස පිළිකා රෝගීන් පැමිණෙන ස්ථානවල තමයි මානසික උපදේශන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒ තැන්වල උපදේශන සේවා මධ්‍යස්ථාන පිහිටුවලා රෝගියාට සහ ඔහුගේ ඥාතීන්ට උපදේශනය ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතර ව පිළිකා රෝගීන් සම්බන්ධ ව කටයුතු කරන කාර්ය මණ්ඩලයට අපි ඒ සඳහා පුහුනුවීම් ලබා දෙනවා.

ඊට අමතර ව අපි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ වෙලා ඉන්න උපදේශන සේවා නිලධාරින් සවිබල ගැන්වීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක කරනවා. ඒ අය පිළිකා රෝගීන්ගේ නිවාසවලට ම ගොස් උපදේශන සේවා ලබා දෙන්න කටයුතු කරනවා.

අපි දැනට අපි නියමු ව්‍යාපෘතියක් (Pilot project) විධියට සහන සේවා කණ්ඩායම් ගෙවල්වලට ගිහින් ඒ ගෙවල්වල ඉන්න අයට සහන සේවය ලබා දෙන්න ආරම්භ කළා. එම නියමු ව්‍යාපෘතියේ දි මුහුණ දුන් අත්දැකීම් එක්ක එහි ඇති තාක්ෂණික ගැටලූ හඳුනා ගෙන එහි ඉදිරි කටයුතු පිළිබඳ මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.

පිළිකා රෝගීන්ට සුවිශේෂ වන මානසික රෝග හඳුනා ගෙන තිබෙනවා ද?

ඉස්සර පිළිකාවක් කියලා කියපුවා ම මරණ සහතිකය ලියලා දුන්නා වගේ වැඩක්නේ. ඉතින් පිළිකාවක් කියලා කියපුවහම ම ඒ අයගේ ලොකු මානසික කඩා වැටීමක් දකිනවා. එහෙත් අද තත්ත්වය බොහෝ දුරට වෙනස්. දැන් බොහෝ විට පිළිකා වැළඳුනා ම ශරීරයේ විශාල කොටස් ඉවත් කිරීම වැනි තත්ත්ව අවමයි. පියවුරු පිළිකාවෙ දී ඉතා විශාල ලෙස පැතිරී නැති නම් ඉතා කුඩා කොටසක් පමණක් ඉවත් කිරීම හා එම කොටස් නැවත වර්ධනය වන අයුරින් සැත්කම් සිදු කිරීම දක්වා අද වෛද්‍ය තාක්ෂණය දියුණු වෙලා තියනවා. කොහොමත් ශරීර කොටස් ඉවත් කිරීම, විකිරණ ප‍්‍රතිකාර වැනි තරමක් දෘඩ ප‍්‍රතිකාර කිරීමට සිදු වන නිසා එය රෝගියාට මානසික ව බලපානවා. තම වාට්ටුවේ සිටින අනෙක් රෝගීන් මිය යාම නිසා ඇති වන තැති ගැනීම, නිසා තමනුත් ඔය පොළිමේ නේද ඉන්නේ කියන මානසික තත්ත්වය ඇති වීමෙන් ඔහු දැඩි මානසික පීඩනයට ලක් වෙන්න පුළුවන්.

පිළිකා රෝගයට ප‍්‍රතිකාර කරන තැන් අපි ජනමාධ්‍යවලින් වගේ ම සමාජ මාධ්‍යවලින්  ඕනෑ තරම් දකිනවා. ඇත්තට ම අපි කොතනට ද පිළිකාවට බෙහෙත් ගන්න යන්න  ඕන?

