ආර්ථීක ඝාතකයකුගේ පාපෝච්චාරණය

ජෝන් පර්කින්ස් විසින් ලියන ලද Confession for an Economic Assassin ග්‍රන්ථයේ සිංහල පරිවර්තන කිහිපයක් (මා දන්නා තරමින් අඩුම ගණනේ දෙකක්) ඇත. ඒ අතුරින් යාන්තමින් හෝ කියවීමට හැක්කේ ලීලානන්ද ගමාච්චි මහතා විසින් පරිවර්තනය කරන ලද —ආර්ථීක ඝාතකයකුගේ පාපෝච්චාරණය පමණි.

පිටු 413ක් පමණ වූ මෙම පොත ඉතාමත් සහන මිලකට (රු.300) මිලදී ගත හැක. වැයවන මුදලට වටිනේ ය.

පසුගිය 60 වසර තුළ ම ශ්‍රී ලංකාවත්, යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ අනිකුත් රාජ්‍යයත් දියුණු වූ රටවලට සමාන ආර්ථීක ශක්‍යතාවක් අත්පත් නොකර ගැනීම බැලු බැල්මට විමතියට මෙන් ම කුතුහලයක් ද උපදවන්නකි. චීනය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, ආජන්ටිනාව, චිලී හා ඛනිජ තෙල් නිසා දියුණු වූ අතලොස්සක් මැද පෙරදිග රටවල් හැරෙන්නට අධිරාජ්‍යවාදී ග්‍රහණයට ලක් වූ රටවල බොහොමයක් දියුණු සංවර්ධනයක් අත්කරගෙන නොමැත. ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව වැනි රටවල සංවර්ධන වේගය ඉහළ තත්ත්වයක් ගත්ත ද දුප්පත්කම තුරන් කිරීමට තවමත් නොහැකි වී ඇත. වෙනස් සංවර්ධන මගක් ගත්ත ද කියුබාව හා උතුරු කොරියාව තමන්ට අයත් ආහාර පවා වගා කරගත නොහැකි අසාර්ථක රාජ්‍යයන් ය. මෙයට හේතු වූ කරුණු පිළිබඳ අගනා විග්‍රහයක් 1970 ගණන්වල දී කැරන් බෘටෙන්ස් නැමැති සෝවියට් ලේඛකයා විසින් රචිත —නව යටත්විජිතවාදයේ හරය සහ විධි˜ යන ග්‍රන්ථයේ දැක්වේ. අනියම් හමුදා අතපෙවීම් (චිලි දේශයේ ඇලන්ඩේ ඝාතනය, වෙනිසියුලාවේ චාවේස් රජය හමුදා කුමන්ත්‍රණයකින් කෙටි කලකට පෙරලා දැමීම) මෙන් ම ආර්ථීක සම්බාධක පැනවීම ද ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක මැතිණියගේ රජය තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ඇමරිකාව විසින් තිරිඟ= පිටි ආධාරය නැවැත්වීම මෙම ලේඛකයා හැඳින්වූයේ නව යටත්විජිතවාදී උපක්‍රම ලෙසිනි. 1980 දශකයේ ගුණදාස අමරසේකර විසින් හඳුන්වාදුන් සංස්කෘතික ආක්‍රමණය ද 1990 දශකයේ දී මානව හිමිකම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් කෙරෙන මැදිහත් වීම් ද මෙම නව යටත්විජිතවාදයේ තවත් ක්‍රමෝපයෙන් ය.

බටහිර රටවල් දියුණු වන රටවල ඇති ස්වාභාවික සම්පත් හා ආර්ථීකය විනාශ කරමින් ලාභ උපයන අන්දම සවිස්තරව මෙම ග්‍රන්ථයේ දක්වා ඇත. ජෝන් පර්කින්ස්ට ආර්ථීක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් නොමැති වුවත් ඇමරිකානු බහුජාතික සමාගම්වල ආර්ථීක විශේෂඥයකු ලෙසට ක්‍රියාකරමින් දියුණුවන රටවල ආර්ථීකය විනාශ කළ අන්දම පාපෝච්චාරණයක් ස්වරූපයෙන් දක්වා ඇත.

ආර්ථීක ගිවිසුම්, තීරුබදු රහිත සහන, නාගරික කේන්ද්‍රීය සංවර්ධිත ආධාර මෙම ආර්ථීක නව යටත්විජිතවාදයේ උපක්‍රම වේ. එහි අනියම් හමුදාමය බලවේගය වන ඛඔඔෑ සංවිධානය පාරජය කළ පසුව එහි තවත් මුහුණුවරක් වන මානව හිමිකම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග පොරබදන ශ්‍රී ලාංකිකයන්ට නව යටත්විජිතවාදයේ තවත් අදිසි මුහුණතක් මෙම ග්‍රන්ථය මගින් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධන