තනි මාපිය පවුල (Single parent family)

ශ‍්‍රී ලංකාවේ පවුල් පරිසරයේ ද මෑතකාලීන ලක්ෂණයක් වන්නේ “තනි මාපිය පවුල්” බිහි වීම යි.  නූතන ලෝක සමාජයේ, සැමියා-බිරිඳ හා දෙමාපියන්-දරුවන් අතර පැවති සබඳතාවල ගෞරව සම්ප‍්‍රයුක්තභාවය වෙනස් වී ඇති අතර එහි එක් පැතිකඩක් වන්නේ ද තනි මාපිය පවුල බවට අදහස් ඉදිරිපත් ව තිබේ.

තනි මාපිය පවුල් පිළිබඳ නිර්වචන

x  කෙදිනක හෝ විවාහ නො වූ, වැන්දඹු, දික්කසාද වූ හෝ නැවත විවාහ නො වූ, මවකට හෝ පියකුට වයස 18ට අඩු ළමයකු වේ නම් එය තනි මාපිය පවුලකි

x  එක් අයකු හෝ ඊට වැඩි යැපුම් මට්ටමේ දරුවන් සමග මව හෝ පියාගෙන් පමණක් සමන්විත වූ පවුල තනි මාපිය පවුලකි

x  මව හෝ පියා සමග අවිවාහක ළමයින්ගෙන් යුත් පවුල් ඒකකය තනි මාපිය පවුලක් වේ

මේ අනුව තනි මාපිය පවුලක, දරුවන් සමග මව සහ පියා යන දෙදෙනා ම නොසිටිති. එක් අයෙක් පමණක් සිටියි.

තනි මාපිය පවුල් සඳහා බලපාන සාධක කාලයෙන් කාලය වෙනස් වී ඇත. 20 වන සියවසේ මැද භාගයේ දී ඊට ප‍්‍රධාන හේතුව වූයේ මව හෝ පියා මිය යාම ය. 70, 80 දශකවල ප‍්‍රධාන හේතුව වූයේ දික්කසාද වීම ය. 2000 දශකයේ ප‍්‍රධාන හේතුව විවාහ නො වීම ය. තනි මාපිය පවුල් ගණන් කිරීමේ දී මව පියා එකට සිටියත් ඔවුන් විවාහ වී නැති නම් එම සාධකය ද සලකා බලනු ලැබේ. විවාහ වී දිගු කලකට ඈත් වී සිටීම ද (උදාහරණ: ඇමරිකානුවකු ඉරාකයේ යුද්ධයට යාම) තනි මාපිය පවුල් ලෙස ගණන් බලා ඇත. ඇතැම් මව්වරුන්ට විවාහ නො වී දරුවන් ලැබේ. එහෙත් වසරකට දෙකකට පසු ඔවූහු විවාහ වෙති. ජීව විද්‍යාත්මක ව මව පියා විවාහ වීම හෝ මව හෝ පියා වෙන අයකු සමග විවාහ වූ විට තනි මාපියභාවය නැති වේ.

තනි මාපිය පවුල්වල විකාශනය

1950 වර්ෂයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ තනි මාපිය පවුල් ගණන වැඩි විය. 1970 දී එය ජනගහනයෙන්  11%ක් විය. 70 දශකයේ දී දික්කසාද බහුල වීම මීට බලපෑ හේතුව විය. 1980 දශකය වන විට දික්කසාද උපරිම වී 1990 වන විට එහි ප‍්‍රවණතාව අඩු වන්නට විය. 1996 දී ළමයින්ගෙන් 31%ක් තනි මාපිය පවුල්වලට අයත් වූහ.

