පර්යේෂණ ක‍්‍රියාවලියට සම්බන්ධ ආචාරධර්ම හඳුනා ගනිමු

පර්යේෂණ ක‍්‍රියාවලියෙහි, පියවරවලින් ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යන පියවර දක්වා කරුණු අපි මෙතෙක් සාකච්ඡුා කර ඇත්තෙමු. ‘ගවේෂණ’ සඟරාවේ 10 වන කලාපයේ 2007 ජනවාරි-දෙසැම්බර් තේමාවට උචිත පරිදි පර්යේෂණ ක‍්‍රියාවලියේ අපි මෙතෙක් පසු කළ පියවර කිහිපයේ දී අනුගමනය කළ හැකි ආචාරධර්ම මොනවා දැ යි හඳුනා ගනිමු.

ගැටලූව හදුනා ගැනීම

බුද්ධිමය කුතුහලය සන්තර්පනය කර ගැනීම සඳහා, මිනිස් සිතේ පහළ වන  ඕනෑ ම ගැටලුවක් පර්යේෂණයට බඳුන් කිරීම යුක්ති යුක්ත ය. මිනිස් සමාජය ඒ කුතුහල සන්තර්පනයෙන් සංවර්ධනය වන නිසා ය. එහෙත්් නූතන සමාජයේ පර්යේෂණ යනු එක් අතකින් මූල්‍ය ව්‍යවසායක් සහිත ශාස්ත‍්‍රීය ව්‍යාපාරයකි. පර්යේෂණ සඳහා මූල්‍යාධාර අවශ්‍ය නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත ව තිබේ. මෙම මූල්‍යමය ව්‍යාපාරවල දී පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දෙන ආයතන දේශීය හා විදේශීය වශයෙන් බිහි වී තිබේ. පර්යේෂකයන් තම පර්යේෂණ ගැටලූ හඳුනා ගනු ලැබිය යුත්තේ විෂය ක්ෂේත‍්‍ර පදනම් කර ගෙන බුද්ධිමය කුතුහලය සන්තර්පනය කර ගැනීමට ද නැත හොත් මූල්‍යධාර සපයන ආයතනවල අරමුණු පදනම් කර ගෙන ද යනු ආචාරධර්ම ගැටලුවකි.

තාර්කිකය ගොඩ නැගීම

පර්යේෂණ සඳහා ගැටලූවක් තෝරා ගැනීම මෙන් ම එකී ගැටලූ පර්යේෂණයට බඳුන් කීරීමට උචිත වන බවට තාර්කිකයක් ගොඩ ගැනීම ද පර්යේෂක සතු යුතුකමකි. උදාහරණ දෙකක් ගනිමු.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් 50%කට වඩා ගණිතය අසමත් වීම, පර්යේෂණ ගැටලූවක් සේ ගනිමු. මේ සංසිද්ධිය ගැන පර්යේෂණයක් කිරීම අවශ්‍ය නැති බවට කෙනකු තර්ක කළ හැකි ය. ගණිතය අසමත් වූ අයකුට රටේ පළමු වන පුරවැසියා වීමට හැකියාවක් තිබේ නම්, එවැන්නකුට ශි‍්‍ර ලංකාවේ ධනවත් ම ව්‍යාපාරිකයා වී සාර්ථක ව මුදල් පරිහරණය කළ හැකි නම් ගණිතය අසාමර්ථ්‍යය පිළිබඳ පර්යේෂණයක් කිරීමට ඇති තාර්කිකය කුමක් ද?

 

රටකට ගණිතඥයන් අවශ්‍යය ය. ගණිතඥයන් බිහි කෙරෙන, ශාස්ත‍්‍රීය දැනුම කේන්ද්‍රගත ව ඇති විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සාමාන්‍ය පෙළ ගණිතය විෂයය සමත් වීම අනිවාර්ය වේ. එහෙයින් ගණිතයෙන් අසමත් වීම ශාස්ත‍්‍රීය අධ්‍යාපන අවශ්‍යතා ලබා ගැනීමට ඇති මඟක් අවුරුවාලීමකි. එහෙයින් අසමත් වීම ගැනත් එය වළකාලීමට ගත හැකි ක‍්‍රම ගැනත් පර්යේෂණ කිරීම අත්‍යවශ්‍යය ය.

