පොලිතින් තහනම ක‍්‍රියාත්මක වෙන්නේ කොහොම ද?

2017 සැප්තැම්බර් පළමු වැනි දා සිට මෙරට පොලිතින් තහනමක් පැන වුණා. මෙය කුමන ආකාරයෙන් ද බලපැවැත්වෙන්නේ?

භාණ්ඩ 04ක් දේශීය වශයෙන් නිෂ්පාදනය, භාවිතය හා වෙළඳාම තමයි මෙයින් තහනම් කෙරුණේ. සියලූ ම පොලිතින් වර්ග තහනම් කිරීමට අවශ්‍ය වුණත් ප‍්‍රායෝගික ව අපිට එසේ කරන්නට බැහැ. ඒ නිසා පළමු පියවර විධියට පොලිතින් භාවිතයේ විවිධ අවස්ථා 06ක් සඳහා තහනම් නියෝග පණවමින් ගැසට් පත‍්‍ර නිකුත් කළා. පළවැනි තහනම් දේ තමයි පොලිතින්වලින් හදපු ලන්ච් ෂීට්. දෙ වන එක HDPE අමුද්‍රව්‍ය යොදා ගෙන හදපු ෂොපින් බෑග් හා ග්‍රොසරි බෑග්. තුන් වන එක රිජිෆෝම් වගේ තියන කෑම පෙට්ටි. හතර වන දේ තමයි දේශපාලන, සංස්කෘතිකමය හා සමාජීය උත්සවවලට පොලිතින්, පොලිප්‍රොපිලින්වලින් කරන සැරසිලි සම්පූර්ණයෙන් තහනම්. පස වන එක පොලිතින් ආශ‍්‍රිත අපද්‍රව්‍ය එළිමහනේ පිලිස්සීම තහනම්. හය වන එක තමයි ඉහත තහනම් කර ඇති ඒවාට අමතර ව අනෙකුත් පොලිතින් නිෂ්පාදනයේ දී මයික්‍රෝන 20ට වඩා ඝනකම තිබිය යුතුයි.

පොලිතින් තහනම් කරන්නට හේතු වුණු කාරණා මොනවා ද? පොලිතින් නිෂ්පාදනයේ යම් ප‍්‍රමිති මීට පෙර හඳුන්වා දුන්නා නේ ද? එම වැඩපිළිවෙළ අසාර්ථක ද?

ඔව්; 2006 දී පොලිතින් නිෂ්පාදනයේ ප‍්‍රමිති හඳුන්වා දුන්නා. එම නීති කි‍්‍රියාත්මක කිරීමේ දී යම් යම් ප‍්‍රායෝගික ගැටලූ මතු වුණා. මධ්‍යම පරිසර අධිකාරියේ බලපත‍්‍ර නොමැති ව නීති විරෝධී ව කරනු නිෂ්පාදන ආයතන, අපගේ නියෝග නොතකා අඩු ප‍්‍රමිතියේ පොලිතින් නිෂ්පාදනය කරන නිසා නීතියේ රැුහැනට කොටු කර ගන්නට සිදු වුණා. එයින් යම් මට්ටමකට පමණයි පාලනය කරන්න හැකි වුණේ.

ඇත්තට ම මෙතන තියෙන්නේ පොලිතින්වල වැරද්දක් නෙමේ; එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැරද්දක්. අපි එක් මුළින් ම awareness කරන්න ගත්තා. ඒ කියන්නේ පුළුවන් තරම් පොලිතින් එකතු කරන්න, ඒවා ප‍්‍රතිචක‍්‍රිකරණය කරන්න කටයුතු යෙදුවා. ඊට පස්සේ අපි ප‍්‍රතිචක‍්‍රිකරණය කරන බාහිර අය හඳුනා ගෙන ඒ අය ව උනන්දු කෙරෙව්වා ඉවතලන පොලිතින් ප්ලාස්ටික් අරගෙන ප‍්‍රතිචක‍්‍රිකරණය කරලා වෙනත් නිෂ්පාදන හදන්න. එයාලට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට සහාය වුණා. රටපුරා ඉන්න කසළ එකතු කරන්නන් හා ප‍්‍රතිචක‍්‍රිකරණය කරන්නන් ලියාපදිංචි කරවගෙන ඔවුන්ට ඒ සඳහා සහාය වුණා.
පොලිතින් ගොඩක් තුනිවට හැදුවා ම නිෂ්පාදන වියදම ගොඩක් අඩුයි. එතකොට නොමිලේ පවා දෙනවා; කිසි වටිනාකමක් නැහැ; පාවිච්චි කරලා එළියට දානවා. විශේෂයෙන් ලන්ච් ෂීට් වගේ ඒවා ඉඳුල් සමග එළියට දැම්මා ම ආපහු එන්නෙත් නැහැ. ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීමේ දී තුනී වැඩි වුණා ම මිරිකන උපකරණවලින් (Crushing machine) මිරිකන්න ආමාරුයි. එවැනි හේතු පදනම් කරගෙන තමයි පොලිතින්වල ඝනකම මයික්‍රෝන 20 වඩා වැඩි විය යුතුයි කියන නීතිය ගෙනාවේ. ඒකෙ දි බලාපොරොත්තු වුණේ නැවත ප‍්‍රතිචක‍්‍රිකරණයේ දී වන පහසුව සැලකීමයි. එය එතරම් සාර්ථක නොවුණ බැවින් මෙලෙස නීති පැනවීමට සිදු වුණා.