තනි මාපිය පවුල්වල වැඩි වීම 1980 දශකයේ සිට ඇති විය. ළමයින් ඇති දැඩි කිරීමේ සමාජ ආකල්පවල වෙනස මින් පැහැදිලි වේ. එය පියාට ද අයත් කාර්යයකි. 1970 දී පියා සමග සිටියේ ළමයින්ගෙන් 1%කි. 2002 දී මෙය 5% දක්වා වර්ධනය විය. තනි පියවරුන් තනි මව්වරුන්ට වඩා කවදාවත් විවාහ නො වීමට වඩා දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ දික්කසාද වීම යි. එසේ ම ඔව්හු මව්වරුන්ට වඩා වෙනත් කාන්තාවක සමග ජිවත් වෙති. උදාහරණ ලෙස කොකේසියන් ළමයින්ගෙන් 33%ක් අවිවාහක පියා සමග සිටියත් පියා සිටින්නේ වෙනත් කාන්තාවක් සමග ය. මෙම තත්ත්වයෙන් සිටින අප‍්‍රිකානු ඇමෙරිකානු ළමයින් සංඛ්‍යාව 29%කි. ආසියා පැසිපික් ළමයින් සංඛ්‍යාව 30%ක් හා spanic ළමයින් සංඛ්‍යාව 46%ක් වේ.

 

තනි මාපිය පවුල්වල ගැටලූ

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි තනි මාපිය පවුල්වල අවාසිදායක තත්ත්වවලට හේතුව ළමයින් හදා වඩා ගැනීමේ දෙමාපිය භූමිකාවට වඩා දෙමාපියන්ගේ දුර්වල ආර්ථික තත්ත්වයයි. අනෙක් අතට පවුලේ පියා නැති වීම ළමයින්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ චිත්තවේග පළ කිරීම කෙරෙහි ද බලපායි. තවත් අතකින් තනි මාපිය පවුල්වල ළමයින් අවදානමට වැටීමට ඇති අවස්ථා වැඩි වීමට බලපාන කරුණු නම්  අධ්‍යාපන සාධනය අඩු වීම, පාසලින් ඇද හැලීම වැඩි වීම, යොවුන් වියේ දී ම දෙමාපියන් වීම, දෙමාපියන් සමග වැඩිපුර ගැටුම් ඇති වීම, වැඩිහිටි අධීක්ෂණය අඩු වීම, පාසලට නොගොස් සැඟවී සිටීමට ඇති හැකියාව වැඩි වීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම, අවදානම් ලිංගික චර්යා ඇති වීම, කල්ලිවලට බැඳීම වැඩි වීම, සිරගත වීමේ අවදානම දෙගුණයකින් වැඩි වීම, චිත්තවේග හා චර්යාමය ගැටලූ සඳහා වැඩිපුර සහාය අවශ්‍ය වීම, ප‍්‍රචණ්ඩ තත්ත්ව/අපරාධවල සහභාගිත්වය වැඩි වීම, සිය දිවි හානි කර ගැනීමට පෙලඹීම වැඩි වීම සහ වැඩිහිටියන් ලෙස දික්කසාද වීම දෙගුණයකින් වැඩි වීම ය.

තනි මාපිය පවුල්වල ජීවිතය දුෂ්කර හා හුදකලා ය. තීරණ ගැනීම, විනය පාලනය, මූල්‍ය වගකීම තනි ව කිරීමට සිදු වේ. මෙවන් ආර්ථික දුෂ්කරතා හා චිත්තවේගික දුෂ්කරතා තිබුණ ද තනි මාපිය පවුල්වල ළමයින්ට ද යහපත් චර්යා සබඳතා ගොඩ නගා ගෙන දියුණු විය හැකි ය. දික්කසාද පවුල්වල අය නැවත විවාහ වූ විට නව සබඳතා නිසා සබඳතා ජාලය පුළුල් විය හැකි ය. නිතීමය සාධක නිසා ද සබඳතා පුළුල් වෙයි.