 

මේ උදාහරණ දෙකින් පැහැදිලි කරන්නට උත්සාහ කළේ ගැටලූව හා බැඳි තාර්කිකය අවශ්‍ය ලෙස ගළපාලීමට-වෙනස් කරලීමට පර්යේෂකට හැකි බව යි. දොරක් බාගෙට වැසී ඇතැයි කෙනකු කියන විට තව කෙනකු ඒ දොර ම බාගෙට ඇරී ඇතැයි කියනු ඇත. එක ම දෑ විවිධාකාරයෙන් දැකිය හැකි නිසාත් විවිධ අර්ථනිරූපණ නිසාත් ය. පර්යේෂකයකු මෙවැනි තර්ක මත පදනම් වූ අර්ථනිරූපණ හදුනා ගෙන ඒවාට පක්ෂ වීමෙන් වැළකිය යුතු ය. ඔහු දොරෙහි ස්වභාවය යථා ස්වභාවයෙන් ම දක්වන අයකු විය යුතු ය.

පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා ගැනීමේ දී, ගැටලූව සදහා තාර්කිකය ඉදිරිපත් කළ යුත්තේ පර්යේෂක ගේ හදවතට එකඟ වනවාට වඩා බුද්ධියට එකඟ වන ආකාරයෙනි. පර්යේෂණ ගැටලූවට අදාළ විෂය ක්ෂේත‍්‍රයේ :ෘසිජසචකසබැ* විෂය ඥානයට එකඟ වන ආකාරයට ය. විවිධ පරමාර්ථ හා අරමුණු මත ක‍්‍රියා කරන මූල්‍යායතනවල ප‍්‍රතිපත්තිවලට අනුව නො වේ. මෙය ද පර්යේෂණ ආචාරධර්ම හා සබැඳෙන කාරණයක් වේ.

පෙර සාහිත්‍ය විමසුම

ගැටලූව හඳුනා ගත් පසු ඊට අදාළ ‘පෙර සාහිත්‍ය විමසුම’ පර්යේෂණ ක‍්‍රියාවලියේ ඉතා වැදගත් පියවරක් බව අපි හඳුනා ගෙන ඇත්තෙමු. ‘සාහිත්‍ය විමසුම’ යනු ප‍්‍රකාශිත මිනිස් දැනුම සොයා යාමකි. මේ ගමනේ දී අප, එම වටිනා මානව දැනුම ලොවට දයාද කළ ශ්‍රේෂඨ පර්යේෂකයින්ට ගරු කළ යුතු ය. ඔවුන් ගේ නම් ගම් හා ලියවිලිවලින් කරුණු ගත් බව ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලියේ සඳහන් කළ යුතු ය. එය අපේ ආචාරධර්ම වගකීමකි. පෙර පර්යේෂකයන්ගේ උපුටා ගැනීම් බහුල වූ තරමට ම අපේ පර්යේෂණය දිදුලයි. අඩු වූ තරමට අපේ පර්යේෂණයේ දීප්තිය ද අඩු වේ.

ඒ ආකාරයෙන් ම අප ‘පර්යේෂණ සාහිත්‍යය’යේ දී පරිහරණය කරන ලේඛනවල දෑ උපුටා දැක්වීමේ දී එම ලේඛනයේ අකුරු, පද, වියරණ නීති රීති, ඒ ආකාරයෙන් ම උපුටා දක්වා එම ලේඛනය  ලියූ පර්යේෂකට නිසි ගෞරවය දැක්විය යුතු ය. සමහර විට එම ලේඛනවල වැරදි ව්‍යාකරණ, පද බෙදුම් භාවිත කර තිබිය හැකි ය. ඒවා දැන හෝ නො දැන එම පර්යේෂකයන් අතින් ලියැවෙන්නට ඇත. අපට ඒවා අපේ ව්‍යාකරණ ශෛලිය හෝ ලේඛන ශෛලිය අනුව වෙනස් කරන්නට කිසිදු අයිතියක් අපට නැත. ඒවා උපුටා දක්වා අපගේ විවේචන ඉදිරිපත් කිරීමේ අයිතිය නම් අපට ඇත්තේ ය.

