ශක්ති ප්‍රභව

පාසල් විෂයමාලාවේ පුනර්ජනනීය බලශක්තිය අවධාරණය වී ඇති ආකාරය

 

7 වන ශේර්‍ණයේ විද්‍යාව පෙළ පොතේ ‘ශක්ති ප්‍රභව’ යන පාඩම පදනම් කර ගෙන පාසල් ශිෂ්‍යාවක විසින් ලියූ ලිපියකි

 

බලශක්තිය

මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා, මිනිසාට ස්වාභාවයෙන් ම ලැබී ඇති කායික සහ මානසික ශක්තියට අමතර ව බලශක්තිය  ද උපකාර වේ. යම් කිසි කාර්යයක් කිරීමට මිනිසාට ඇති හැකියාව ශක්තිය ලෙස හඳුන්වන අතර එම කාර්යය වඩා හොඳින් කරවා ගැනීමේ මාධ්‍යය බලශක්තිය ලෙස හැඳින්විය හැකි ය. එදිනෙදා ජීවිතයේ අප ඇවිදීමේ කාර්යයේ සිට (උදා- පයින් ගමන් කිරීම වෙනුවට බසයකින් ගමන් කිරීම), අභ්‍යවකාශ ගවේෂණ දක්වා සියලූ‍ ම කාර්ය සඳහා බලශක්තිය භාවිත කරනු ලැබේ. මෙම බලශක්ති උත්පාදනය කළ හැකි දේ, බලශක්ති ප්‍රභව ලෙස හැඳින්වේ.

බලශක්තිය දෙයාකාරයකින් පවතී. පුනර්ජනනීය බලශක්ති හා පුනර්ජනනීය නො වන බලශක්ති ලෙස ය.

 

පුනර්ජනනීය බලශක්තිය

පුනර්ජනනීය බලශක්තිය යනු කාලයත් සමඟ ක්ෂය වී නො ගොස් කෙටි කාලෙකින් යළිත් ජනනය වන බලශක්ති ප්‍රභව ය (1 වන රූපය).

 

සූර්ය ශක්තිය

පෘථීවියට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ හිරු විසිනි. ලොවෙහි වෙසෙන සියලූ‍ ම ජීවීහූ හිරු මත රඳා පවතී. අපගේ එදිනෙදා කාර්ය පහසු කර ගැනීමට සූර්ය කිරණ උපකාරී වේ. සූර්ය ශක්තිය ආකාර තුනකින් ප්‍රයෝජනයට ගනු ලැබේ. එනම් ප්‍රාථමික ආහාර නිපදවා ගැනීම (ප්‍රභාසංස්ලේෂණය මගින්), හිරුගේ විකිරණ මගින් විශේෂිත සූර්යකෝෂ උපයෝගී කර ගෙන විදුලිය නිපදවීම (සූර්ය පැනල) මගින් සහ හිරුගේ විකිරණ, තාපය ලෙස ප්‍රයෝජනයට ගැනීම මගිනි. සූර්ය කෝෂ මගින් සූර්ය ශක්තිය විදුලිය බවට පරිවර්තනය කරනු ලැබේ. පළමු වරට සූර්ය කෝෂ නිපදවනු ලැබුවේ කෘත්‍රීම චන්ද්‍රිකා සඳහා විදුලිය සැපයීමටයි. වර්තමානයේ සූර්ය කෝෂ ඝනක යන්ත්‍ර, පර්යේෂණාත්මක විද්‍යුත් මෝටර් රථ, වීදි ලාම්පු සහ ගුවන් යානාවල ද භාවිත වේ.

සූර්ය ශක්තිය පුනර්ජනනීය මෙන් ම ලාභදායී වූවත් එහි යම් අවාසි ද ඇත. සූර්ය කෝෂ මිල අධික වීම, වලාකුඵ සහිත අහස මගින් සූර්ය කෝෂවල කාර්යක්ෂමතාව අඩු කිරීම, සූර්ය කෝෂවලින් ලබා ගන්නා විදුලිය බැටරි තුළ විශාල වශයෙන් ගබඩා කළ නො හැකි වීම හා ක්‍රියා විරහිත වූ බැටරි නිසි පරිදි ඉවත් නො කළ හොත් එමගින් පරිසරය දූෂණය වීම ඉන් කිහිපයකි.

 

සුළං බලය

සුළඟ උපයෝගි කර ගෙන විදුලිය උත්පාදනයේ දී සැලකිලිමත් විය යුතු කරුණක් තිබේ. එනම් දිනක් තුළ සුළං හමන ආකාරය හා වසර පුරා එය වෙනස් වන ආකාරයයි. ශ්‍රී ලංකාව තුළ පළමු වරට ස්ථාපනය කරන ලද සුළං විදුලි බලාගාරය වන්නේ හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය යි. මෙම බලාගාරය සතු ව විශාල ප්‍රමාණයේ ටර්බයින පහක් ක්‍රියාත්මක වේ. මෙම ටර්බයින 5, මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කරනු ලැබේ. සුළං බලයෙහි ද වාසි මෙන් ම අවාසි ද ඇත. වායු දූෂණයෙන් තොර වීම, නොමිලයේ ලැබීම, පරිසර හානිය අවම වීම වාසි වේ. සුළං විදුලි ජනක යන්ත්‍රවලින් ශබ්ද දූෂණය වන අතර, සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් විදුලිය නිපදවීමට තරම් සුළඟක් තිබීම අවාසි දෙකකි.