 

තනි මාපිය පවුල් ආකෘති

1984 සිට ලෝක දත්ත අනුව ළමයින්ගෙන් 60%ක් ස්වකීය ළමා කාලයෙන් සාමාන්‍ය වශයෙන් අවුරුදු පහක් ගත කරනුයේ තනි මා පිය පවුල් යටතේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ සියලූ ළමයින්ගෙන් 30%ක් සම්පූර්ණ ළමා කාලය ගත කරන්නේ තනි මා පිය පවුලක ය.

තනි මා  පිය  පවුල්  හා ශාස්ත‍්‍රීය  සාධනය  පිළිබඳ  පර්යේෂණ  ආකෘති දෙකකට අයත් වේ. එනම් පවුලේ ඌනතා පිළිබඳ ආකෘතිය (Family deficit model) සහ අවදානම් සහ ආරක්ෂිත සාධක ආකෘතිය (Risk and protective factor model) වේ. පවුලේ ඌනතා ආකෘතියෙන්, 1970 දශකයේ සිට,  න්‍යෂ්ටික සහ ද්වි මාපිය පවුල් ඉතා ම හොඳ පවුල් ව්‍යූහය ලෙස සලකන ලදී. මෙකී ආකෘතිය අනුව තනි මා පිය පවුලෙන් ළමයාට ඝෘණ බලපෑමක් ඇති වේ. එම නිසා මෙම අකෘතියෙන් කළ පර්යේෂණවල දී, තනි මා පිය පවුල්, ළමයින්ට අහිතකර බවට සාක්ෂි සැපයිණි. අවදානම සහ ආරක්ෂිත සාධක ආකෘතිය 1990 දශකයේ බිහි වූ අතර මෙහි දී අවධාරණය වන්නේ සෑම පවුලක ම දුර්වලතා සහ ශක්තීන් තිබෙන බවයි. මේ ආකෘතියෙන් පැවසෙනුයේ පවුල් ව්‍යූහය යනු ළමයාගේ ශාස්ත‍්‍රීය සාධනයට බලපාන බොහෝ අවදානම් සාධකවලින් එකක් පමණක් බවයි. ඒ අනුව ආර්ථික සාධක ද වෙනත් පසුබිම් සාධක ද ළමයාගේ සාධනයට බල පෑ හැකි ය.

පර්යේෂණ අනුව හෙළි වන්නේ පවුලේ ආදායම සමාන වූ විට, ද්වි මාපිය හා ඒක මාපිය පවුල්වල ද දෙමාපියන්ගේ දරුවන්ගේ ශාස්ත‍්‍රීය සාධනයේ ද ඉතා සුළු වෙනසක් පමණක් ඇති වන බව යි. දෙමාපියන් සමග උණුසුම්, දැඩි බැඳීමක් ඇති පවුල්වල ළමයි අනෙකුත් ළමයින්ට වඩා ඉහළ ශ්‍රේණි ලබති. මීට හේතුව දෙමාපියන් ආරක්ෂිත සාධකයක් ලෙස ක‍්‍රියා කරන බව ය. තනි මාපිය පවුල්වල වුව ද ආර්ථිකයේ ඌනතා බලපෑම් එල්ල කළත් ළමයින්ගේ අධ්‍යාපනයට එම පවුල් ආධාර දුන් විට සාධනය ඉහළ යයි.

ළමයකුගේ සාධනයට ඝෘණ හෝ ධන වශයෙන් බලපාන සාධක ප‍්‍රවර්ග (Categories) තුනකි.

  1. පෞද්ගලික සාධක- සෑම ළමයකු ම සතු අභ්‍යන්තර චරිත ලක්ෂණ වන බුද්ධිමය හැකියා, ඉගෙනුමට ඇති ප‍්‍රවේශය, ස්ව සංකල්පය ඉන් අදහස් වේ.
  2. නිවසින්, පාසලින් හෝ ප‍්‍රජාවෙන් ලැබෙන සහාය හෙවත් සමාජ සහයෝගය ලැබෙන ආකාරය
  3. පවුලේ සංස්කෘතිය, පවුලේ ව්‍යූහය, දෙමාපියන්ගේ රැුකියාව, ආදායම, අධ්‍යාපනය, මානසික සෞඛ්‍යය, දරුවන් හදා වඩා ගැනීමේ ක‍්‍රම, ජන වර්ගය සහ පවුලේ ප‍්‍රමාණය මීට අයත් සාධක වේ. දික්කසාදය, නැවත විවාහය, මරණ වැනි ළමා සංවර්ධනයට බලපාන වෙනත් කරුණු ද මීට අයත් ය.

