ස්වාභාවික ආපදා

පෘථීවිය නමැති ග‍්‍රහලෝකය සතු විශේෂ ලක්ෂණයක් නම් ඒ වටා වායුගෝලයක් පැවතීමයි. පෘථීවියෙහි අභ්‍යන්තර ලක්ෂණ මෙන් ම මතුපිට ලක්ෂණ ද වායුගෝලය සමග නිරතුරු ව අන්තර්කි‍්‍රයා කරමින් පවතියි. වායුගෝලයේ සංසිද්ධියක් වන “වර්ෂාව” ද පොළොව මතුපිට ජල තලයට අයත් සාගර, ගංගා, ඇළදොළ සමග සක‍්‍රීය ව අන්තර්ක‍්‍රියා කරන්නේ ය. මේ දෙකෙහි සමබර බව පවතින තෙක් ගොඩබිම පවතින ජල ධාරාවල ස්වාභාවික පැවැත්මට බාධාවක් ඇති නො වේ. එහෙත් පෘථිවියේ මතුපිට භූමියට උරා ගත නොහැකි තරම් හෝ එමගින් උරා ගත හැකි වේගය ඉක්මවන තරම් වේගයෙන් ජලය, වර්ෂාවෙන් ගොඩ බිමට වැටුණු විට “ගංවතුර” නමැති සංසිද්ධිය ඇති වේ. මේ අනුව ගංවතුර යනු ස්වාභාවික සංසිද්ධියකි.

නාය යාම යනු ද මේ හා සමාන ස්වාභාවික ක‍්‍රියාදාමයකි. පොළොවේ සමහර තැන් සවිමත් ය. තවත් තැන් දුර්වල ය. සමස්ත ලෝකය ගත් විට ඉතා දුර්වල ස්ථාන මෙන් ම සවිමත් ස්ථාන ද තිබේ. අප අමතක කර තිබෙන, අපේ පොළොව යට ඇති “ලෝදිය”, ගිනිකඳු ලෙස පොළොව මතුපිටට පැමිණෙන්නේ දුර්වල ස්ථානවලිනි. මේ අයුරින් ම පොළොවේ සවිමත් නො වන තැන් නිරන්තරයෙන් චලනය වෙමින් පවතී. ඒ චලනය සඳහා වර්ෂාවෙන් පසට ලැබෙන බුරුල ද හේතු වී තිබේ. මේ නිසා නාය යාම ද පරිසරයේ ස්වාභාවික සංසිද්ධියකි.

ශ‍්‍රී ලංකාවට බලපාන ප‍්‍රධාන ස්වාභාවික බලපෑම් දෙක වනුයේ “ගංවතුර” සහ “නායයාම්” ය. සුළිසුළං සහ සුනාමි යනු ඉඳහිට ඇතිවන බලපෑම් දෙකකි.

මේ සාකච්ඡුා කළ පදනම මත ගංවතුර සහ නායයාම්, විනාශ හෝ ආපදා (Disaster) ලෙස අර්ථ ගැන්වීම සුදුසු නැත. එහෙත් පෘථිවියේ ජීවත් වන බුද්ධිමත් ම ජීවියා වන මිනිසා, ඉහතින් සඳහන් කළ ස්වාභාවික රටාවලින් තමාට කරදර වන විට තමාට ගැටලූ ඇති වන විට ඒවා “ස්වාභාවික ආපදා” ලෙස නිර්වචනය කර ගෙන තිබේ. එසේ ම පරිසරයේ ස්වාභාවික පැවැත්මට පටහැනි ව ජීවත් වී, එනිසා පරිසරයට හානි වී, එහි ප‍්‍රතිඵලයක් ලෙස තමාට ද හානි වූ විට “මිනිසා විසින් නිර්මිත ආපදා” ලෙස ඒවා හදුන්වන්නට පෙලඹී ඇත.  මේ අනුව ආපදා ස්වාභාවික (Natural) සහ මිනිසා විසින් නිර්මිත (Manmade) ලෙස කොටස් දෙකකට බෙදනු ද දක්නට ලැබේ. මේ බෙදීම අර්ථාන්විත ය. ඉතා ගැඹුරට මේ සංකල්ප දෙක විග‍්‍රහ කර ගෙන යන විට පැහැදිලි වන්නේ ආපදා, මිනිසාට වන ආපදා ලෙස අප නම් කර ගෙන තිබුණත්, ඒවා මිනිසාට මෙන් ම පරිසරයට ද වන ආපදා ලෙස පවතින බව ය. උදාහරණයක් ලෙස පොළොවට උරා ගත නොහැකි තරමට ම හෝ උරා ගත හැකි වේගයට නොසරිලන ලෙස වැසි පතිත වූ විට ගංවතුර ඇති වන්නේ නම් එසේ ඇති වන්නේ නිම්න ආශ‍්‍රිත ප‍්‍රදේශවල ය. එම නිසා එම නිම්න ප‍්‍රදේශවල ඇති විය හැකි අනතුරු ගැන නොසලකා බුද්ධිමත් මිනිසුන් ඒ ස්ථානවල පදිංචි වන්නේ නම් එහි දී වනුයේ බුද්ධිමත් මිනිසා විසින් ම තමන් වෙත ආපදාවක් ගෙන්වා ගැනීමකි.

මේ සදහා පිළියම වනුයේ භූමියේ ස්වාභාවික සැකැස්ම අනුව මිනිස් ක‍්‍රියාකාරකම් ස්වාභාවික ලෙස ම හසුරුවා ගැනීම ය. එසේ හසුරුවා ගත හැකි අයුරු ගැන, සමහර විට තනි තනි පුද්ගලයාට තීරණ ගත නො හැකි ය. එකී තීරණ විද්‍යාත්මක ව ගනු ලැබිය යුත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසිනි. ඒ සඳහා ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින්, මේ විෂයය පිළිබද විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක දැනුම පදනම් කර ගෙන ප‍්‍රතිපත්ති සම්පාදනය කර නීතියේ ආධිපත්‍යය අනුව ම ක‍්‍රියා කළ යුතු ය.

 

Editorial -26th volume

You may also like...