 

ගලා යන ජලයේ ශක්තිය

ගලා යන ජලයේ ශක්තිය යොදා ගෙන විදුලිය නිපදවිය හැකි වේ. මෙරට විදුලි උත්පාදන කාර්යයේ දී ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙස ජල විදුලිය දැක්විය හැකි ය. 19 වන සියවස  අග භාගයේ දී පමණ ලෝකය තුළ ජල ශක්තිය, විදුලි ජනක මූලාශ්‍රයක් බවට පත් විය. දැනට මෙරට, විශාල ජල විදුලි බලාගාර 10ක් පමණ ක්‍රියාත්මක වේ. වික්ටෝරියා, රන්දෙර්‍ණගල, රන්ටැඹේ, මොරගහකන්ද එම බලාගාරවලින් කිහිපයකි. වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතිය මෙරට විශාලතම තනි ජල විදුලි බලාගාරය ලෙසින් පවතී. ශ්‍රී ලංකාවේ විශාල ජල විදුලි බලාගාර තවදුරටත් ඉදි කිරීමට නො හැකි වී ඇත. බලාගාර ඉදි කළ හැකි ස්ථාන සියල්ල ම පාහේ දැනට භාවිතයට ගෙන තිබීම ඊට හේතුවයි.

ජල විදුලිය පරිසර හිතකාමී සහ ලාභදායී ශක්ති ප්‍රභවයකි.

 

භූ තාප ශක්තිය

පෘථීවිය අභ්‍යන්තරයේ ඇති උණුසුම ප්‍රයෝජනයට ගෙන ලබා ගත හැකි ශක්තිය, භූ තාප ශක්තිය වේ. පොළොව තුළ ඇති මැග්මාවල අධික තාපය හේතුවෙන් ජලය රත් වේ. ඉන් හට ගන්නා හුමාලය ඉවතට ගෙන එමගින් ටර්බයිනයක් භ්‍රමණය කරනු ලැබේ. ටර්බයිනය මගින් ඩයිනමෝව ක්‍රියා කරවීමෙන් විදුලිය නිපදවා ගත හැකි ය. භූ තාප ශක්තිය මගින් ජලය රත් ‍වෙන අවස්ථා ලෙස කින්නියා, ගල්වැව, මහඔය, මහපැලැස්ස වැනි ස්ථානවල පිහිටි උණුදිය උල්පත් හැදින්විය හැකි ය. භූ තාප ශක්තිය පොළොව තුළ ඇති ශක්තිය ප්‍රයෝජනයට ගැනීමක් බැවින් ඉතාමත් ලාභදායක ය. පෘථීවියේ උණුසුම් ස්ථාන ඇත්තේ පොළවෙහි ඉතාමත් ගැඹුරෙහි ය. එම ස්ථානවලට ළඟා වීම සඳහා විශාල වියදමක් හා ශක්තියක් යොදා ගෙන පොළොව හැරීමට සිදු වේ. තව ද පොළොව සිදුරු කළ විට අහිතකර වායු ද රසායනික ද්‍රව්‍ය ද නිකුත් විය හැකි ය. මෙම රසායනික ද්‍රව්‍ය හානිකර නො වන ලෙස ඉවත් කිරීම බැරෑරුම් කාර්යයකි.

 

පුනර්ජනනීය නො වන බලශක්තිය

පුනර්ජනනීය නො වන බලශක්ති ප්‍රභව වරක් භාවිතයට ගැනීමෙන් පසු නැවත හට ගන්නේ නැත. එසේ නැත හොත් හට ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ (2 වන රූපය).

 

ඛනිජ තෙල්

මහ පොළොවෙන් ලබා ගන්නා ඛර්‍ණජ තෙල් හඳුන්වනු ලබන්නේ පෙට්‍රෝලියම් නමිනි. මේවා බොර තෙල් යනුවෙන් ද හැඳින්වේ. වසර මිලියන ගණනකට පෙර ශාක හා සත්ත්ව කොටස් පෘථීවියේ පස් ස්ථර මත තැන්පත් වී, පසු ව ඒවා විවිධ විපර්යාසවලට ලක් වීමෙන් ඛනිජ තෙල් හෙවත් පෙට්‍රෝලියම් බිහි වී ඇත. වහා ගිනි ඇවිලෙනසුලූ‍ ද්‍රව්‍යයකි. ඛනිජ තෙල් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වශයෙන් භාවිතයට ගැනෙන ඉන්ධනයකි. ලෝකය දිව යන්නේ ඛනිජ තෙල් සම්පත මත බව පැවසීම ද නිවැරදි වේ. ලෝ පුරා ඛනිජ තෙල් නිධි ව්‍යාප්ත වී ඇති නමුත් ඛනිජ තෙල් යනු දිනෙන් දින ක්ෂය වෙමින් පවතින බලශක්ති ප්‍රභවයකි.

