39_3 ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය සහ ලාංකේය සාම්ප්‍රදායික අධ්‍යාපන උරුමය

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යනු කුමක් ද?

මෙම සංකල්පයේ පදනම වන්නේ ‘ඉගෙනීම’ යන පදයේ නිර්වචනයයි. තත්කාලීන අර්ථකථනවලට අනුව ඉගෙනීම යනු “අවබෝධය, අත්හදා බැලීම් සහ අත්දැකීම්වලින් රැස් කර ගත යුතු කුශලතාවක්” විනා කෙනෙකු විසින් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කළ හැකි අමුද්‍රව්‍යයක් නො වේ.

ඉගෙනීම, ගුරුවරයකුගෙන් ශිෂ්‍යයකුට නිෂ්ක්‍රීය ව ගලා යන අමුද්‍රව්‍යයක් නම්, ශිෂ්‍යයන් කණ්ඩායමක් පන්ති කාමරයක සිර කර, කාල සටලද කාල වකවානු අනුව, ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට ලබා දෙනු ලබන දේශන හා සටහන් මාලාවකට, එකී ඉගෙනුම ලඝු කළ හැකි ය. එහෙත් ඉහත අර්ථ දැක්වීම අනුව එය එසේ නොවිය යුතු ය. එසේ නම් ඉගෙනීම කුමක් විය යුතු ද?

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හා වත්මන් පන්ති කාමරය

ඉහත අර්ථ දැක්වීම අනුව, සැබෑ ඉගෙනීම, ශිෂ්‍යයා තවත් ශිෂ්‍යයන් හා ගුරුවරයා එක් ව ගෙන යන සුසංවාදයකින් සහ ඒ හා බැඳුණු ශිෂ්‍ය අත්හදා බැලීම්, අත්දැකීම් හා ක්‍රියාකාරකම්වලින් එකී ශිෂ්‍යයා තුළ ජනිත වන මානසික/බුද්ධිමය, කාය කුශලතාමය හා ආකල්පමය/භාවමය වෙනසකට තුඩු දෙන ක්‍රියාදාමයක් විය යුතු ය. අද අප පාසල්වල ඇති පන්ති කාමරය, එවන් ගුරු-ශිෂ්‍ය සංවාදාත්මක අත්හදා බැලීම් හා අත්දැකීම් ජනනය කිරීමට කෙතරම් ගෝචර ද?

එසේ ගෝචර වීමට නම් ශිෂ්‍යයන් කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති කාමරය තුළ අත්හදා බැලීම් හා අත්දැකීම් සාකච්ඡා කර ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ තම බුද්ධිමය, කාය කුශලතාමය හා ආකල්පමය වර්ධනයක් ළඟා කර දෙන පරිසරයක් ඇති විය යුතුයි. එහෙත් අද පන්ති කාමරය, ගුරු-ශිෂ්‍ය තොරතුරු සම්ප්‍රේෂණයට මිස ගුරු-ශිෂ්‍ය සංවාදාත්මක බුද්ධි-කුශලතා-ආකල්ප වර්ධනයකට එතරම් සුදුසු නො වේ. මෙම පරිසරය තවදුරටත් පවත්වා ගෙන යාමෙන් ‘කටපාඩම්’ ඉගෙනීම උද්දීපනය කර තර්කමය බුද්ධිය මොට කරන අධ්‍යාපන රටාවක් පෝෂණය වේ. අනාගතයේ රටට අවශ්‍ය වන්නේ සබුද්ධික, කුශලතා පූර්ණ හා පොහොසත් ආකල්පවලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නම් මෙම පන්ති කාමරය වහ වහා වෙනස් විය යුතු ම ය.

ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය තුළ ගුරුවරයා ඛෙලහීන වේ ද?

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළ ගුරුවරයා විසින් පිළියෙල කර ගත් සටහන් ශිෂ්‍යයා වෙත ගලා යාමට සලස්වයි. තවදුරටත් ශිෂ්‍යයාට නොතේරෙන කොටස් වේ නම් ශිෂ්‍යයාට ඒවා සවිස්තර ව පැහැදිලි කිරීම ගුරුවරයා විසින් සිදු කරයි. ඉන් පසු ශිෂ්‍යයන්, ගුරුවරයා දුන් සටහන් පාඩම් කර, විභාගයක දී එම පාඩම් කළ දෑ නැවත ප්‍රතිරූපණය කරයි.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක දී, ගුරුවරයා විසින්, ශිෂ්‍යයන් සාකච්ඡා කළ යුතු-අත්හදා බැලිය යුතු ‘ඉගෙනුම් උත්තේජක’ නිපදවයි. එම උත්තේජක යනු ශිෂ්‍යයන් විසින් හදාරා-සාකච්ඡා කර අවබෝධ කර ගත යුතු, ලිඛිත/ මුද්‍රිත ලිපි ලේඛන, ප්‍රායෝගික සංසිද්ධි ගෙන හැර දක්වන වාර්තා හෝ ශිෂ්‍යයන් විසින් අත්හදා බැලිය යුතු ක්‍රියාකාරකම් විය හැකි ය. ශිෂ්‍යයෝ, කුඩා කණ්ඩායම් වශයෙන්, ගුරුවරයා විසින් නිර්මාණය කරන උත්තේජක අත්හදා බලති. එසේ අත්හදා බැලීම් හා සාකච්ඡා කිරීම්වලට ගුරුවරයා සෘජු ව දායක වේ. එහි දී ශිෂ්‍යයන් වැරදියට අවබෝධ කර ගත් යමක් වේ නම් හෝ ශිෂ්‍යයන් හට අවබෝධ කර ගැනීමට අසීරු යමක් වේ නම් ඒවා ගුරුවරයා විසින් පහදා දී නිවැරදි කරනු ලබයි. එසේ ම ගුරුවරයා, පාඩමේ නිර්දේශිත ඉගෙනුම් ඉලක්ක හා ඉගෙනුම් ඵල, ශිෂ්‍යයන් විසින් සාක්ෂාත් කර ගෙන ඇත්දැයි නිරතුරු ව ඇගයීමකට ලක් කරයි.

