ඉර හඳ අපේ ඉමකොන- එහෙත් හෘද සාක්ෂියට යටත් ව…

බින්දුවෙන් පටන් ගත් ‘ගවේෂණ’, ඒ අභියෝගාත්මක ගමනේ අතිශය වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටී. එහෙත් අපේ ඉමකොන, ඉර හඳ තරම් දිගු ගමනක් විය යුතු බව අප හොඳාකාර ව දනිමු. මන්ද දැනුම හඹා යෑමේ මෙහෙවර ඒ තරම් ම දිගු හා පුළුල් ව්‍යායාමයක් වන බැවිනි. ඒ දිගු ගමනේ දී දැනුමට අයිතිවාසිකම් කීම හෝ ඒවායේ හතරමායිම් සෙවිම අතිශය පටු සීමාවන් තුළ කොටු වීමක් බව ද අප බරපතළ ලෙස අදහමු. ඒ මන්ද යත් දැනුම අහසින් කඩා වැටුණ හෝ තනි තනි පුද්ගලයන් කිහිප දෙනකුගේ ඔළුවල  ඕපපාතික ව බිහි නො වූ බව අප හොඳින් තේරුම් ගන්නා බැවිනි. කෙටි ජීවිත කාලයේ දී අප කාට කාටත් කළ හැක්කේ සාපේක්ෂ දායකත්වයක් පමණක් වන හෙයින් අප කරන්නේ පවතින දැනුම තව තවත් සංවර්ධනය කිරීම හා සාමූහික නව දැනුම පෝෂණය කිරීම පමණක්ම ය.

එසේ වුව ද, සෑම දෙයක් ම පාහේ වාණිජකරණය වී ඇති ඊනියා ගෝලීයකරණය තුළ ‘දැනුම’ ද වාණිජකරණය වී ඇති බව සත්‍යයකි. සැබෑ අර්ථයෙන් ගත් කල ‘දැනුම’ මිලක් නියම කළ හැකි වෙළෙඳ භාණ්ඩයක් නො ව මානව සංහතියේ යහපත උදෙසා හොඳ ආයෝජනයක් පමණක් බව තේරුම් ගැනීමට සමහර විද්වතුන් පවා අසමත් ව තිබීම කනගාටුවට කරුණකි.

එනමුදු පවතින දැනුම/ නව දැනුම ආයෝජනය කළ යුතු වන්නේ සමස්ත සමාජයේ සාධනීය ඉදිරි ගමනට දායක වන ආකාරයට මිස, දැනුමේ ආයෝජනය අධිපතිවාදී බල අධිකාරියක් බවට පත්කර ගැනීමේ පටු චේතනාවන් තුළ නො වන බව ද අවධාරණය කළ යුතු ව ඇත. ඒ නිසා දැනුම, ආයෝජනයක් බවට පත් කළ යුතු වන්නේ ‘හෘද සාක්ෂියට’ යටත් ව බව දැඩි අවධාරණය කළ යුතු ව ඇත.

කෙසේ වුව ද දැනුම ආයෝජනයක් බවට පත් කිරීමේ කාර්යභාරයේ දී, තනි තනි පුද්ගලයාට ”ඒ තුළ යමක් අන්තර්ගත නො විය යුතු ය” යන පටු මතයක් සනිටුහන් නො වන බව සඳහන් කළ යුතු ව ඇත. එහෙත් තමාගෙන් ඔබ්බට සිිතිය හැකි, සරල ව කිව හොත් ක්ෂිතිජයට ඔබ්බෙන් දැකිය හැකි නව දැනුම හඹා යන පරපුරක අවශ්‍යතාව අද අන් කවරදාකටත් වඩා ඉස්මතු ව ඇත.

‘මම’ වෙනුවට ‘අපි’ ලෙස සිතිය හැකි, මිනිසුන්ගේ දෑත් තුළ දැනුම හස්තගත වනවා දැකීම අපගේ ඒකායන ප‍්‍රාර්ථනය බව ද නොපැකිළ ව සටහන් කරමු.

‘ගවේෂණ’ ඇරඹුවේ ඒ පාරිශුද්ධ චේතනාව පෙරදැරි කර ගෙන ය. ඒ ගමනේ දී අප අතිශය සුළුතරය බව ද අපි දැන සිටියෙමු. එහෙත් දස වසරක ඇවෑමෙන් ‘ගවේෂණ’ ඇරඹූ තැනට වඩා බොහෝ දුරක් අප ගෙවා ඇති සේ ම, අපගේ ඒ සුළුතරය තව දුරටත් සුළුතරය නො වන බව ද අප හොඳාකාර ව දනිමු.

තනි තනි පටු ඉලක්ක හඹා යන ගමනක් නො ව, ජාතික මෙහෙවරක ඉලක්ක හඹා යන පරිද්දෙන් දේශය පුරා විහිදුණු දේශීය පර්යේෂණ සංස්කෘතියක් හරහා පුළුල් නව දැනුම හඹා යන ජාතියක් බවට අපගේ තරුණ පරම්පරාව අවධි කරන කාර්යභාරයක් සඳහා පෙනී සිටින ‘ගවේෂණ’, කිසිදු තත්ත්වයක් යටතේ ඒ ‘බහු වචනය’ කේවල් කිරීමට සූදානම් නො වන බව ද අවධාරණය කළ යුතු ය.

ඊයෙට අදට මෙන් ම හෙටටත් එය එසේ ම විය යුතු ව ඇත. ‘ගවේෂණ’ පෙනී සිටින්නේ ඒ බහුවචනය හා ඊට පෑහුණු දිගු ගවේෂණාත්මක පර්යේෂණ සංස්කෘතිය වෙනුවෙන් බව යළිත් අවධාරණය කරන අතර ඒ අභියෝගාත්මක ගමනේ දී ඔබට යා හැකි දුරක රැුඳීමට හෝ අප සමග එකතු වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Gaveshana 21

You may also like...