අපේ රටේ බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවලට අමතර ව ආයුර්වේද ප‍්‍රතිකාර, ශාන්තිකර්ම වැනි ප‍්‍රතිකාර ක‍්‍රම ද දකින්නට පුළුවන්. මෙහි දී අපි අවබෝධ කර ගන්න  ඕන පිළිකාවක් ඇති වුණොත් මරණය දක්වා ම යන්න පුළුවන් බව. ඒ නිසා අපි ප‍්‍රතිකාරවල දී අත්හදා බැලීම් කරන්න යන්න හොඳ නැහැ. හොඳ ම ක‍්‍රමය තමයි ලෝකය ම පිළි ගන්න විද්‍යානුකූල ව ඉහළ ම තැන තියන බටහිර ප‍්‍රතිකාරවලට යොමු වෙන එක.

පිළිකා වැළඳුණු අය ප‍්‍රතිකාර සඳහා නො එන අවස්ථාත් පවතිනවා ද?

බොහොම කලාතුරකින් තමයි එවැනි සිදුවීම් වාර්තා වෙන්නේ. ප‍්‍රතිකාර ගන්න එන එක පමා වීමක් තමයි තියෙන්නේ. එය දැඩි ශාරීරික පීඩාවක් නිසා කොයි වෙලේ හරි වෛද්‍යවරයෙක් හමුවීමට එනවා. පහුගිය කාලවල උතුරු ප‍්‍රදේශයේ එවැනි සිදුවීම් බහුල ව වාර්තා වුණා. බොහෝ වෙලාවට උගුරේ පිළිකාවක් පවතින බවට සැක කළොත් වෛද්‍යවරයා නිර්දේශ කරනවා එන්ඩොස්කොපි එකක් කර ගන්න. එහෙත් රෝගියා ඊට නොගොස් ඉන්න උත්සාහ කරනවා. ඉන් පසු පිළිකාව පැතිරීලා, ශාරීරික ආබාධා විශාල වශයෙන් දැනෙන්න ගන්න කොට තමයි ප‍්‍රතිකාරවලට යොමු වෙන්නේ.

අපිට පිළිකාවක් ඇති බවට සැකයක් ඇති වුණොත් කුමක් ද කළ යුත්තේ?

අපි දකිනවා සමහරු දියවැඩියාව වගේ රෝගයක් ඇති දැයි පරීක්ෂාවක් කර ගන්නේ නැතිව ඉන්න උත්සාහ කරන අවස්ථා. එහි දී ඔහු හිතනවා මේ පරීක්ෂණයේ දී තමන්ට දියවැඩියාව ඇති බව හොයා ගත්තොත් ඒක මානසික පීඩාවක් වෙයි කියලා. එහෙත් පිළිකාවේ දී එහෙම ඉන්න හොඳ නැහැ. තමන්ට පිළිකාවක් ඇති බවට සැකයක් ඇති නම් පුළුවන් තරම් ඉක්මනින් නිසි පරීක්ෂාවක් කර ගැනීම තමයි සුදුසු ම ක‍්‍රමය. මොකද පිළිකාව මුල දි හඳුනා ගත්තොත් පහසුවෙන් සුව කරන්න පුළුවන්. ඔඩු දුවලා තිබුණොත් ඉතා අමිහිරි අත්දැකීම්වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. රජයේ  ඕනෑ ම රෝහලකට ගිහින් වෛද්‍යවරයෙක් හමු වෙන්න පුළුවන්. පිළිකාවක් ඇතැයි එම රෝහලේ වෛද්‍යවරයාට සැක හිතුණ හොත් එතනින් අවශ්‍ය තැන්වලට යොමු කරනවා. එම වෛද්‍ය උපදෙස් පිලිපැදීම තමයි වැදගත්. රටේ සෑම පළාතක ම මහරෝහල්වල පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන තියනවා.

පිළිකාව සම්පූර්ණයෙන් ම එහෙම නැතිනම් නිට්ටාවට සුව කරන්න පුළුවන් ද?

