41_6 යහපත් මනසක් ඇති කර ගන්නේ කොහොම ද

මහාචාර්යතුමනි, මානසික රෝග සහ මානසික සෞඛ්‍යය කියන්නේ එක ම කාරණාවක් ද? නැති නම් කාරණා දෙකක් ද?

සතුට, දුක, කනස්සල්ල, බය, තරහව මේවා සියල්ල මනසේ ඇති වන ස්වභාවික හැඟීම්. ඒවා ඕන කෙනෙකුට පොදුයි. මේ හැගීම් හෝ මිනිස් චර්යා ප්‍රමාණයෙන් හෝ ගුණයෙන් වෙනස් වෙලා තව කෙනෙකුට හෝ තමන්ට බලපෑමක් වෙනවා නම් ඒක මානසික රෝගයක ලක්ෂණයක් කියලා හදුන්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මානව හැගීමක් වන ‘දුක’ කියන කාරණාව ගනිමු. එය ප්‍රමාණයෙන් හා ගූණයෙන් වැඩි වෙලා ඔහුගේ වැඩ කටයුතුවලට බලපෑමක් වෙලා නම් ඔහුට හෝ ඇයට මැරෙන්න ඕන කියලා හිතෙනවා නම්, ඒක මානසික රෝගයක ලක්ෂණයක් දක්වා වර්ධනය වූ තත්ත්වයක්¦ එය මානසික සෞඛ්‍ය දුර්වල කරන අවස්ථාවක්. හැබැයි අපි ‘සතුට’ කියන මානව හැඟීම සලකමු. සතුට කියන්නේ හොඳ මානසික තත්ත්වයක්. සතුටින් ඉන්න කෙනාගේ හිතේ අන් අය කෙරෙහි වෛරය, තරහව වැනි දේ නැහැ¦ තෘප්තිමත් හැසිරීම් රටාවක් තියෙන්නේ. අන් අයට කරදරයක් හෝ අනවශ්‍ය බලපෑමක් නැහැ.

ඒ වගේ ම මානසික ආතතිය, අවිනිෂ්චිත භාවය වගේ කාරණා සලකමු. මේ මොහොතේ රටේ පවතින සමාජ ආර්ථීක දේශපාලන කාරණා නිසා 90%කට 95%කට මේ පීඩනය බලපාන්න පුළුවන්. හැබැයි ඒ හැමෝට ම මානසික රෝග හැදෙන්නේ නැහැ. අපි කාටත් අඩු වැඩි මට්ටමින් ඒ පීඩනය දරා ගත හැකි ව තිඛෙනවා. තමන්ට ඒක පාලනය කර ගන්න බැරි ව ගිහින් තමන්ගේ හෝ අන් අයගේ කටයුතුවලට බලපෑමක් වන මට්ටමට වැඩි වුණොත් කාන්සාව කියන මානසික රෝග තත්ත්වයට  පත් වෙන්න පුළුවන්.

එතකොට අපි හිතමු සතුටෙන් ඉන්න, අවිනිෂ්චිත භාවය අඩු, වෛරය-ක්‍රෝධය නැති, කාටත් උදවු උපකාර කර ගෙන, අන් අය සමග සහයෝගයෙන් ජීවත් වන අයගේ මානසික සතුට තෘප්තිමත් භාවය වැඩියි. ඒක ඉතා හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක්. මේ දෙක තමයි මානසික සෞඛ්‍යය හා මානසික රෝග අතර වෙනස වෙන්නේ. මානසික සෞඛ්‍ය මට්ටම ඉහළ අයට මානසික රෝග පමණක් නෙමෙයි කායික රෝගත් අඩුයි. ඒකට බලපාන තව කාරණා තියනවා, ආර්ථීකය විතරක් නෙමෙයි. හොඳ සමාජ ආවරණයක්, තිබීමත් වැදගත්.

 

මානසික සෞඛ්‍යය පිළිබඳ ව අපි පුද්ගලයන් විධියට කොතරම් දුරට සැලකිලිමත් වෙන්න ඕන ද?

