02_2_කතුවැකිය – විද්‍යාත්මක අධිරාජ්‍යවාදයට එරෙහිව

ලෝකය ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතී. අදහා ගත නොහැකි මට්ටමින්, නව දැනුම උත්පාදනය වෙමින් පවතී. පරිගණක හා තොරතුරු තාක්ෂණය, වැඩි දියුණු වූ ගමනාගමන පහසුකම් නිසා උත්තර ධ‍්‍රැවය හා දක්ෂිණ ධ‍්‍රැවය අතර දුර තව තවත් කෙටි වෙමින් පවතී. එහෙත් ඒ හා සමාන වේගයකින්, දැනුමට උරුමකම් කීමට විවිධ ජාතීන් හා රටවල් අතර ඇති පරතරය තව තවත් වැඩි වෙමින් පවතී. නව දැනුමේ ඒකාධිකාරය ගොඩ නැගීමට බලවත් ජාතීන් වේගයෙන් පෙළ ගැසෙමින් පවතින අතර ඒ දැනුම, තාක්ෂණයේ දැවැන්ත ජයග‍්‍රහණ සමස්ත මානව වර්ගයා අතර බෙදී යනවා වෙනුවට රටක් විසින් තවත් රටක්, ජාතියක් විසින් තවත් ජාතියක්, දියුණු වූ ලෝකය විසින් දියුණු වන ලෝකයත් යටපත් කිරීමේ විවෘත හා ආවෘත සෘජු හා වක‍්‍රාකාර ප‍්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතී. යුධ තාක්ෂණය මගින් සිදු වන සෘජු ආක‍්‍රමණ මෙන් ම විද්‍යුත් මාධ්‍ය අන්තර්ජාල තාක්ෂණය මගින් වක‍්‍රාකාර ලෙස ද ජාතීන් විසින් වෙනත් ජාතීන් ද රටවල් විසින් වෙනත් රටවල් ද සංස්කෘතීන් විසින් වෙනත් සංස්කෘතින් ද විවිධාකාර ආක‍්‍රමණයන්ට ලක්වෙමින් පවතී. එනම් ‘මාර්ෂියා එන්ජල්’ පවසන අන්දමට විද්‍යාත්මක අධිරාජ්‍යවාදය ව්‍යාප්ත වෙමින් පවතින්නේ එසේ ය. එසේ වුවත් එම රටවල වෙසෙන ප‍්‍රගතිශීලී විද්වතුන් විසින් මෙම ප‍්‍රවණතාවන්ට එරෙහි ව සංවිධාන ගොඩ නැගීමට කටයුතු කරමින් පැවතීම සහනදායක ක‍්‍රියාකාරිත්වයකි.

විවිධ ඓතිහාසික හේතුන් මත, වත්මන් දැනුමට හා තාක්ෂණයට අධිපතිකම් කීමට බටහිර රටවල්වලට හැකි වූ බව සැබෑවකි. එහෙත් නව දැනුම උත්පාදනය කිරීම බටහිර රටවල් වෙතටත්, එම දැනුම බෙදා හැරීම දියුණු වන ලෝකයටත් සීමා කිරීමේ න්‍යාය පත‍්‍රය තුළ කොටු විය යුතු දීන මානසිකත්වයෙන් ගොඩ ඒම සදහා කටයුතු කිරීම සැබෑ විද්වතුන්ගේ බරපතල වගකීමකි. පවතින දැනුම පමණක් බෙදාහරිනවා වෙනුවට නව දැනුම උත්පාදනය කිරීමේ බරපතල වගකීම සහ යුතුකම විද්වතුන් වෙත පැවරෙමින් පවතී.

මිහිතලයේ සහජීවනය, සැබෑ ගෝලීයකරණය පිළිබද උනන්දුවක් දක්වන සැමගේ වගකීම හා යුතුකම වන්නේ, නුතන දැනුමේ අසමතුලිතතාව හා එහි වැරදි දිශානතීන්ට යොමු වීම වැළැක්වීම හා එම දැනුම, තාක්ෂණය මොන යම් ආකාරයක හෝ සූරාකෑමකට හෝ අධිපතිවාදයට යොමුවීමට එරෙහි ව කටයුතු කිරීම යි. තව ද මිහිතලයේ හෙට දවස වෙනුවෙන් මිසක, කථා කරන භාෂාවල අදහන ආගම, පවතින සමාජ ක‍්‍රමය හෝ දේශපාලන මතවාදවලට එරෙහි ව යොදා ගැනීම වැළැක්විය හැක්කේ කෙසේ දැයි සොයා බැලීමත් අත්‍යවශ්‍ය කරුණකි.

එම නිසා, අද දවසේ සැබෑ විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ හා උගතුන්ගේ වගකීම නව දැනුම ජනිත කිරීම ජාතික න්‍යාය පත‍්‍රයට ගෙන ඒම යි. ජාතික සංවර්ධනයේ න්‍යාය පත‍්‍රයට පර්යේෂණ එකතු කිරීම මගින් ජාතික සංවර්ධනය නව මාවතකට යොමු කිරීමේ අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා පෙරට එමින් පවතී. මේ සදහා හෙට දවසේ පරම්පරාව තුළ මෙම නව දැනුම ජනිත කිරීමේ මානසිකත්වයක් ගොඩ නැගීම, අද පරම්පරාවේ වගකීම යි. ලාංකේය ජාතිය මෙවන් අභියෝගකාරී මෙහෙවරකට උරදිය නොහැකි නිවට හා දීන ජාතියක් නො වන බව ලොව පුරා දැනුමේ මර්මස්ථාන තුළ තීරණාත්මක කාර්යන්හි නිරත වන ලාංකිකයන් මොනවාට සාක්ෂි දෙයි.

මේ නිසා නව ලෝකය ඉල්ලා හඩන නව දැනුම, තාක්ෂණය වෙනත් රටකට නො දෙවෙනි ලෙස ලාංකේය භූමිය තුළ ජනිත කිරීමට පෙරට ඒමට නව රජයට හා විද්වතුන්ට කරන ගැඹුරු ම ආයාචනයකි මේ.

 

(ගවේෂණ සගරාවේ දෙ වන  කලාපයේ සංස්කාරක සටහන)

ගවේෂණ සඟරාව  (2004 මැයිඅගෝස්තු / 2 කලාපය )

You may also like...