පිළිකාව මුල් අවධියේ හඳුනා ගත්තොත් ප‍්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් ම පිළිකාව නැති කරන්න පුළුවන්. උදාහරණයක් විධියට පියවුරු පිළිකාව දැක්විය හැකියි. අන්ත‍්‍රයේ පිළිකාවත් කළින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කළ හැකියි. තවත් තුනෙන් එකක් තමයි පිළිකාව සුව කිරීමට අපහසු තත්ත්වයේ තියෙන්නේ.

පිළිකාවෙන් වැළකෙන්න ජනතාව කුමක් කළ යුතු ද?

පිළිකා රෝග සෑදීමට අවශ්‍ය කරන “පිළිකා කාරක” නිපදවෙන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසයි. අපි ප්ලාස්ටික් වගේ දේවල් පහසුවට පාවිච්චි කරනවා. ප්ලාස්ටික් පුච්චපුවාම ඒක පිළිකා කාරකයක් වෙනවා. වාහනයක අධික ලෙස දුම් පිට වෙනවා නම් ඒක පිළිකා කාරකයක්.

ඒත් එක්ක ම අපිට පිළිකා සෑදීමෙන් වළකින්න පුළුවන්. හොඳ ආහාර වේලක් ගැනීම, දුම්වැටි මත් ද්‍රවවලින් වැළකීම, සෞඛ්‍ය සම්පන්න සිරුරක් පවත් වාගෙන යාම වගේ ම පිළිකා හඳුනා ගැනීමේ සඳහා නොමිලයේ පවත්වනු ලබන වැඩසටහන්වලට සම්බන්ධ වීම වැදගත්. අපේ යහපත් චර්යා රටා, එනම් හොඳ පුරුදු තියනවා නම් අපිට පිළිකා වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් විධියට දුම්පානය නිසා කටේ, පෙනහළු, ගලනාලයේ වගේ ම ආමාශයේ ද පිළිකා ඇති වෙන්න පුළුවන්. දුම් බොන කෙනෙක් නම් එහි ඇති අධික පිළිකා අවදානම සලකා දුම්බීම අත් හරින්න පුළුවන් නම්, ඒ වගේ ම ඉන් කෙනෙක් මුදවා ගන්න පුළුවන් නම් අපිට පිළිකා අවදානමෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේ ම අධික තරබාරු කෙනෙක් නිසි ව්‍යායාම් හා පෝෂණ රටාවකට හුරු වීම වගේ දේවල් ඉතා වැදගත්.

පිිළිකා මර්දනයේ දී ඔබ ආයතනය මුහුණ දෙන අභියෝග මොනවා ද?

ලෝකයේ අනෙකුත් රටවල්වල වැඩිපුර ම දක්නට ලැබෙන්නේ පෙනහළු පිළිකා. එහෙත් ශ‍්‍රී ලංකාවේ අංක එකට තමයි මුඛ පිළිකාව තියෙන්නේ. මුඛ පිළිකා ඇති වෙන්නේ බොහෝ විට පුවක් හා දුංකල නිසා. මේක කෙලින් ම චර්යාවට හා සංස්කෘතියටත් සම්බන්ධ දෙයක්. ගමේ ගෙදරකට ගියා ම ඉස්සෙල්ලාම පිළිගන්වන්නේ බුලත් හෙප්පුව. ඒක අපේ සංස්කෘතියේ ආගන්තුක සත්කාරයේ සංඛේතයක්. ඒ වගේ ම බනකට පිරිතකට හාමුදුරුවන්ට ආරධනා කරන්නේ දැහැත් වට්ටිය දීලා. එතකොට අපි එතන දි පිළිකාවක් තමයි ප‍්‍රධානය කරන්නේ. මෙවැනි තැන්වල දි ජනතාවට අපි කොහොම ද මේ පණිවිඩය ලබා දෙන්නේ කියන ගැටලූව මතු වෙනවා.