අපගේ අරමුණට උචිත ලෙස අප කියන්නට යන දේ තහවුරු කරන්නට අප උපුටා ගන්නා ලේඛනයේ පද හෝ කොටස් ඉවත් කිරීම ද විකෘති කිරීම ද ආචරධර්ම විරෝධී ය. ඉතිහාසය පිළිබඳ පර්යේෂණවල දී මේ වැරැුද්ද හිතාමතා ම කර විකෘති කළ ඉතිහාසයක් ගොඩ නගන්නට ගත් උත්සාහ පවතී.

අනෙක් අතට විවිධ මූලාශ‍්‍ර තුලනය කර සත්‍ය හඳුනා ගැනීම වෙනුවට පර්යේෂක ගේ මතයට එකඟ මූලාශ‍්‍ර පමණක් උපුටා දැක්වීම ද අනෙකුත් මූලාශ‍්‍ර ගැන සඳහන් නොකිරීම ද පර්යේෂණ ආචාරධර්ම හා නො ගැළපේ.

මූලාශ‍්‍ර විකෘති කිරීම ද පර්යේෂකයන් අතින් ආචාරධර්ම බිඳෙන ක‍්‍රමයකි. පර්යේෂණයකට අදාළ නැතත් සරදියෙල් ගැන ප‍්‍රසිද්ධ කතාවක් මෙහි දී උපුටා දක්වමි.

සරදියෙල් ඉගී‍්‍රසි රජය විසින් අත් අඩංගුවට ගනු ලැබ මරණ දඩුවමට නියම කරන ලදී. ඔහු එල්ලා මරන්නට මොහොතකට පෙර ඔහුට අභයදානය දෙන ලෙසට මෙසේ විදුලි පුවතක් රජය විසින් එවනු ලැබිණි.

”සරදියෙල් එල්ලා මරන්න එපා සමාව දෙන්න”

එහෙත් සරදියෙල් අසල සිටී අයට  ඕනෑ වුණේ ඔහු මරා දමන්නට යි. එනිසා තිතක් නොතිබූ තැන, තිතක් ලකුණු කර වාක්‍ය දෙකේ අදහස පහත සඳහන් ලෙස වෙනස් කළහ.

“සරදියෙල් එල්ලා මරන්න. එපා සමාව දෙන්න”

පර්යේෂණ ලේඛනයේ වැදගත්කම ද මෙහි දී ඉස්මතු වේ. අපි ලියන විට පරිස්සම් විය යුත්තෙමු. අපේ අදහස ඒ ආකාරයෙන් ම මතු වන සේ තිත – කොමාව තැබීමේ තැන ගැන පවා අපි සැලකිලිමත් විය යුත්තෙමු. එසේ ම ‘පර්යේෂණ සාහිත්‍ය’ විමර්ශනයේ දී කරන උපුටා ගැනීම්වල දී ද අපි තිත – කොමාව පවා නිවැරදි ව උපුටා ගැනීමට හැකි ලෙස, සුවිශේෂී ව ලේඛන පරිහරණය කළ යුත්තෝ වෙමු. නැත හොත් අප අතින් ආචාරධර්ම බිඳ වැටෙනු ඇත.