ඉහත පැහැදිලි කිරීමෙන් ගම්‍ය වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ගුරුවරයාගේ කාර්යභාරය ඛෙලහීන වනවාට වඩා තවදුරටත් ප්‍රබල වී, වඩාත් නිර්මාණශීලී හා ආස්වාදජනක ගුරු වෘත්තියකට මග පෑදෙන බවයි. එවන් අධ්‍යාපන ක්‍රමයක් තුළ ගුරුවරුන් හා ශිෂ්‍යයන් අධ්‍යාපනයේ සම පාර්ශවකරුවන් වීමෙන්, එම දෙකොට්ඨාශයට ම තම වගකීම් හා වගවීම් අතපසු කළ හැකි නො වේ. එහෙයින් එය වඩාත් සාධනීය ප්‍රතිඵල ගෙන දෙන අධ්‍යාපන ක්‍රමයකි.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හා සාම්ප්‍රදායික ලාංකේය අධ්‍යාපන ක්‍රමය

අද ලංකාවේ පවත්නා අධ්‍යාපන ක්‍රමය, සාම්ප්‍රදායික ලාංකේය අධ්‍යාපන ක්‍රමය නො වේ. අද පවතින්නේ බටහිර යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයින් බිහි කළ අධ්‍යාපන ක්‍රමයයි. එය අද බටහිර රටවල පවා ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක නො වේ. ඒ රටවල ද අද ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දී තිබේ.

පැරණි ශ්‍රී ලංකාවේ පැවතියේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයට හාත්පසින් ම වෙනස් අධ්‍යාපන ක්‍රමයකි. එහි දී ගුරුවරයා ශිෂ්‍යයාගේ කුශලතා හඳුනා ගෙන ශිෂ්‍යයාට හැදෑරිය හැකි කඩු ශිල්ප, දුනු ශිල්ප, වාරි ශිල්ප, කෘෂි ශිල්ප ආදී විවිධ ශිල්ප උගැන්වී ය. එය අතිශයින් ශිෂ්‍ය කේන්ද්‍රීය වන්නේ, එක් එක් ශිෂ්‍යයාගේ අධ්‍යාපනික විභවයන් හා වෙනත් වුවමනා එපාකම්වලට අනුව, එක් එක් ශිෂ්‍යයාගේ ඉගෙනීමේ ක්‍රියාවලිය ගොඩ නැංවීම, පැරණි දිසාපාමොක් ක්‍රමයේ සුවිශේෂී ගුණාංගයක් වීම හේතුවෙනි. එය අද පවත්නා එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතා හඳුනා නො ගන්නා හා සියලූ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා එක ලෙස සලකන, එක ඉගැන්වීමේ හා ඉගෙනීමේ රටාවකින් සියලූ ශිෂ්‍යයන් සෑහිමකට පත් වේ යැයි විශ්වාස කරන දබැ ිස’ැ සෙඑි ්කක- අධ්‍යාපන ක්‍රමයට ඉඳුරා ම වෙනස් වේ.

එහෙයින් ඉහත පැහැදිලි කළ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වඩාත් සමීප වන්නේ එදා අප සතු වූ අපේ ම අධ්‍යාපනික උරුමයට මිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අප මත පැටවූවා වූ, ඔවුන් විසින් ම දැන් දැන් ප්‍රතික්ෂේප කරන්නා වූ, එහෙත් අප විසින් තවමත් පවත්වා ගෙන යන්නා වූ පාසල් අධ්‍යාපන ක්‍රමයට නො වේ.

ඡායාරූපය ගවේෂණ සඟරාවේ දායකත්වයෙන් මීට ඉහත දී සංවිධානය කළ “පාසල පදනම් කර ගත් පර්යේෂණ සංස්කෘතියක්” වැඩසටහනේ දී ගත් ඡායාරූපයකි. ලිපියේ අඩංගු කරුණුවලට එහි ඝෘජු සම්බන්ධයක් නොතිබිය හැකි ය

You may also like...