වර්තමාන ගුරුවරයා සතු විය යුතු -වගකීම් සහ යුතුකම්

 දැනුම ලබා දීම- දේශන (විශාල කණ්ඩායම්)

  1. දැනුම ලබා දීම- අධ්‍යයන සටහන් නිර්මාණය කිරීම
  2. දැනුම සඳහා යොමු කිරීම- (කුඩා කණ්ඩායම්)
  3. දැනුම සඳහා යොමු කිරීම- අධ්‍යන සටහන් නිර්මාණය කිරීම
  4. උපකාරක සටහන් නිපදවීම
  5. උපදේශනය (අධ්‍යයන කටයුතු)
  6. උපදේශනය (අනධ්‍යයන කටයුතු)
  7. ආදර්ශවත් වීම
  8. විභාග ප‍්‍රශ්න සෑදීම
  9. විභාග අධීක්ෂකයකු/ සමීක්ෂකයකු වීම
  10. පාඨමාලා නිර්මාණය කිරීම
  11. පාඨමාලා අධීක්ෂණය හා සමාලෝචනය කිරීම

 

පරිගණක තාක්ෂණයට පෙර අවධියේ ළමයාට දැනුම ලබා ගත හැකි මූලික ම ක‍්‍රමය ගරුවරයාගේ දේශනවලට සවන් දීම යි (කුඩා කල සිට ම ජීවිතාන්තය දක්වා ම අපි ඉගෙන ගන්නා බැවින් ‘ළමයා’ යන්න ‘ඉගෙන ගන්න කෙනා’ (Learner) යන  පුළුල් අර්ථයෙන් මෙහි දී සාකච්ඡා කෙරේ). එකල පැවතියේ ගුරුවරයාගෙන් ගෝලයාට දැනුම සම්පේ‍්‍රෂණය වීමක් හෙවත් දැනුම ගලා යාමකි. ගුරුවරයා සමග ජීවත් වෙමින්, ඔහු කරන, කියන දේ කරමින් තම දැනුම සහ කුසලතා වැඩි දියුණු කර ගත්හ.

පුස්තකාලය පැමිණීමත් සමග ම මතකයේ තබා ගත යුතු කරුණු ප‍්‍රමාණය අඩු වූ අතර, අවශ්‍ය කරුණු/දැනුම පුස්තකාලයට ගොස් පරිහරණය කිරීමේ අවස්ථාව සැලසිණි. මෙම තත්වය තව දුරටත් සීඝ‍්‍ර ලෙස වර්ධනය වන්නේ පරිගණකයේ ආගමනයත් සමගිනි. මෙම පරිවර්තනයේ ප‍්‍රතිඵලයක් ලෙස ‘දැනුම ගබඩා කිරීමෙන්’ ඔබ්බට ගොස් ‘දැනුම ලබා ගන්නේ කෙසේ ද’ යන්න දක්වා අධ්‍යාපනය ලබා ගැනීමේ ක‍්‍රමවේදය ද වෙනස් වී ඇත.

අතීතයේ සිදු වූයේ දැනුම ගබඩා කර ගැනීම ය. එහෙත් අද කරන්නේ එවෙලෙට අවශ්‍ය දැනුම එවෙලෙම ලබා ගැනීම ය. වර්තමානයේ යන්ත‍්‍රයක් ඉදිරියට ගොස් ඉක්මනින් ලබා ගත නොහැකි දැනුම කුසලතා පමණක් සුළු වශයෙන් ගබඩා කර ගැනීම අවශ්‍ය වේ.