ඒ වගේ ම බුලත් විට අපේ රටේ මිනිස්නුගේ ශාරීරික අවශ්‍යතාවක් බවට පත් වෙලා තියනවා. අපි දැකලා තියනවා දුර ගමන් සේවා බස් රථවල, නැතිනම් ත‍්‍රීවීලර් රථවල රියදුරන් නිදිමත යන්න කරන්නේ බුලත්විටක් හපන එක.

මෙතන දි අපිට තියන ලොකු ම අභියෝගය තමයි මේ දැනුම මහජනතාවට සන්නිවේදනය කරන එක. මෙහි ඇති අවදානම් තත්ත්වයන් මහජනතාවට පහදා දුන්නට විතරක් කෙනෙක්ගේ මිනිස් චර්යා රටාවන් වෙනස් වෙන්නේ නැහැ. ලෝකයේ හොඳම දැනුම හුවමාරු මාධ්‍ය විධියට සලකන පුද්ගලයගෙන් පුද්ගලයාට එහෙම නැතිනම් මුහුණට මුහුණ කතා බහ කිරීම වුණාට අපිට ඒක ප‍්‍රායෝගික ව ක‍්‍රියාවට නංවන්න අමාරුයි. ඒ නිසා අපි ඊට ජනමාධ්‍ය උපයෝගි කර ගන්නවා. එහෙත් ඊට ජනමාධ්‍ය උපයෝගි කර ගැනීමේ දී මාධ්‍ය වානිජකරණයට ලක් වෙලා නිසා අපිට මේ සන්නිවේදනය කරන්න ජනමාධ්‍යවලට අධික වියදමක් කරලා කරන්න අපහසුයි.

ඊළඟට තියන තව අභියෝගයක් තමයි පිළිකා පිරික්සුමට (Screen test) රෝහලට එන අයට උපරිම පහසුකම් දැරීමට අපේ සෞඛ්‍ය පද්ධතියට නොහැකි වීම. සංකීර්ණ සමාජ වටපිටාවක ජීවත් වන කෙනකුට ලියාපදිංචි වෙන්න දවසයි, සායනයට තව දවසයි, පරීක්ෂණයට තව දවසයි, එහි වාර්තාව ගන්න තව දවසයි, ඒක වෛද්‍යවරයාට පෙන්වන්න තව දවසයි රෝහලට යන්න සිදු වෙනවා නම් මහජනතාව අධෛර්යමත් වෙනවා.

රෝගයක් හැදීමට පෙර පූර්ව ලක්ෂණ ඇසුරින් සොයා ගන්නා “සුව දිවි සායන” නම් වැඩසටහන් තිබෙනවා. ඒවාට සහභාගි විය යුත්තේ රෝගීන් නො වන නිරෝගි අය. ඒව හැදුවට ඊට සහභාගිත්වය ගොඩක් අඩුයි. විශේෂයෙන් පිරිමි ජීවන චර්යාවන් නිසා එවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වීම ඉතා අවමයි. එතකොට අපිට ඊට විසඳුම් ලෙස ඒ අය සේවය කරන තැනට, නිවසට යන්න පුළුවන් ජංගම සේවයක් පවත්වන්න පුළුවන්. එවැනි පහසුකම් සැපයීම අපේ සෞඛ්‍ය පද්ධතියට අපහසුයි.

ඊළඟ අභියේගය තමයි පිළිකා ප‍්‍රතිකාරවල මිල ඉතා අධික වීම. ඒ වගේ ම රෝහල්වල කාර්ය මණ්ඩලය හිඟ වීමත් ලොකු අභියෝගයක් වෙලා තියනවා.

පිළිකා මර්දනයේ දී අපේ රටේ ජනමාධ්‍යවලින් ඉටු විය යුතු යුතුකම් කවරේ ද?