කායික රෝග තරමට ම මානසික සෞඛ්‍ය පිළිබඳ ව සැලකිලිමත් වෙන්න ඕන. අපි ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට බඩ අඩු කර ගන්න උත්සාහ කරනවා, ව්‍යායාම කරනවා¦ ඒ වගේ ම මානසික සෞඛ්‍ය නිසි පරිදි තබා ගන්නටත් අපි වෙහෙස වෙන්න ඕන. තමන්ගේ ආතති මට්ටම අඩු කර ගන්න ගීතයක් ශ්‍රවණය කිරීම, චිත්‍රපටියක් බැලීම, යාළු හිතමිත්‍රාදීන් ඇසුරු කිරීම කළ හැකියි. අනවශ්‍ය කාර්ය බහුලත්වයට පත් නො වීමටත් යම් විවේක කාලයක් තබා ගැනීමටත් වග බලා ගත යුතුයි. දරුවන් හා බිරිඳ සමග, පවුලේ අය සමග ගත කරන්න කාල වේලාවක් වෙන් කර ගැනීමත් ඉතා ම වැදගත්. තමන්ගේ ආගමික කටයුතුවල නියැලීම වැනි දේවල්වලින් තමන්ට දැනෙන අනවශ්‍ය පීඩනය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේ ම තමන්ගේ වැඩ කරන ස්ථානයේ අන් අය සමග සුහද ව කටයුතු කිරීම වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.

 

යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් තිඛෙන කෙනෙක් කියන්නේ මොන විධියේ කෙනෙක් ද? එවැනි අයෙකුගේ ලක්ෂණ මොනවා ද?

සතුටෙන් ඉන්න, කැළඹුණු මනසක් නැති, තමන්ට එන ප්‍රශ්න-ගැටලූ හමුවේ හඩා නොවැටී අභියෝගවලට ධෛර්යවත් ව මුහුණ දෙන කෙනෙක්. ඒ වගේ ම අනිත් අයට පිහිටක් වන, තරහව ආවත් ඒක තමන්ට හෝ අන් අයට හානි දායක නො වන විධියට කළමනාකරණය කර ගන්න පුළුවන්, අන් අයට වෛර නො කරන, අන් අය ව තේරුම් ගත හැකි වගේ ම, අන් අය සමග සුහදශීලී ව කටයුතු කරන කෙනෙක් තමයි යහපත් මානසික සෞඛ්‍යයක් තිඛෙන කෙනෙක් කියලා කියන්නේ.

 

පුුද්ගලයන්ගේ කුසලතා කොයි තරම් දුරට වැදගත් වෙනවා ද මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගන්න?

කාල කළමනාකරණය කිරීමේ කුසලතාව, අන්‍යයන් සමග ගනුදෙනු කිරීමේ කුසලතාව, පිරිස් පාලනය කිරීමේ කුසලතාව, තමන්ගේ ජීවිතය හා පවුල් ජීවිතය කළමනාකරණය කිරීමේ කුසලතාව වගේ ජීවන කසලතා ඉතා ම වැදගත් වෙනවා යහපත් මානසික සෞඛ්‍යය කෙරෙහි. ඒ වගේ ම ‘චිත්තවේග පාලනය’  කියන එකත් මිනිසුන් තුළ තිබිය යුතු වැදගත් කුසලතාවක්. තරහා යාම මානව ලක්ෂණයක්. එහෙත් ඒ තරහව පාලනයකින් යුක්ත ව ප්‍රකාශ කිරීම කුසලතාවක්. අපි දැකල තියනවා කෙනෙකුට තරහා ගියා ම බඩු පොළවේ ගහනවා, තව කාට හරි පහර දෙනවා¦ ඒක දක්ෂකමක්වත් චණ්ඩිකමක්වත් නෙමෙයි ඒක දුර්වලතාවක්¦ හැගීම් පාලනය කිරීමේ කුසලතාව නොතිබීම නිසා මතු වන නිශේදනීය තත්ත්වයක්.

 

You may also like...