41_12 පුස්තකාල වර්ගීකරණයෙහි වැදගත්කම පිළිබඳ කෙටි විමසුමක්

තොරතුරු යන්න දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. මේ නිසා තොරතුරු සංවිධානය කිරීම ඉතා වැදගත් වන අතර, පුස්තකාලය කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම සඳහා ද පුස්තකාල එකතුවේ ඇති විවිධ ලේඛන ද්‍රව්‍ය (පොත්, වාර සඟරා, සංගත තැටි, ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය ආදිය) මනාව සංවිධානය කර තැබීම අත්‍යාවශ්‍ය වේ.

විධිමත් ව සංවිධානය වූ පුස්තකාලයක, පාඨකයාට පහසුවෙන් සහ ඉක්මනින් තමාට අවශ්‍ය නිශ්චිත තොරතුර සොයා ගත හැකි වේ. වර්ගීකරණය වූ කලි පුස්තකාලයේ දැනුම සංවිධානය සඳහා භාවිත කරන ප්‍රධාන හා කාර්යක්ෂම මෙවලමකි. වර්ගීකරණය යනු සමාන ද්‍රව්‍ය එක්තැන් කිරීම සහ අසමාන ද්‍රව්‍ය වෙන් කිරීමත් ය. මෙමගින් ද්‍රව්‍ය පහසුවෙන් එකිනෙක වෙන් කර හඳුනා ගත හැකි ය. වර්ගීකරණය පුස්තකාලවලට පමණක් ආවේර්‍ණක වූ සංකල්පයක් නො වේ. එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවන්හි අපට වර්ගීකරණය දැකිය හැකි ය.

පුස්තකාල වර්ගීකරණය තරමක් සංකීර්ණ හා ගැඹුරු විෂයක් නිසා එය නිර්වචනය කිරීම අසීරු වේ. විවිධ නිර්වචන විශේෂඥයින් ඉදිරිපත් කර ඇති අතර Encyclopedia of Britannica හි දැක්වෙන ආකාරයට “වර්ගීකරණ යනු පුස්තකාල ද්‍රව්‍යයක් පුස්තකාලය තුළ පහසුවෙන් සහ ඉක්මනින් ස්ථානගත කිරීම සඳහා යොදා ගන්නා වින්‍යාස ක්‍රමයකි”. පුස්තකාල වර්ගීකරණය විෂයය මත පදනම් ව සිදු වන බැවින් මෙහි දී සමාන විෂය එක් කිරීමත් අසමාන විෂයන් වෙන් කිරීමත් සිදුවේ. පුස්තකාලයක් සඳහා උචිත වර්ගීකරණ ක්‍රමයක් තෝරා ගෙන එමගින් එක් එක් පුස්තකාල ද්‍රව්‍යය සඳහා අන්තර්ගත විෂය අනුව වර්ග අංක ලබා දීම වර්ගීකරණයේ දී සිදු කෙරේ. වර්ග අංක අනුපිළිවෙළට පුස්තකාල ද්‍රව්‍ය රාක්ක ගත කිරීම සිදුවන අතර මෙමගින් පුස්තකාල ද්‍රව්‍ය විධිමත් ව සංවිධානය වේ.

පුස්තකාල වර්ගීකරණයේ දී ග්‍රන්ථවලට ආවේර්‍ණක වූ විවිධ ගුණාංග  උපයෝගී කර ගත හැකි ය. ග්‍රන්ථයේ භෞතික ප්‍රමාණය, විෂයය, ප්‍රකාශිත වර්ෂය, මාධ්‍යය ඒ සදහා නිදසුන් ය. මේවා අතුරින් පුස්තකාලයට වඩාත් යෝග්‍ය හා පාඨකයාට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ විෂය පදනම් කර ගෙන වර්ගීකරණය කිරීමයි. පාඨකයෙකු හට තමාට අවශ්‍ය තොරතුරු මූලාශ්‍රය වෙත පිවිසීම සඳහා එහි කර්තෘ, ග්‍රන්ථ නාමය, භෞතික ස්වරූපය ආදිය නිසැකව ම දැන සිටීමට වඩා තමන්ගේ තොරතුරු අවශ්‍යතාවට ගැළපෙන විෂය පිළිබඳ තීරණය කිරීම වඩා පහසු වේ. මේ නිසා ග්‍රන්ථ සෙවීමේ දී පාඨකයින් වැඩි පිරිසක් තෝරා ගන්නේ විෂයයට අනුව සෙවීම බව පැහැදිලි ය. ඒ අනුව පුස්තකාලයකට වඩාත් සුදුසු වන්නේ විෂයාත්මක ව ග්‍රන්ථ සංවිධානය කිරීමයි.