එබැවින් ගුරුවරයාගේ කාර්යභාරය ද මේ වන විට වෙනස් වී ඇත. අතීත ගුරුවරයාගේ මූලික කාර්යය වූයේ ‘ඉගැන්වීම’ යි. එහෙත් වර්තමාන ගුරුවරයාගේ මූලික කාර්යය වනුයේ ‘මග පෙන්වීම’ යි. ඉගෙන ගැනීම බොහෝ දුරට සිදු වන්නේ ළමයා අතින් ම ය. එනම් ශිෂ්‍ය පාදක ඉගෙනුම (student base) හෙවත් ශිෂ්‍යා කේන්ද්‍ර කොට ගත් (student base) ඉගෙනුම් ක‍්‍රියාවලියක් ලෙස එය හැඳින්විය හැකි ය. තාක්ෂණික දියුණුවත් සමග ඉගෙන ගැනීමේ විධික‍්‍රම අති විශාල ප‍්‍රමාණයක් බිහි වී ඇත. එබැවින් ගුරුවරයාගේ වගකීම හා කාර්යභාර්ය වඩාත් පළල් වී ඇත. ඒවා අපට  පහත වගුවේ ඇති පරිදි කරුණු 12කට බෙදා දැක්විය හැකි ය. එම දොළොස් වැදෑරුම් කරුණු අපි එකිනෙක සලකා බලමු.

 

  1. දැනුම ලබා දීම- දේශන (විශාල කණ්ඩායම්)

විශාල පන්ති කාමර තුළ කරන දේශන මගින් දැනුම ලබා දීම මෙයින් අදහස් කෙරේ. මෙම ක‍්‍රමවේදයේ  අතීත සහ වර්තමානය අතර ලොකු වෙනසක් නැත. යමක් විස්තර කිරීමට, අමාරු තැන් සරල කර තේරුම් කර දීමට ගුරුවරයාට හැකි විය යුතු ය. අතීතයේ දී ගුරුවරයා සටහන් පොතක් ගෙනැවිත් කියවන විට ළමයා විසින් එය ලියා ගනී. අවශ්‍ය විට අමාරු තැන් ඇතොත් විස්තර කර දෙයි. බොහෝ විට එවැනි සටහන් පොතක් ගුරුවරයා විශ‍්‍රාම යන තෙක් ම පාවිච්චි කරයි. එහෙත් වර්තමානයේ බොහෝ විට ඉගැන්වීම සිදු කරන්නේ පවර් පොයින්ට් (Power point) මාර්ගයෙනි.

විශ්වවිද්‍යාල, විවිධ අධ්‍යාපන ආයතන, බොහෝ විට පාසල්වල ඉගැන්වීම කරන්නේ පවර් පොයින්ට් මාර්ගයෙනි. ප‍්‍රාථමික පන්තිවල මේ තත්ත්වය බහුල ව නැති වුවත් ප‍්‍රාථමික පන්තිවල පවා ගුරුවරයාගෙන් ම ළමයා ඉගෙන ගන්නේ නැත. ගල්ලෑල්ල අද භාවිත වෙන්නේ අඩුවෙන් වන අතර අකුරු ඉගෙන ගැනීම සඳහා විවිධ මෘදුකාංග වැනි ආදේශක පවතී.

 

  1. දැනුම ලබා දීම- අධ්‍යයන සටහන් පිළියෙල කර ගැනීම

 

අතීතයේ ගුරුවරයාට සෑම දැනුමක් ම පැවතිණි. එහෙත් අද ගුරුවරුන්ට සියලූ දැනුම මතකයේ තබා ගත නොහැකි ය. එයට හේතුව අද දැනුම වැඩි වීම යි. එසේ ම ගිය අවුරුද්දේ පැවති දැනුම මේ අවුරුද්ද වන විට හාත්පසින් ම වෙනස් වේ. එනම් අද ඇත්තේ දැනුමේ විහිදී යාමකි (Explosion of the knowledge).  අද බොහෝ විට ඉගැන්වීම කෙරෙන්නේ සාකච්ඡුා මාර්ගයෙනි. එහි දී ගුරුවරයා ළමයින්ගෙනුත්,  ළමයි ගුරුවරයාගෙනුත් ප‍්‍රශ්න අහති; පිළිතුරු දෙති.

එබැවින් දේශන උපකාරක පිළියෙල කිරීමට ගුරුවරයාට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදු වේ. එය බොහෝ විට දළ සටහන් ලෙස සකස් කිරීම සිදු වන අතර, දැනුම ලබා දීමටත් වඩා හිතන්නට පුරුදු කිරීම මෙහි දී සිදු වේ.

