පොතක වත – ඩෙංගු -මරණය වෙනුවට ජීවිතය

ජාතික විද්වත් වෘත්තික සංසදය (NIPO)

‘ඩෙංගු රෝගය’ අපට අලූතින් අසන්නට ලැබුණු රෝගයකි. එහෙත් එම රෝගයට ක‍්‍රි. ව. 265 දක්වා දිවෙන අතීතයක් තිබෙන බව මෙම කෘතිය පරිශීලනයෙන් අනාවරණය කර ගත හැකි ය. 2004 දී අප අත්දුටු සුනාමියේ ඉතිහාසය, කාවන්තිස්ස රජ සමය තෙක් දිවෙන බව අපට පසක් වුණා වැනි හැඟීමක් මේ නිසා ඇති විය. සමස්ත පොතේ ඇති පාඨකයාට හිතකර ශෛලිය පොතේ මාතෘකාවෙන් ද තහවුරු වේ. ‘ඩෙංගි’ යන සිංහලෝච්චාරණයට නුහුරු වදන, ඩෙංගු ලෙස මාතෘකාවට ඇතුළත් කිරීමෙන් ම ඒ බව තහවුරු වේ.

පොතේ මාතෘකාව ‘ඩෙංගු’ය. ඊට අනු මාතෘකාව ලෙස ‘මරණය වෙනුවට ජීවිතය’ යන්නත් අනුඅනු මාතෘකාව ලෙස ‘ඩෙංගු වසංගතය පාලනය නොවීමට හේතු සහ එයින් ආරක්‍ෂා විය හැකි ආකාරය පිළිබද විග‍්‍රහයක්’ යන්නත් සදහන් ව ඇත. මේ අතුරු මාතෘකාවලින් පොත ලිවීමෙන් අපේක්‍ෂිත පරමාර්ථය මැනවින් නිරූපණය වේ. සමාජ හිතවාදී වෛද්‍ය කණ්ඩායමක් සතු ජනහිතකාමි මෙහෙවරක ලක්‍ෂණ ද ඩෙංගු ගැටලූව ගැන සෞඛ්‍ය විද්‍යාත්මක මෙන් ම දේශපාලනික, භූගෝල විද්‍යාත්මක, කාලගුණ විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක, යුද්ධ විද්‍යාත්මක, සංචාරක විද්‍යාත්මක ආදී ලෙස වූ විවිධ දෘෂ්ටි කෝණ පාදක විග‍්‍රහය ද පොත ලිවීමේ පරමාර්ථය නිරූපණය කරනසුලූ ය. ඩෙංගු ගැටලූව යනු සෞඛ්‍ය ගැටලූවක් පමණක් ම නො ව සමාජ, ආර්ථික, දේශපාලන ගැටලූවක් බව ද සන්නිවේදනය කිරීමට පොතේ අන්තර්ගතයෙන් ප‍්‍රයත්න දරා තිබේ.

ඩෙංගු මදුරුවා ගැන ජීව විද්‍යාත්මක විග‍්‍රහයක් කියවා දැනුම ලබා ගන්නට පොත උදව් වේ. මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සංවර්ධනය වී ඇති (ඊනියා) පරිසරය ද මදුරුවා බෝවීමට ඉවහල් වන අයුරු ගැන ප‍්‍රතිවේදයක් පොතින් සැපයේ. ඩෙංගු රෝගයේ සුලමුල, ඒ සදහා වන ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැන ගන්නට ද පොත හොද මූලාශ‍්‍රයකි.

වෛද්‍ය විද්‍යාත්මක ව වඩාත් ගැඹුරු ලෙස කරුණු සොයා යන අයට රෝගයේ සායනික ලක්‍ෂණ, වසංගතවේදය, වෛරස් විද්‍යාව, කීට විද්‍යාව ආදී වශයෙන් වන ස්වභාවික විද්‍යා දෘෂ්ටි කෝණවලින් ගැඹුරු දැනුමක් ලැබීමට ද හැකි ලෙස පොත ලියැවී ඇත.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ බවට පත්ව ඇති දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා වැනි රෝග අතරට ඩෙංගු උණ ද පත් ව ව්‍යාප්ත ව ඇත්තේ ය. මේ නිසා මේ සියලූ රෝගාබාධ සම්බන්ධ ව අපේ ජීවන රටා වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව ද පැන නැගී ඇත්තේ ය. මේ අවශ්‍යතාව ප‍්‍රබල වන්නේ, ඩෙංගු, ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ගැටලූවක් බවට ද ව්‍යාප්ත වී ඇති නිසා ය.

ස්වාභාවික පරිසරය, නූතන සංවර්ධනය නිසා වෙනස් වීම හෙවත් ස්වාභාවික පරිසරය විකෘති වීම ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තියට පවතින එක ම හේතුව නො වන බව පොතින් විශද වේ. දේශපාලන ප‍්‍රතිවාදීන්ට වක‍්‍ර ව පහර දිමේ උපක‍්‍රමයක් ලෙස, ඩෙංගු පැතිරවීමේ ජාත්‍යන්තර චරපුරුෂ සේවා භූමිකාව ද ඩෙංගු රෝගය බරපතළ ගැටලූවක් වීමට හේතු වූ බව ද කෘතියෙන් ස්ඵුට වේ.

මේ කෘතියෙන් ලබා දෙන සමස්තාර්ථයක් ලෙස දැකිය හැකි වන්නේ කායික රෝගයක් ලෙස ඩෙංගුවල බලපෑම සමාජාර්ථික පරිසරයට බලපානවා සේ ම ඊටත් වඩා, සමාජාර්ථික රෝග ලෙස ලෝක පුරවැසියන් මුහුණ පාන අර්බුද මාලාවේ අතුරු ඵලයක් ලෙස ද ඩෙංගු රෝගය ව්‍යාප්ත ව ඇති බව ය.

කෘතිය ගැන අදහස් දක්වන වෛද්‍ය නිහාල් අබේසිංහ පවසන පරිදි, වඩාත් යහපත් සමාජයක් අපේක්ෂා කරන, සත්භාවයෙන් යුත්, කාලීන සමාජ අවශ්‍යතා දැන හදුනා ගත් විද්වතුන්ට පමණක් කළ හැකි වන මේ ලේඛන කාර්යය, සිංහල භාෂාවෙන් නිමැවී තිබිම ද ඉතා වටින්නේ ය. කියුබාව, නවසීලන්තය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, පකිස්තානය වැනි විවිධ දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ආගමික පසුබිම් සහිත රටවලට පොදුවේ බලපා ඇති ඩෙංගු රෝගය නිරූපණය කරනුයේ විවිධත්වය මැද මිනිසා සතු වන සමානත්මතාවයි. මේ නිසා විවිධ රටවල හොඳ ව්‍යවහාරවලින් (Good practices) උගත හැකි පාඩම් සොයා යාමට ද පොත අප ව පොලඹවාලයි.

ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු

 

 

You may also like...