 

ගල් අඟු‍රු

අතීතයේ ඇති වූ භූ චලන මගින් පොළොවෙහි තිබූ ඝන වනාන්තර පොළවට වැළලී ගොස් අධි රස්නෙට හා පීඩනයට හසු වීමෙන් ගල්අඟු‍රු නිර්මාණය වී ඇත. ගල් අඟු‍රු පොසිල ඉන්ධනයකි. ස්වාභාවික ඉන්ධනයක් වන ගල් අඟු‍රු අනෙකුත් ඛනිජ ද්‍රව්‍යවලට වඩා දැවීමේ ශක්තිය අතින් ප්‍රබල වේ. අඩු වියදමින් විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇත. ලොව විශාලතම විදුලි උත්පාදනය කරන බලශක්ති ප්‍රභවය වන්නේ ගල් අඟු‍රු ය. ඛනිජ තෙල්වලට වඩා වැඩි ගල් අඟු‍රු නිධි ප්‍රමාණයක් ලෝකයේ පවතී. දහනය කිරීමේ දී, වායුගෝලය දූෂණය කරන වායු පිට කිරීම මෙහි අවාසියකි.

 

ස්වාභාවික වායු

පොළොව යට ඇති පර්වත අතර සිර වී ඇති මෙතේන් වායු වර්ග ස්වාභාවික වායු ලෙස හඳුන්වයි. ස්වාභාවික වායු ද පොසිල ඉන්ධනයකි. ආහාර පිසීමට හා ශීත රටවල නිවාස උණුසුම් කිරීමට මෙම වායු යොදා ගැනේ. ස්වාභාවික වායුවල ඇති වාසි නම් පහසුවෙන් භාවිත කළ හැකි වීම හා ලාභදායී වීමයි. ස්වාභාවික  වායුවලින් ගල්අඟු‍රු හා ඛනිජ තෙල් තරමට ම පරිසරයට බලපෑමක් නැත. එහෙත් ස්වාභාවික වායු සැපයුම සීමාසහිත ය.

 

න්‍යෂ්ටික ශක්තිය

පොළොවෙන් ලබා ගන්නා යුරේනියම් වැනි විකිරණශීලි මූලද්‍රව්‍ය යොදා ගෙන න්‍යෂ්ටික ශක්තිය නිපදවනු ලැබේ. නෂ්ටික බලාගාරවල දී මෙලෙස ලබා ගන්නා ශක්තියෙන් විදුලිය නිපදවනු ලැබේ. යුරේනියම් හා ප්ලුටෝනියම් වැනි විකිරණශීලී මූල ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකින්, විශාල ශක්ති ප්‍රමාණයක් ලබා ගත හැකි වීම, න්‍යෂ්ටික ශක්ති භාවිතයේ වාසියකි. න්‍යෂ්ටික ශක්ති භාවිතයේ අවාසි ද ඇත. එනම් න්‍යෂ්ටික බලාගාරවලින් ඉවත් කෙරෙන අපද්‍රව්‍ය අතිශයින් විෂ සහිත වීම සහ පරිසරයට නිකුත් නො වන පරිදි අවුරුදු සිය දහස් ගණනක් යන තෙක් ගබඩා කර තැබිය යුතු වීමයි. මෙය ඉතා වියදම් අධික කාර්යයකි.

පුනර්ජනනීය නො වන බලශක්ති නැවත ජනනය වීමක් සිදු නො වන අතර දිනෙන් දින ක්ෂය වීමක් සිදු වේ. මේ නිසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි ලෝක අවධානය වර්තමානයේ වැඩි වශයෙන් යොමු වී ඇත.

 

බලශක්තිය අපතේ යෑම වළක්වා ගත හැකි ක්‍රම

නිවසේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම

දෙමුහුම් හෝ විදුලි වාහන භාවිත කිරීම

පොදු ප්‍රවාහන ක්‍රම යොදා ගැනීම

පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම

වාහනවල උත්ප්‍රේරක පරිවර්තන සවි කිරිම

ජනගහනය වර්ධනය වීම, අවශ්‍යතා සංකීර්ණ වීම, මිනිසාගේ අක්‍රමවත් ක්‍රියා කලාප ආදී කරුණු හේතු කොට ගෙන බලශක්ති ප්‍රභව දිනෙන් දින විනාශයට පත් වෙමින් පවතී. බලශක්තිය භාවිත කිරීමෙන් තොර ව ජීවත් වීමට ද මිනිසාට නො හැකි වී ඇත. මේ නිසා අප බලශක්තිය අරපිරිමැස්මෙන් යුතු ව භාවිත කිරීමට කුඩා කල සිට ම පුරුදු විය යුතු ය.

 

සත්සරර්‍ණ ශසධරා අබේරත්න

8 වන ශේර්‍ණය

පුෂ්පදාන බාලිකා විදුහල

මහනුවර

40-14

You may also like...