 

  1. දැනුම සඳහා යොමු කිරීම- කුඩා කණ්ඩායම්

 

මෙහි දී ප‍්‍රශ්න පාදක ඇගයීම මූලික ක‍්‍රමයකි. එනම් ප‍්‍රශ්නයක් විසඳීම මගින් දැනුම ලබා ගැනීම යි. එම ප‍්‍රශ්නය විසඳිමට ළමයා සතු දැනුම මොනව ද? ඒ සඳහා ඔහුට ලබා දිය යුතු දැනුම මොනව ද? යන්න පූර්ව දැනුම ගුරුවරයා සතු විය යුතු ය.  ගුරුවරයා එහි දී එක් සම්පාදකයකු පමණක් වන අතර, පුස්තකාලය, අන්තර්ජාලය, අනිත් ළමයි ආදි විවිධ සම්පාධක රාශියකි. එහි දී ගුරුවරයාට ඇත්තේ වෙනස් ම කාර්යභාරයක් වන  අතර, ඒ සඳහා ගුරුවරයා තුළ කුසලතාව  තිබිය යුතු ය. එහි දී ගුරුවරයා සම්පූර්ණයෙන් ම මග පෙන්වන්නෙක් විධියට කටයුතු කරනු ලැබේ. උසස් අධ්‍යාපනයේ දී දේශන සඳහා වැඩි පිරිසක් සහභාගි නොවන හෙයින් ඒ සඳහා මෙම ක‍්‍රමය ඉතා වටින්නේ ය. සැබැවින් ම වර්තමානයේ දී ‘ඉගැන්වීම’ කීමටත් වඩා ‘ඉගැන්වීම සහ ඉගෙන ගැනීම’ (Teaching and Learning) යන්න වඩා නිවැරදි වේ.

ළමයින් ඉගෙන ගන්න ක‍්‍රම විවිධාකාර ය. කුඩා කණ්ඩායම් ක‍්‍රමය මෙම විධික‍්‍රමවලට වඩාත් උපකාරී වන, වඩාත් උචිත ක‍්‍රමයකි. විදේශ රටවල බොහෝ විට දක්නට ලැබෙන්නේ ද මෙම ක‍්‍රමවේදය යි.  මෙහි දී ඉගැන්වීමක් සිදු නො වන අතර, ඉගෙනීමට සහාය දීමක් සිදු වේ.

 

  1. දැනුම සඳහා යොමු කිරීම- අධ්‍යයන සටහන් නිර්මාණය කිරීම

කුඩා කණ්ඩායම් ඉගෙනුම් ක‍්‍රියාවලිය සඳහා උත්තේජ නිර්මාණය කළ යුතු ය. උත්තේජය බොහෝ විට ප‍්‍රශ්නයක් නැත හොත් පින්තූරයක් විය හැකි ය. එවැනි උත්තේජ නිර්මාණය කිරීම ගුරුවරයාගේ ඊළඟ කාර්යය වේ.  කුඩා කණ්ඩායම්වල දී ඔවුන්ට ඒ සඳහා සහාය වීම අත්‍යවශ්‍ය වේ.

 

  1. උපකාරක සටහන් නිපදවීම

 

ළමයාට පාසල, විශ්වවිද්‍යාලය හෝ පශ්චාත් උපාධි මට්ටමේ දී වත් ලෝකයේ ඇති දැනුම් සම්භාරය ලබා ගැනීමට හැකියාවක් නැත. එබැවින් අද බොහෝ විට ස්වයං අධ්‍යයන (Self-learning)  සඳහා යොමු වීම ඉතා ඉහළ මට්ටමක පවතී.