‘පර්යේෂණ සාහිත්‍යය’ විමර්ශනයේ දී පරිහරණය කළ හැකි මූලාශ‍්‍ර ප‍්‍රාථමික හා ද්විතීයික ලෙස දෙයාකාර බව අපි දැනටමත් දන්නෙමු. පර්යේෂණයක වටිනාකම වැඩි වන්නේ ‘ප‍්‍රාථමික මූලාශ‍්‍ර’ මත ‘පර්යේෂණ සාහිත්‍යය’ පරිහරණය කළ විට ය. එහෙයින් ‘ප‍්‍රාථමික මූලාශ‍්‍ර’ පරිහණය කළ හැකි විටක ඒවා පදනම් නො කර ගෙන ‘ද්විතීයික මූලාශ‍්‍ර’ මත ‘පර්යේෂණ සාහිත්‍යය’ ලිවීම ආචාරධර්ම විරෝධී වේ. ශ‍්‍රි ලංකාව වැනි ‘ප‍්‍රාථමික මූලාශ‍්‍ර’ කරා එළැඹීමට පහසුකම් නැති රටක දී පර්යේෂකයන් මුහුණ පාන ගැටලූවක් වන්නේ ‘ප‍්‍රාථමික මූලාශ‍්‍ර’ කරා ළගා වීමට ඇති අපහසුව බව ද මෙහි දී අවධාරණය කළ යුතු වන්නේ එමගින් පර්යේෂණ ආචාරධර්ම සුරැුකීමට පවතින ප‍්‍රායෝගික බාධා ඉස්මතු කරමිනි.

අපි පරිහරණය කරන මූලාශ‍්‍රවල අඩංගු දෑ අර්ථ නිරූපණයේ දී ද අපි පරිස්සම් විය යුත්තෙමු. ”කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනු ‘රොබට් නොක්ස්’ පැවසූ ප‍්‍රකාශයකැයි ඔබ අසා ඇත. එහෙත් එවැනි ප‍්‍රකාශයක් හෙතෙම කර නැත. ඔහු කියා ඇත්තේ මෙලෙස ය.

”මෙම ප‍්‍රදේශයන් හී කූලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප‍්‍රදේශයක වුව ද කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද කුඹුරෙන් ගොඩට ගෙන මඩ සොදාගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සර්වප‍්‍රකාරයෙන් ම සුදුසු වන්නේ ය” යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කතාවකි -45 පිටුව, එදා හෙළදිව.

ඔහු මෙසේ ද කියා ඇත. ”ගොවියා කුඹුරෙන්් ගෙන මඩ සොදා ගත් කල රජකමට සෑහෙයි” හන්ඳුරු වංශයේ උසස්් මිනිසුන් වෙසෙන කන්ද උඩරට ශිෂ්ටත්වය, විදහා දැක්වීමට කියන කියුමකි (302 පිටුව එදා හෙළදිව*.

‘රොබට් නොක්ස්’ ලියූ දේ තමාට අවශ්‍ය විදියට වෙනස් කළ පර්වර්තක ‘ඬේවිඞ් කරුණාරත්න’ මහතා, ස්වකීය පර්වර්තන කෘතිය වන ‘එදා හෙළදිව’ මුල් පිටුවල ”කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යන ප‍්‍රකාශය දක්වා ඇත. මේ වැරදි අර්ථනිරූපණය අදත් අපි උපුටා දක්වමු.

අන්ධයන් අලියකුගේ එක් එක් අවයව ස්පර්ශ කරමින් අලියාගේ හැඩරුව ”වංගෙඩියක් ලෙස ය, කුල්ලක් ලෙස ය” ලෙසින් විස්තර කළ ජනකතාව ඔබ අසා ඇත. පර්යේෂකයකු ද ස්වකීය පර්යේෂණ ගැටලූවට  අදාළ මූලාශ‍්‍ර සියල්ල මැනවින්- සාවධාන ව- බුද්ධිමත් ව- විධිමත් ව- මධ්‍යස්ථ ව- වාස්තවික ව- පරිශීලනය නො කර තෝරා ගත් මූලාශ‍්‍ර කිහිපයකින් පමණක් තම මතය කිව හොත් දැනුම පිළිබද විකෘති චිත‍්‍ර මැවෙන්නට පුළුවන. පර්යේෂකයකු වන්නට පෙරුම් පුරන ඔබට අලියා හා අන්ධයන් ගේ කතාව ආදර්ශයක් වේ වා!

