ජලයේ ආසනික් ඉවත් කිරීමට අලූත් පෙරණයක්

වෛද්‍ය සෙලී ප‍්‍රනාන්දු සහ සෙලී සේනානායකගේ නිමැවුමක් කෙසෙල් ලෙලි, තේ කුඩු අපි නිවසෙන් බැහැර කරන අපද්‍රව්‍ය යි. වී පොතු කුඩු, පොල් ලෙලි කුඩු, පොල්කටු අඟරු හා වැලි කැට යනාදිය අපට පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය වේ. මේවා භාවිතයෙන් ජලය පෙරණයක් සාදා එමගින් ජලයේ අඩංගු විෂ රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමේ අලූත් ක‍්‍රමවේදයක් සොයා ගැනීමට වෛද්‍ය සෙලී ප‍්‍රනාන්දු සහ ඇයගේ දියණිය සමත් ව සිටි. ඔවුන් පවසන්නේ මෙමගින් ආසනික් නමැති විෂ රසායනික ද්‍රව්‍ය ජලයෙන් ඉවත් කළ හැකි බව ය. ඒ බව ඔවුන් පර්යේෂණාත්මක ව ඔප්පු කර පෙන්වීම මෙහි ඇති සාර්ථක බව කියා පායි.
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල කෘමිනාශක හා වල්නාශක අවිධිමත් ව බහුල ව භාවිත කිරීම නිසා එම ප‍්‍රදේශවල ජල ප‍්‍රවාහ දුෂණයට ලක් ව ඇතැයි කියනු ලැබේ. එමගින් ශාකවලට ද සතුනට ද මිනිසාට ද හානිදායක බලපෑම් ඇති වේ. ආසනික් වැනි බැර ලෝහ මිනිසාගේ සමට වැදීමෙන් සමේ රෝග ඇති වේ. මිනිස් ශරීරයට ආසනික් ඇතුළු වීමෙන් වකුගඩු රෝග ද අක්මාවේ රෝග ද වැළඳේ. මෙසේ ආසනික් විෂ වීමෙන් විශේෂයෙන් ම උතුරුමැද පළාත්වල ජීවත් වන බොහෝ දෙනකු මෙම රෝගී තත්ත්වයනට ගොදුරු වී ඇතැයි කියනු ලැබේ.

වෛද්‍ය සෙලී ප‍්‍රනාන්දු සහ ඇගේ දියණිය එක් ව කළ පර්යේෂණවල ප‍්‍රතිඵලවලට අනුව නිපද වූ ජල පෙරණයේ අඩංගු කෙසෙල් ලෙලිවලින් 35%ක් ද තේ කුඩුවලින් (ග‍්‍රීන් ටී) 97.7%ක් ද ආසනික් ඉවත් වන බව ඔවුන් පර්යේෂණාත්මක ව ඔප්පු කර පෙන්වා දෙනු ලැබේ. මේ පෙරණයේ ඇති විශේෂත්වය වන්නේ එය ස්වභාවයෙන් ම ඉතා ලාභදායි, පරිසර හිතකාමී, කාර්යක්ෂම හා ඵලදායි පෙරහණයක් වීමයි. මේ පෙරහරණයට පේටන්ට් බලපත‍්‍ර හිමිකම ද මේ වන විට අයදුම් කර ඇත.
දුෂිත ජලයෙන් ආසනික් ඉවත් කර ගන්නා ආකාරය

කෙසෙල් ලෙලිවල අඩංගු (COOH-/NH2/-CO-/CH2-/CHO) හා (O) කාණ්ඩ (බෙන්සින්) මේවා ඉලෙක්ට්‍රොෆයිල් කාණ්ඩ As 3+ ආයනය ආදේශ කර ගෙන ජලයෙන් ඉවත් කිරිම කරයි. Green Tea වල ඇති Catechin, Epicatechin Epigallo catechin, Epigallo catechin gallate, වල CO=OH හා අසංතෘප්ත බන්ධන මගින් බෙන්සින් ජලයට As 3+ ආදේශ කර ගනි. මේ නිසා ජලය පිරිසිදු වේ.

වෛද්‍ය සෙලී ප‍්‍රනාන්දු වෘත්තියෙන් පෝෂණ වෛදවරියකි. මේ වන විට විවිධ විද්‍යාත්මක පර්යේෂණ නිමැවුම් සඳහා පේටන්ට් බලපත‍්‍ර හතක් ඇය හිමි කර ගෙන සිටින්නී ය. ඇගේ දියණිය වන සෙලී සේනානායක මේ වන විට පාසලේ විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙනුම ලබමින් සිටින්නී ය. ඇය ද තම මව හා කරට කර පර්යේෂණයේ නියැළෙමින් විද්‍යාත්මක නිමැවුම් සදහා පේටන්ට් බලපත‍්‍ර පහක් හිමි කර ගෙන තිබීම ඇගයිය යුතු කරුණකි.

You may also like...