වර්තමානයේ ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝ ය. එසේ ම     අද පවතින දැනුම හෙට වන විට වෙනස් වෙයි. එසේ වෙනස් වන දැනුම ලබා ගන්නට ස්වයං අධ්‍යයන ක‍්‍රියාවලිය අත්‍යවශ්‍ය ය. ඒ සඳහා අවශ්‍ය කරන උපකාරක සටහන (Study guide) ළමයාට ලබා දීමේ වගකීම ගුරුවරයා සතු ය.   උදාහරණයක් ලෙස ළමයාට මුහුදු වෙරළට ගොස් ශාක පිළිබඳ ව  අධ්‍යයනය කරන්නට කිව්වා යැයි සිතමු.  එවිට ළමයාට ඒ සඳහා යම් මාර්ගෝපදේශකයක් තිබිය යුතු ය. විවිධ ශාක පවතින ස්ථාන, ශාකවල නිරීක්ෂණය කළ යුතු දේ, සටහන් කර ගත යුතු දේ, එසේ ම අරමුණු ලිවීම ආදිය පිළිබඳ ව ළමයාට පූර්ව දැනීමක් තිබිය යුතු ය.

විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ දී පවා අපි ළමයින්ට අවධාරණය කරන්නේ  මේ උගන්වන දේවලින් අවුරුදු 10ක් පමණ වන විට 50%ක් අවලංගුයි යන්න යි. එලෙස සීඝ‍්‍ර ලෙස දැනුම වෙනස් වන ලෝකයක ලබා ගත් සමහර දැනුම අවලංගු  (Unlearn) කර අලූත් දැනුම ලබා ගන්නේ කෙසේ ද යන්න ළමයා ව දැනුවත්  කිරීම ගුරුවරයාගේ කාර්යභාරයකි.

මෙම කරුණ තව දුරටත් පැහැදිලි කර ගැනීමට එක්තරා ඇමෙරිකානු දාර්ශනිකයකු මෙන් ම නවකතාකරුවකු පවසා ඇති කරුණක් සලකා බලමු. 21 වන ශත වර්ෂයේ සාක්ෂරතාව නැති කෙනෙක් (Illiterate) ලෙස සලකන්නේ අකුරු බැරි කෙනෙක් නො ව තමන් ඉගෙන ගත්ත දේ ඉවත් කර අලූත් දේ ඉගෙන ගන්න බැරි අයකුට යන්න ඔහු පවසයි.

චාල්ස් ඩාවින්ගේ පහත ප‍්‍රකාශය අදට ද වලංගු ය. “නොනැසී රැුකුණේ වඩා ශක්තිමත් විශේෂ හෝ බුද්ධිමත් ජීවී විශේෂ නො ව පරිසරයට සුදුසු ලෙස අනුවර්තනය වූ ජීවී විශේෂ පමණි.”

ස්වයං අධ්‍යාපනය හා තමන් ඉගෙන ගන්න අවශ්‍ය දේ මොනව ද කියලා ඇගයීමක් කරලා දැන ගන්න ළමයට හොඳ අවබෝධයක් හා කුසලතාවක් :ීනසකක* තිබිය යුතු ය. එ සඳහා අවශ්‍ය උපකාරක සටහන් සැකසීම ගුරුවරයා සතු වගකීමකි.

 

  1. අධ්‍යාපන උපදේශනය

(Educational counseling)

 

ළමයාට ඉගෙන ගන්නා විධික‍්‍රම පිළිබඳ ගැටලූ, අමතක වීම  වැනි ගැටලූ තිබිය හැකි ය. මෙවැනි ගැටලූ සම්බන්ධ ව මනා අවබෝධයක් ගුරුවරයා සතු විය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දීමේ වගකීම ගුරුවරයා සතු ය.

  1. උපදේශනය (අනධ්‍යන)

මුදල් නොමැතිකම, මවුපියන් නොමැතිකම, යෞවන කාලයේ දී ඇති වන විවිධ ගැටලූ ආදී ළමයාගේ අධ්‍යාපන කටයුතුවලට බධා වන විවිධ බාහිර ප‍්‍රශ්න තිබිය හැකි ය. මෙවැනි පෞද්ගලික ප‍්‍රශ්න පිළිබඳ ව කතා බහ කිරීමට විශ්වාසවන්ත අයකු සිටිය යුතු ය. අධ්‍යාපනය යන්න පොත පත හැදෑරීම පමණක් නො ව, එහි දී චරිතය (Charactors) ද බිහි විය යුතු ය. ක‍්‍රීඩාව ද මෙම උපදේශනයේ කොටසකි.