මෙතෙක් කියවූ කරුණු අනුව මා සඳහන් කර ඇත්තේ  පර්යේෂණයක් හොඳට කිරීම ගැන නො වේ දැ යි කෙනකු ප‍්‍රශ්න කිරීමට පුළුවන. එය සැබෑවකි. හොඳ පර්යේෂණයක් යනු ආචාරධර්ම සුරැුකි පර්යේෂණයකි. නොහොඳ පර්යේෂණයකින් ආචාරධර්ම ද නො රැුකේ.

පාසල සහ පර්යේෂණ ආචාරධර්ම

ප‍්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ දැනුම, ආකල්ප හා පුරුදු ඇගයීම සඳහා වූ පර්යේෂණයක දී ශ‍්‍රි ලංකාවේ තෝරා ගත් පාසල්වල 11 වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඉදිරිපත් කළ ප‍්‍රශ්නාවලියක  අඩංගු වූ ප‍්‍රශ්න 2ක් පහත  දැක්වේ.

1 අනවශ්‍ය පිළිසිඳ ගැනීම්වල වගකීම කවරකු විසින් දැරිය යුතු ද?

             ස්වාමි පුරුෂයා

             භාර්යාව

             ස්වාමි පුරුෂයා සහ භාර්යාව

 

2 කන්‍යාභාවය, පිළිබඳ ප‍්‍රශ්නය

             කන්‍යාවක් යනු කිසිඳු අවස්ථාවක ලිංගික සම්බන්ධතා නොපැවත්වූ ගැහැනු ළමයෙකි.

             කන්‍යාභාවය ගැහැනුන්ට පමණක් නො ව පිරිමින්ට ද එක සේ වැදගත් වන සංකල්පයකි.

             විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම ගැහැනු පිරිමි දෙපාර්ශවයට ම එක සේ වැදගත් වේ.

             කන්‍යාභාවය පිළිබඳ පරීක්‍ෂණය මනාලියකගේ චරිතවත් බව මැනීම සඳහා යොදා ගනු ලබන මිනුම් දණ්ඩකි.

 

මේ ප‍්‍රශ්න දෙස, එම ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව, මව, පියා, භාරකරු, ගුරුවරුන්, පාසලේ විදුහල්පති හා අවසන් වශයෙන් එම ප‍්‍රශ්න සැකසූ පර්යේෂක දරනු ඇත්තේ කුමන අදහස් ද? ඒ එකිනෙකා එම ප‍්‍රශ්න කියවීමෙන් ලබනු ඇත්තේ කෙබඳු සංවේදීතාවක් ද? ලැජ්ජාවක් ද? පීඩනයක් ද? ශී‍්‍ර ලාංකික සමාජයේ මෙවැනි ප‍්‍රශ්න සංවේදී ප‍්‍රශ්න ලෙස තව දුරටත් සැලකිය හැකි ද? පර්යේෂණ ආචාරධර්ම දෘෂ්ටියෙන් මේ පිළිබඳ ව ඇසිය හැකි ප‍්‍රශ්න කිහිපයක් ද ඒවාට පිළිතුරු ද පහත දැක්වේ.

11 වන වසරේ සිසුන් යනු වසය 16ක් වූ යෞවනයින් ය. ඔවුන්ට මෙවැනි ප‍්‍රශ්න අඩංගු වූ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දීමේ තනි තීරණයක් ගැනීමට අයිතියක් හෝ හැකියාවක් තිබේ ද? නැත.

එම තිරණය ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිට හැකි ද?

සාමාන්‍ය පුරුද්දක් ලෙස, ශ‍්‍රී ලංකාවේ පාසල්වල විදුහල්පතිවරුන් තම පාසලට විවිධ ආයතනවලින් හෝ අමාත්‍යාංශ-විශ්වවිද්‍යාලවලින් පැමිණෙන පර්යේෂකයින්ට දත්ත රැුස් කිරීම සඳහා අවසර ලබා දීමට මැලි නො වෙති. අමාත්‍යාංශ තලයේ දී විධිමත් අනුමැතිය ලැබී ඇති නම්, විදුහල්පති ද දත්ත රැුස් කිරීමට අවසර දෙයි. එහෙත් විදුහල්පතිට මෙවැනි ප‍්‍රශ්න අඩංගු ප‍්‍රශ්නාවලියක් තමා යටතේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම වළකාලීමට අයිතියක් තිබිය යුතු ය. හේතුව මේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇති විය හැකි බලපෑම් ගැන වගකීමට ඔහුට නොහැකි නිසා ය.

