පොතක් ගැන යමක්- නොසෙවුන කැඩපත

සාහිත්‍ය විචාරකයින් කොටස් දෙකකට ඛෙදිය හැකියයි මම සිතමි. අදින විචාරකයින් කෘතියේ ගුණදොස් විමසා පාඨකයාගේ නිම් වළලූ පුළුල් කිරීමටත් නිර්මාණයේ අලූත් සැඟවුණු මානයන් මතු කිරීමටත් ප්‍රයත්න දරයි. අනෙකුත් විචාරකයින් අන්තර්ජාලයෙන් හා ඉංග්‍රීසි සාහිත්‍යයෙන් අහුලාගත් සංකල්ප හා මතවාදයන්ට අනුව තමන්ගේ සැඟවුණු අභිලාෂයන් මතු කර පෙන්වීමට කටයුතු කරයි.

දැනට දශක දෙකකට පමණ පෙර මාක්ස්වාදී සාහිත්‍ය විචාරය පිළිබඳ පුළුල් කතිකාවතක් තිබිණ. සුචරිත ගම්ලත් හා පියසීලි විෙජ්ගුණවර්ධන දෙපල සාකච්ඡා, සම්මන්ත්‍රණ, සඟරා හා පුවත් පත්වලින් මේ සංවාදය ඉදිරියට ගෙන යන ලදි. ඔවුන්ගේ තර්කයන්හි ඇති ගාම්භීරත්වය නිසාම ඇස් නිලංකාර වී සිටි අප ගිජුව ටික දිනකින් ම එහි ඇති කර්කශ හා නිසරු බව නිසාම ඒවායේ හිස් බව පසක් විණි. අමරසේකරයන් ද “අබුද්දස්ස යුගයක්”, “අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?” ,”ගනදුරු මැදියම” කෘති පළ කළේ මේ වකවානුවේදී ය. ඔහුගේ සමහර සංකල්පවලට එකල ඇලූම් කළ මුත් අපගේ මෝඩකම් ඒවායින් පෙන්වා දෙන නිසාදෝ එකල එම අදහස් ඔස්සේ වැඩි දුර සිත් නොයැවුවෙමු.

සිඟාල නව කථාව “අබුද්දස්ස යුගයෙන්” විවේචනයට ලක් කළ අමරසේකරයන් “ගමනක මුල” නව කථා වැල මගින් නව කථා ලියන්නේ මෙලෙස යැයි පෙන්වා දුන්නේ ය. “සිංහල කාව්‍ය සම්ප්‍රදාය” කෘතියෙන් කවිය විචාරය කළ ඔහු “අසක්දා කව” මගින් කවි ලියන්නේ මෙලෙස යැයි පෙන්වා දුන්නේ ය. එතැනින් නොනැවතී “ගනඳුරු මැදියම” හා “අරුණලූ සැනින්” වැනි ග්‍රන්ථයන්හි සැබෑ ජාතික ව්‍යාපාරයට අවශ්‍ය දාර්ශනික පසුබිම පහදා දුන් අමරසේකරයන් පසු කලක එවැනි ව්‍යාපාරයක් බිහි කිරීමට පමණක් නොව ව්‍යාජ ජාතික ව්‍යාපාරයේ වෙස් මුහුණු ගැලවීමටත් මුල් විය.

තමන් විචාරය කරන දේ හරියට කරලා පෙන්වන විචාරකයකු වන අමසේකරයන්ගේ “නොසෙවුන කැඩපත” හෙවත් නව කථාවේ පරිහානිය කියවිය යුත්තේ මේ පසුබිම මතය පසුගිය අඩසියවස පුරා අප රට ගොදුරු කරගෙන සිටින අනුකාරක චින්තනයෙන් නිදහස් වීමට කරන අඬහැරයකි මෙම ග්‍රන්ථය. මෙම අනුකාරක චින්තනයේ එක් භෞතික ස්වරූපයක් ශ්‍රී ලංකාවෙන් තුරන් කරමින් සිටින මෙම කාලපරිච්ඡේදය එහි අධ්‍යාත්මික හා දාර්ශනික අවතාරයක් මතු වීමට ඇති එක් අවකාශයක් වසා දැමීමට කරන ලද ආරාධනාවකි මෙම කාතිය. අමරසේකරයන් පෙන්වා දුන් මග ප්‍රතික්ෂේප කරන්නෙකු වන ලියනගේ අමරකීර්ති වැන්නවුන් පවා අමරසේකර යථාභූත  එසේත් නැත්නම් තමන්ගේ දර්ශනයට අව්‍යාජව සේවය කරන්නාක් ලෙස පෙන්වා දෙයි. අනෙකුත් ක්ෂේත්‍රවල සිටින විද්වතුන් ද අදීන සිතුවිලි මත නව නිපැයුම් බිහි කරන්නේ නම් අප අදීන ජාතියක් වේ. අප පර්යේෂණ හා සංවර්ධන ආයතනය බිහි කළේ ද පර්යේෂණ ක්ෂේත්‍රයේ අදීන චින්තනයෙන් පොහොසත් කිරීමටත් ඒ මත පදනම් වූ දේශීය පර්යේෂණ සංස්කෘතියක් ගොඩ නැගීමටත් ය.