පොලිතින් හදන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ අතුරු ඵලයකින්. ඒවා දිරවන්න ක්ෂුද්‍ර ජීවීන් නැහැ. ලොකු කාලයක් පරිසරයේ තියනවා. ඒවා පරිසරයේ රැඳිලා තියනකොට ඩෙංගු ඇතුළු විවිධ මදුරුවන් බෝ වෙලා සෞඛ්‍යමය ප‍්‍රශ්න ඇති වෙනවා. පිළිස්සුවා ම ඩයොක්සීන් ෆියුරාන් වගේ පිළිකාකාරක වායු වර්ග පරිසරයට නිකුත් වෙනවා. මෙවැනි කරුණු රාශියක් මේ සඳහා පත් කළ විශේෂඥ කමිටුවක් විසින් අධ්‍යයනය කිරීමෙන් පසු එළඹුනු නිර්දේශ පදනම් කරගෙනයි මෙලෙස පොලිතින් තහනම් නියෝග නිකුත් කරන්නට කටයුතු කෙරුණේ.

මෙවැනි නීතියක් එකවර ක‍්‍රියාත්මක කරන්නට යාමේ දී ගැටලූ රාශියක් මතු විය හැකියි නේ ද?

මෙය එකවර ම ක‍්‍රියාත්මක කිරීමක් නො වේ. පසුගිය කාල වකවාණුව පුරා ම විවිධ සාකච්ඡා, දැනුම්වත් කිරීම් සිදු වුණා. ජනමාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් කරන්නටත් කටයුතු කළා. 2016 මැයි මාසයේ මීට අදාළ විශේෂඥ කමිටුවටක් පත් කළා. එම කමිටුවට පොලිතින් නිෂ්පාදකයන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් වගේ ම කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල විද්වතුන් ඇතුළත් වුණා. එහි නිර්දේශවලට අනුව තමයි මේ පොලිතින් තහනම ක‍්‍රියාත්මක කෙරුණේ. සියලූ ආකාරයේ පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පරිසරයට බලපෑම් සිදු වෙනවා. එහෙත් මේ හැම දේ ම තහනම් කරන්න ගියොත් ජන ජීවිතයට ගැටලූ ඇති වෙනවා. එම නිසා කමිටු නිර්දේශ මත සමාජයට ලොකු බලපෑමක් නො වන සහ පරිසරයට ලොකු බලපෑමක් වන ආකාරයට තමයි මේ තහනම් නියෝග නිකුත් කිරීමට කටයුතු කළේ.
මේ අලූත් තහනම් නියෝගත් එක්ක පොලිතින් කර්මාන්තයේ නියැලෙන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ ගැටලූවක් මතු වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් රජය පැත්තෙන් ලබා දිය හැකි පහසුකම් මොනවා ද?
පොලිතින් කර්මාන්තයේ නියැලිලා ඉන්න අයගෙන් ලොකු විරෝධයක් ආවා ඔවුන්ගේ ආයතන පවත්වාගෙන යාම සහ රැකියා ප‍්‍රශ්නය නිසා. ඔවුන් දිගින් දිගට ම කරගෙන ආපු කර්මාන්තය වෙනස් වෙනකොට එහි ඇති නොදැනුවත්කම වැනි ප‍්‍රායෝගික ගැටලූ ඇති විය හැකියි. මෙහි දී විශේෂයෙන් දෙයක් කිව යුතුයි. ඒ තමයි වැරදි අදහසක් සමාජ ගත වෙලා තිබුණා පොලිතින් නිෂ්පාදනය සම්පූර්ණයෙන් තහනම් කියලා. පොලිතින් හා ප්ලාස්ටික් කර්මාන්තය එහෙම ම තියනවා. තෝරා ගත් භාණ්ඩ 04ක් නිෂ්පාදනය කිරීම තහනම් කිරීම තමයි සිදු වුණේ.

අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරලා තියනවා දිරාපත් වන විකල්ප නිෂ්පාදනවලට, ඊට අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර මිල දී ගැනීමට බදු සහන ලබා දෙන්න කියලා.
අනිත් දේ තමා ඔවුන්ට පොලිතින් හදන යන්ත‍්‍රවලින් ම පරිසර හිතකාමී පොලිතින් නිපද වීමේ හැකියාව තිබෙනවා. දැන් ගොඩක් කර්මාන්ත ඊට පරිවර්තනය වී තිබෙනවා. දිරන පොලිතින් හදන්න අපි පූර්ණ සහාය දෙනවා. ඒ අයට යන්ත‍්‍රසූත‍්‍රවල පොඩි වෙනස්කමක් කිරීම මගින් දැනට අනුමත නිෂ්පාදනවලට යන්න පුළුවන්. මේවට පිටරටින් ආනයනය කරන අමුද්‍රව්‍ය (Raw material) පෙර විධියට ම ලංකාවට එනවා. දැනට භාවිත කරන යන්ත්‍රෝපකරණ සහ සිටින කාර්යමණ්ඩලය ම මේ පරිසර හිතකාමී නිෂ්පාදනවලට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිෂ්පාදනවලට ඉල්ලූම පෙර පරිදි ම තිබෙන නිසා එවැනි ආයතන කඩාවැටීමක් සිදු වෙන්න විධියක් නැහැ.
තහනම් කරපු භාණ්ඩ වෙනුවට යොදා ගත හැකි ආදේශක පිළිබඳ ව කතා කළොත්?
කෑම ඔතන කොළ (Lunch sheet) වෙනුවට කෙසෙල් කොළ, නෙළුම් කොළ වගේ ස්වභාවික ආදේශක රාශියක් තියනවා. ඒවා පදම් කරලා පැකට් කරලා වෙළඳ පොළට එනවා. තෙල් කඩදාසි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කෑම ඒතීමට. ඒවා මිලෙනුත් අඩුයි, සෞඛ්‍ය ආරක්ෂිතයි.
මේ පරිසර හිතකාමී නිෂ්පාදන සොයා ගැනීමට අපහසුයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙත් ඒවා හිඟකමට වඩා නැත්තේ උනන්දුව නැති කමයි. මේ හැමදේට ම මිනිසුන්ගේ චර්යාමය වෙනසක් අවශ්‍යයි. මිනිසුන් පරිසරය ගැන හිතලා මේ සඳහා යොමු වෙන්න ඕන. මෙවැනි පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදනවලට ජනතාව යොමු වෙන කොට ඒ සඳහා ඇති ඉල්ලූම වැඩි වෙනවා. ගෘහ කර්මාන්තයක් විධියටත් මේවා ප‍්‍රවර්ධනය කරන්න පුළුවන්. ලෝකයේ ගොඩක් රටවල්වල් දිහා බැලූවා ම පේන දෙයක් තමයි බොහෝ දෙනා දැන් පොලිතින් වෙනුවට ශාක කොටස්වලින් කළ පරිසර හිතකාමී නිෂ්පාදන තමයි පාවිච්චි කරන්නේ්.
තහනම් කළ පොලිතින් නිෂ්පාදනවලට ආදේශක යෝජනා කිරීම ඔබ ආයතනයේ වගකීමක් ද?
නැහැ, එසේ ආදේශක හඳුන්වා දීම අපේ වගකීමක් නෙමේ. පරිසරයට හා සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන තියෙනවා නම් ඒවා ඉවත් කිරීමට අදාළ කටයුතුයි අපි කරන්නේ. එහෙම බැලූවොත් පොලිතින් ගත්තත් ඒක අපි මධ්‍යම පරිසර අධිකාරියෙන් හඳුන්වා දීපු එකක් නෙමේනේ. පොලිතින් සමාජයේ අවශ්‍යතාවක් විධියට ආවා. පරිසරයට ප‍්‍රශ්නයක් වෙනකොට පරිසර අධිකාරියෙන් ඒක තහනම් කළා. ඒවට විසඳුම් විකල්ප කර්මාන්ත විසින් ම සොයා ගන්න ඕන.
මේ නීති කඩ කරන අය වෙනුවෙන් ගන්නා ක‍්‍රියාමාර්ග මොනවා ද?
ඒ රෙගියුලේෂන්ස් ආවට තව ම මධ්‍යම පරිසර අධිකාරිය විධියට අපිත් ඒවා ක‍්‍රියාත්මක කරන්න පටන් ගත්තේ නැහැ. මොකද වෙළඳපොළ හැදෙන්න ඕන, ඔවුන්ගේ පරණ තොග තියනවා. ඒවට විකල්ප වෙළෙඳ පොලේ හැදෙන්න ඕන. එතෙක් තව ම වැටලීම් ක‍්‍රියාත්මක කළේ නැහැ. ඊට සහන කාලවකවාණුවක් දීලා තිබෙනවා.

මෙලෙස පැනවූ නීති නැවත ඉදිරියේ දී හකුලා ගැනීමට සිදු වේවි ද?
එසේ වීමක් සිදු වෙන්නේ නැහැ. සමහර විට තව තව කොටස් ඉදිරියට මේ තහනමට ඇතුළත් වේවි. අනිත් දේ තමයි මහජනතාවත් කොතරම් ගැටලූ තිබුණත් මේ තහනමට එකගයි. ඔවුන් ඊට විරෝධයක් දක්වන්නේ නැහැ.

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර

You may also like...