මෙවිට විදුහල්පති කළ යුත්තේ කුමක් ද?

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපිය භාරකරුවන්ගේ අනුමැතිය ලබා ගෙන ප‍්‍රශ්නාවලියට පිළිතුරු දීමට අවකාශ ලබා ගැනීම ය.

දෙමාපියන් මෙම ප‍්‍රශ්නවලට තම දරුවන් පිළිතුරු දෙනවාට කැමැත්තක් දක්වනු ඇති ද?

අප අත්දැකීම වන්නේ, දෙමාපියන්ගෙන් ප‍්‍රශ්නාවලිවලට ප‍්‍රතිචාර ලබා ගැනීමට ස්වකීය දරුවන්ට ප‍්‍රශ්නාවලි ලබා දුන්නාට කමක් නැති දැ යි විමසූ විට ”සර්ලා ඉතිං දරුවන්ගේ යහපතට නේ සේරම කරන්නේ” යනුවෙන් පැවසීම යි. නිල නො වන අනුමැතිය ලබා දෙන්නේ එලෙස ය. එහෙත් ප‍්‍රශ්නාවලිවල අන්තර්ගතය දෙස බැලීමට ඔව්හු යොමු නො වෙති.

පර්යේෂක, සංවේදී ප‍්‍රශ්න ප‍්‍රශ්නාවලියේ ඇතැයි ද නො පවසයි. මෙය පර්යේෂණ ආචාරධර්මානුකූල ව නිවැරදි තත්ත්වය නො වේ. දෙමාපියන් ස්වකීය අනුමැතිය ලබා දිය යුත්තේ දැනුවත් ව ය. හෙවත් ප‍්‍රශ්නාවලිය ගැන ද පර්යේෂණය ගැන ද මැනවින් දැනුවත් ව ය. පර්යේෂක ද දත්ත ලබා ගැනීමට පෙර පර්යේෂණ අරමුණු හා මෙවැනි සංවේදී ප‍්‍රශ්න ගැන ප‍්‍රතිචාර දක්වන්නන් හෝ ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කළ යුතු ය. මේ අනුව දැනුවත්භාවය පිළිබඳ වගකීම ඇත්තේ පර්යේෂකයන්ට පමණක් නො වේ. ප‍්‍රතිචාර දක්වන්නන්ට ද ඒ වගකීම තිබේ.

පර්යේෂක ප‍්‍රතිචාර දක්වන්නට ලබා දිය යුතු දැනුමේ සීමාව කෙතරම් දැ යි තීරණය කළ යුත්තේ, පර්යේෂණ ආචාරධර්ම රැුකෙන ප‍්‍රමාණයට ය. පර්යේෂණයේ තාක්‍ෂණික පාර්ශවය ගැන ගැඹුරු දැනුමක්, ප‍්‍රතිචාර ලබා දෙන දෙමාපියන්ට හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම අවශ්‍ය නො වේ. එහෙත් ඔවුන්ගේ සංවේදනයට දැනෙන ප‍්‍රමාණයට අනුව, එයට බලපෑම් එල්ල වන ප‍්‍රමාණය අනුව පැහැදිලි කිරීම් ද විස්තරාත්මක විය යුතු ය.

දෙමාපියන් භාරකරුවන් හෝ විදුහල්පති කැමති වූ විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනිවාර්යයෙන් ප‍්‍රශ්නාවලියට ප‍්‍රතිචාර ලබා දිය යුතු ද?

නැත, ශිෂ්‍යයන්ට ද ප‍්‍රතිචාර ලබා දීමෙන් වැළකීමේ නිදහස ඇත.

 

‘ගවේෂණ සඟරාව’ 2007 ජනවාරි-දෙසැම්බර් / 10 වන කලාපය

 

You may also like...