මේ න්‍යායය අනුව අවධාරණය වන්නේ, ළමයා ජීවත් වන පවුලේ ස්වභාවයට වඩා (එක් මාපිය, ද්වි මාපිය) ළමයාගේ ශාස්ත‍්‍රීය සාධනයට, ළමයාට ම ආවේණික පෞරුෂ සාධක සහ සමාජ සංස්ථාවල සහාය, වැඩි බලපෑමක් කරන බව යි.

ශාස්තී‍්‍රිය සාධනයට තනි මාපිය පවුල් ඍණ වශයෙන් බලපාන බවට නිශ්චිත පිළිතුරක් ද පර්යේෂණවලින් ලැබී නැත. සමාන ශාස්ත‍්‍රීය හැකියා ඇති ළමයින්ගෙන් තනි මාපිය ළමයින් පාසලින් ඇද හැලීමේ ප‍්‍රවණතාව අනෙක් ළමයින්ට වඩා තුන් ගුණයක් වැඩි ය. ගෙදර වැඩවලට උදව් වීමට නොහැකි වීම, සංගත විනයට බලපෑමේ හැකියාව අඩු වීම, දෙමාපියන්ගේ අඩු පාලනය අඩු ශාස්ත‍්‍රීය සාධනයට බලපාන තනි මාපිය පවුල්වල සාධක වේ. පාසල සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ දී ද තනි මාපිය පවුල්වල ළමයි වැඩි දුෂ්කරතාවලට මුහුණ දෙති.

 

විසදුම්

තනි දෙමාපියන් හා දරුවන් සඳහා ධනාත්මක ජීවිතයක් ලබා දීමට අනුගමනය කළ හැකි පියවර නම් ළමා ආරක්ෂක සේවාවල සහාය ලැබීම, නිවසේ චර්යාව විධිමත් කර ඒ අනුව කටයුතු කිරීම, නීති හා විනය පැහැදිලි ව හා සංගත ව පවත්වා ගෙන යාම, ළමයාට ළමයකු සේ සිටීමට ඉඩ හැර වැඩිහිටි ගැටලූ විසදීමට අවකාශ නොදීම, ළමයාගේ ජීවිතයට වැදගත් ගුරුවරුන්, මිතුරන් හා ක‍්‍රීඩා උපදේශකයන් හඳුන්වා දීම, අනෙක් පවුල්වලින් සන්සුන් ව හා අවංක ව කරුණු විමසීම සහ ළමයා මව/පියා නැති වීම පිළිබද ගැටලූවෙන් ආතතියට පත් නො කිරීම, දික්කසාද වූ විට කව්රුන් තෝරා ගත යුතු ද යන ගැටලූවට ළමයා පත් නො කිරීම සහ ළමයින්ට මූල්‍යමය අපහසුතා ගැන අවංක ව කියා දීම ය.  ළමයා තනි මාපියාට කීකරු නො වේ නම් පාසලෙන් ද සමාජ සේවා ආයතනවලින් ද මානසික සෞඛ්‍ය උපදේශනයේ නියුතු වූවන්ගෙන් ද උපකාර පැතිය යුතු ය.

 

ආචාර්ය රමණි රේණුකා රණතුංග

විදුහල්පතිනි

බප/ජය/ශ‍්‍රී ඉන්දජෝති විද්‍යාලය

බත්තරමුල්ල

 

 

You may also like...