පුස්තකාල වර්ගීකරණය මඟින් ග්‍රන්ථ සංසරණය, පිරිසැකසුම්කරණය, ග්‍රන්ථ තෝරා ගැනීම, විමර්ශන සේවා ආදී විවිධ පුස්තකාල කාර්යයන් සඳහා පහසුවක් ඇති කරයි. තව ද වර්ගීකරණය මගින් ඉටු කෙරෙන සුවිශේෂී කාර්ය කිහිපයක් ඇත. වර්ගීකරණය මඟින් ඥාතීත්වයක් දක්වන විෂය ඒකරාශී වී විසිර පවතින්නා වූ විශ්වීය ඥානය ක්‍රමවත් ව සැකසීමක් සිදුවේ. පුස්තකාල ද්‍රව්‍ය නිරතුරු ව පාඨකයා හෝ කාර්යය මණ්ඩලය විසින් ඉවතට ගැනීම සිදුවන අතර මෙම ද්‍රව්‍ය නැවත නිවැරදි ව රාක්කවල ස්ථානගත කිරීම සඳහා වර්ගීකරණය ඛෙහෙවින් උපකාරි වේ. තව ද පුස්තකාලයට අලූතින් එකතු වන ග්‍රන්ථවලට හිමි ස්ථානය පහසුවෙන් නිර්ණය කිරීමෙහි ලා වර්ගීකරණය විශාල දායකත්වයක් ලබා දෙයි.

එකතු සංවර්ධනයේ දී පුස්තකාල කාර්යය මණ්ඩලයට සහාය වීම ද මේ මගින් සිදුවේ. පුස්තකාල වර්ගය අනුව සහ පාඨක අවශ්‍යතා සපුරාලීම පිර්‍ණස උසස් ග්‍රන්ථ සම්භාරයක් පුස්තකාලයෙහි පවත්වා ගෙන යා යුතු ය. වර්ගීකරණය යොදාගෙන යම් විෂයක් යටතේ පුස්තකාලයේ ඇති ග්‍රන්ථ සම්භාරය ප්‍රමාණවත් ද යන්න තීරණය කළ හැකි ය. එමෙන් ම පුස්තකාල ප්‍රතිපත්තිවලට අනුකූල ව පුස්තකාල ද්‍රව්‍ය සංසරණයෙන් ඉවත් කිරීමේ දී වර්ගීකරණය උපයෝගි කර ගත හැකි ය. නොයෙකුත් සංඛ්‍යාති (statistics) සම්පාදනයට වර්ගීකරණය දායක කර ගත හැකි ය. මෙවැනි සංඛ්‍යාති අනුව වැඩිම ඉල්ලූමක් පවතින ද්‍රව්‍ය, විෂය ක්ෂේත්‍රය යනාදිය නිවැරදි ව නිර්ණය කරමින් පාඨක මිත්‍රශීලී සේවාවක් පවත්වාගෙන යා හැකි ය. පුස්තකාල විද්‍යා විෂය පථය තුළ වර්ගීකරණයෙහි භූමිකාව විමසා බැලු විට පෙනී යන්නේ ග්‍රන්ථ නාමාවලි සම්පාදනයේ දී, සුචිකරණයෙහි විෂය ශීර්ෂ තේරීමේ දී මෙන් ම වර්ගීකෘත සුචියේ වර්ගීකෘත ගොනුව සංවිධානය කිරීමේ දී ත් වර්ගීකරණය නිතැතින් ම ප්‍රයෝජනවත් වන බව ය.

ලොව පුරා පුස්තකාලවල තොරතුරු සංවිධානය සඳහා භාවිත වන ජනප්‍රිය වූ හා ප්‍රමිතියකින් යුක්ත වූ වර්ගීකරණ ක්‍රම ඇත. ඒ අතර විශ්ව දශම වර්ගීකරණය (Universal Decimal Classification
System), කොංග්‍රස් පුස්තකාලීය වර්ගීකරණය (Library of Congress Classification System), දෙතිත් වර්ගීකරණය (Colon Classification System) හා ඩිවි දශම වර්ගීකරණය(Dewey Decimal Classification System) ප්‍රධාන තැනක් ගනී. වර්තමානයේ ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද වඩාත් ජනප්‍රිය හා බොහෝ පුස්තකාලවල භාවිත කරනු ලබන වර්ගීකරණ ක්‍රමය මෙල්විල් ඩිවී මහතා විසින් නිර්මාණය කරන ලද ඩිවී දශම වර්ගීකරණයයි. පුස්තකාලයකට වඩාත් සුදුසු වර්ගීකරණ ක්‍රමය තෝරා ගැනීමේ දී පුස්තකාල එකතුවේ ප්‍රමාණය, එකතුවෙහි අන්තර්ගත ද්‍රව්‍යය හෝ විෂයය, පාඨකයා ආදී වැදගත් සාධක කරෙහි අවධානය යොමු කළ යුතු ය. මහජන, පාසල්, අධ්‍යයන, විශේෂ, පර්යේෂණ ආදී කිනම් ගණයකට අයත් පුස්තකාලයකට වුව ද වර්ගීකරණ සංකල්පය සුවිශාල ලෙස වැදගත් වේ. පුස්තකාලය අනුව වර්ගීකරණ ක්‍රමයක් යොදා ගනිමින් පාඨක අවශ්‍යතාව උපරිමයෙන් සපුරාලීමට හැකි කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම පුස්තකාල මඟින් කළ යුතු ම කාර්යයක්  වේ.

 

සුරේනි වීරසිංහ

ජ්‍යේෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිනිය

පේරාදෙර්‍ණය විශ්වවිද්‍යාලය

 

You may also like...