 

  1. ආදර්ශවත් වීම

විශේෂයෙන් ම ළමයා කුසලතා සහ ආකල්ප ඉගෙන ගන්නේ  ගුරුවරයාගේ හැසිරීම/ක‍්‍රියාකලාපය  දෙස බැලීමෙනි. පාසල් ළමයාටත්, පශ්චාත් උපාධි අපේක්ෂකයාටත් අඩු වැඩි වශයෙන් මෙය පොදු ය. මේ  නිසා තමන් කරන, කියන දේ  මොනවා ද එය ළමයා යම් ආදර්ශයක් ගන්න හේතු විය හැකි බව සිහියේ තබා ගැනීම ගුරුවරයා සතු වගකීමකි.

මේ ආකාරයට තම ගුරුවරයා පර්යේෂණ කරනවා දකින, තම දැනුම අලූත් කර ගන්න, එම පර්යේෂණ ගැන සඟරාවලට ලියන, ඒ මගින්  තමන් උගන්වන දේ යාවත්කාලීන (Update) කර ගන්න, කටයුතු කරන ගුරුවරයා දෙස දකින ළමයා ද ඒ සඳහා ඉබේ ම යොමු වේ. ඒ ආකාරයට ගුරුවරයා නිසා පර්යේෂණ කරන්නට පෙලඹුණු ශිෂ්‍යයන් මා  ඕනෑ තරම් දැක ඇත.

 

  1. විභාග ප‍්‍රශ්න සෑදීම

ඉගැන්වීම සේ ම හරි හැටි ඉගෙන ගත්තා දැ යි බැලීම ද ඉතා ම වැදගත් කාරණාවකි. එවිට ළමයා පිළිබඳ ව ඇගයීමක් කළ හැකි සේ ම ගුරුවරයාට තමාගේ ඉගැන්වීම පිළිබඳ ව තක්සේරුවක් ද කළ හැකි ය. එසේ ම ළමයා නොදන්නා දේවල් මොනවා දැ යි දැනගෙන ඒවා නැවත ඉගැන්වීමට හැකි ය. විභාග පැවැත්විය යුත්තේ  යම් පාඨමාලාවක් අවසානයේ පමණක් නො වේ. ඊට පෙර විභාග පවත්වා  ළමයා දන්න දේ මොනවා ද? නොදන්න දේ මොනවා ද? යන්න තීරණය කළ යුතු ය.

 

  1. විභාග අධීක්ෂකයකු/ සමීක්ෂකයකු වීම

විභාග පැවැත්වීම පමණක්  ප‍්‍රමාණවත් නො වන අතර, ඉන් ඔබ්බට ගොස් ඒ පිළිබඳ විධිමත් ව අධීක්ෂණය  කිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තකි.   එනම් විභාගයට ලකුණු ලබා දිය යුතු ආකාරය, පිළිබඳ ව අධ්‍යයනය කළ යුතු ය. ඉතාමත් සාධාරණ ව ලකුණු දීම ද ඉතා වැදගත් ය. එය ළමයාට කරන සාධාරණයක් වනවා මෙන් ම තමන්ට ලැබෙන ප‍්‍රතිපෝෂණය (Feed back) ද වඩාත් නිරවද්‍ය වේ.  වර්තමාන ඉගෙනුම් ක‍්‍රමවේදය දෙස බැලීමේ දී අනාගතයේ ඉගැන්වීම  නොකෙරෙන තත්ත්වයක් පවතින අතර, ගුරුවරයාගේ ප‍්‍රධාන ම කාර්යය බවට විභාගය/ඇගයීම බවට පත් වෙමින් පවතී.

 

  1. පාඨමාලා නිර්මාණය කිරීම
  2. පාඨමාලා අධීක්ෂණය හා සමාලෝචනය කිරීම

ඉගැන්වීම සහ විභාග පවත්වා  අවසන් වූ පසු ලැබෙන ප‍්‍රතිපෝෂණය (Feed back) අනුව එම පාඨමාලා සම්බන්ධ ව ගුරුවරයා විසින් යම් ඇගයීමක් කළ යුතු ය. පාඨමාලා වෙනස් කිරීම, අලූත් දැනුම එකතු කිරීම කළ යුතු ය. කුසලතා, ආකල්ප වර්ධනය කරන දේවල් ඇතුළත් කළ යුතු ය. මේ ආකාරයට පාඨමාලා නිර්මාණය කිරීමට (Curriculam Development) ගුරුවරයා දායක විය යුතු ය. ඒ සඳහා දායක වීමට පෙර පාඨමාලාව ඇගයීම (Curriculam Ivaluation) හා අධීක්ෂණය කිරීම ගුරුවරයා විසින් කළ යුතු ය.

පාඨමාලාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිපෝෂණය ළමයා පාසලේ හෝ විශ්වවිද්‍යලයේ අධ්‍යාපනය හදාරන ආකාරයෙන් මෙන් ම ඉන් බාහිරවත් අපට ලබා ගත හැකි ය. එනම් ළමයා පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු ඔහු සේවය කරන ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයෙන් හෝ අනිකුත් සේවකයන්ගෙන් ලබා ගත හැකි ය. විභාගවලින් ලබා ගන්න  ලකුණුත් සමග මේවා සම්පිණ්ඩනය කර මෙම පාඨමාලා අදට ඔබිනවා දැ යි ඇගයීමක් කළ හැකි ය. ඒ ඇගයීමට අනුව නව පාඨමාලා නිර්මාණය කළ හැකි ය.

මේ ආකාරයට අප ඉහතින් සාකච්ඡුා කළ දොළොස් වැදෑරම් ගුරුවරයාගේ වගකීම පිළිබඳ කරුණු සියල්ල එක පුද්ගලයාගෙන් බලාපොරොත්තු වීම අතාත්වික ය.    සමහරු දේශනවලටත්, සමහරු  උපදේශනවලටත්, සමහරු විභාගවලටත්, සමහරු පාඨමාලා නිර්මාණයටත් ආදී වශයෙන් විවිධ  කාර්ය සඳහා ප‍්‍රවිණතාව දක්වයි. එබැවින් ගුරුවරුන් කණ්ඩායමක් ලෙස මෙම කාර්යභාරය කිරීම ඉතා වැදගත් ය.

වර්තමානයේ ගුරුවරුන් අතීතයේ ගුරුවරු මෙන් සියලූ දේ දැන සිටිය යුතු නැත. එයට හේතුව    අද දැනුම අති විශාල වීම සහ නිතර වෙනස්වනසුලූ වීම ය. ක්ෂණික ව වෙනස් වෙනවා. නොදන්නා දේ සම්බන්ධයෙන් ගුරුවරයා කළ යුත්තේ  ළමයා සමග එක් ව “අපි මේක සොයා බලමු” යැයි පවසා පොත පෙරළා හෝ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු විමසා බැලීම යි. මේ ආකාරයට නොදන්නා කම පෙන්වීම එක්තරා ආකාරයකට Rolle modeling වල කොටසකි. මෙහි දී ළමයා ගොඩක් දේවල් ඉගෙන ගනී. එනම් ලෝකේ තියෙන සියලූ ම දේ කවුරුත් නොදන්නා බවත්, එසේ ම දන්නේ නැති නම් සෙවිය යුතු බවත් ය. මේ නිසා ම සමහර ගුරුවරු තමන් දන්නා දේ වුවත් නොදන්නා සේ සිටිමින් ළමයාට එය සෙවීම පුරුදු කිරීම සඳහා කටයුතු කරන අවස්ථා මා  ඕනෑ තරම් දැක ඇත.

 

ආචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය

වෛද්‍ය පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

You may also like...