අපේ මේ දැනුම ජනතාව වෙතට ළඟ කිරීමට දායක වීම ජානමාධ්‍යවලින් ඉටු කරලා දෙන්න පුළුවන් නම් බොහොම ප‍්‍රයෝජනවත්. ඒ වගේ ම ශරීරයට අහිතකර දේ ප‍්‍රචාරය නොකිරීමට ජනමාධ්‍ය ආයතන එකතුවෙලා අපෙනුත් අදහස් අරගෙන ස්වේච්ඡාවෙන් ප‍්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන් නම් ඒ වගේ ම අහිතකර ජීවන රටාවකට යොමු කරවන වෙළඳ ප‍්‍රචාරණයට වැට බඳින්නට කටයුතු යොදනවා නම් වැදගත්.

පිළිකා සම්බන්ධයෙන් මිනිසුන් තුළ පවතින මිත්‍යා මත මොනවා ද?

පිළිකාව පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියන ලොකු මිත්‍යා මතයක් සමාජයේ තියනවා. එවැනි මත සමාජ ගැටලූ ඇති වීමට හේතු වෙනවා. ඇතැම් විට විවාහ වීම් වැනි දේ පවා නැවතෙනවා. පරම්පරාවෙන් එන පිළිකා බොහෙම සුළු ප‍්‍රමාණයක් පමණයි තිනේනේ. එහි බලපෑමක් ඇත්තෙ නැහැ. ඒ වගේ ම විවිධ ආහාර වර්ග සඳහන් කරමින් මේවා පිළිකාවට හොඳයි වැනි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ව මත ප‍්‍රචාරය වෙනවා.

අවසාන වශයෙන් මහජනතාවට දෙන්න පණිවුඩයක් එහෙම තියනවා ද?

පිළිකාවක් තියනවා නම් හංග ගෙන ඉන්නේ නැති ව බිය නොවී ප‍්‍රතිකර ගන්න කියන ආයාචනය මහජනතාවගෙන් කරනවා. එහෙම රෝගයේ මුල් අවස්ථාවේ රෝහලට ආවොත් වර්තමානයේ ප‍්‍රතිකාර ක‍්‍රම බොහෝ දියුණු නිසා ඉක්මනින් පිළිකාව සුව කර ගන්න පුළුවන්.

පසුගිය දශකය ගත්තහාම සමහර පිළිකා ඉතා ම වේගයෙන් පැතිරී යන ස්වභාවයක් තියනවා. මේ දේ වෙලා තියෙන්නේ අපේ ජීවන රටාවන් හා ආහාර රටාවන්වල තියන නොගැලපීම් නිසා. ඒත් එක්ක ම අපේ ජීවන රටා සහ නව තාක්ෂණය නිසා මිනිසා එන්න එන්න ක‍්‍රියාකාරීත්වයෙන් අඩු තත්ත්වයට පත් වීගෙන යනවා. ෆාස්ට් ෆුඞ්, වැඩිපුර සීනි, ළුනු සහිත කෑම අපි භාවිත කරනවා. එනම් සෞඛමය වශයෙන් අහිතකර ආහාරවලට යොමු වෙලා තියනවා. මේවායින් පිළිකා පමණක් නොව අධික රුධිර පීඩනය, දියවැඩියාව හෟදයාබාධවලට හේතු වෙලා තියනවා.

තමන්ගේ ශරීරයේ කලින් නොතිබුණු යම් වෙනස්කමක් ඇති වෙලා තිබෙනවා නම් ඒ වෙනස්කම බොහෝ විට පිළිකාවට සමීප සම්බන්ධතාවක් විය හැකි යි. ගැටිත්තක් වෙන්න පුළුවන්, ඉදිමීමක්, කෑම අරුචියක්, දිගුකාලීන උණක්, ඇඟ කෙට්ටු වීමක් වැනි  ඕන ම දෙයක් පිළිකාවට සම්බන්ධයක් තියෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ හේතුවක් කියන්න බැරි වෙනස්කමක් තියනවා නම් ඒක පිළිකාවක් ද කියලා පරීක්ෂා කර ගන්න ළඟ ම තියන රෝහලට එන්න කියන පණිවුඩය තමා කියන්න  ඕන.

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර

You may also like...