37_2 කොරෝනාවෙන් මතු වුණු දේශීය නව නිපැයුම්

කොවිඩ් වසංගතයත් සමඟ ම නව නිපැයුම් රැල්ලක් ද බිහි වූ අයුරු අපට පසුගිය කාල වකවානුවේ දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙවැනි නව නිපැයුම් ගැන බොහෝ තොරතුරු ද අදහස් ද හුවමාරු විණි. එලෙස බිහි වුණු නව නිපැයුම්වලට සිදු වූයේ කුමක් ද යන්න අපි මෙම ලිපියෙන් විමසා බලමු.

අපේ රටේ නව නිපැයුම්වලට අදාළ තාක්ෂණික, මුල්‍යමය සහ නීතිමය සහාය ලබා දෙන්නේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. අප මේ සම්බන්ධ ව මුලින් ම එහි කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර මහතාගෙන් අදහස් විමසුවෙමු. “කොවිඩ් සමග නව නිර්මාණ ලංකාවේ හැම තැන ම බිහි වුණා, සමාජයේ බොහෝ විට නව නිර්මාණ ගැන කතා කරන්න ගත්තා, පිටරටවල් සමග තිබෙන සම්බන්ධතා අවහිර වීමත් සමග ආනයන සීමා ඇති වුණා. ඒත් සමග ම ලංකාව ඇතුළේ අපේ ම දේවල් නිර්මාණය විය යුතුයි කියන ආකල්පය මිනිසුන්ගේ ඔළුවලට ගියා. ඒත් එක්ක ම මෙවැනි නව නිර්මාණවලට සහයෝගය දක්වන්නේ නැහැ කියලත් කතා වුණා නේ කොහොමත් අපි මෙම අවස්ථාව පාවිච්චි කළා නව නිර්මාණකරණය සමාජගත කිරීමේ ක්‍රියාවලිය සංවර්ධනය කර ගන්න. ලංකාවේ කරන නිෂ්පාදනවලට කැමැත්තක්, ඉල්ලුමක් හැදෙන්න ඕන, ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. ඒ ඉල්ලුම දිගින් දිගට ම තබා ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්ක ම මෙලෙස බිහි වන නව නිර්මාණවල බුද්ධිමය දේපළ හිමිකම ආරක්ෂා කිරීම වෙනුවෙන් ද අපි විශේෂ අවධානයක් යොමු කළා. අපි මේ කාරණා දෙකට ප්‍රමුඛත්වය දීලා මෙම නව නිර්මාණ වැටෙන්න නො දී ඉදිරියට අරගෙන යාම උදෙසා පියවර රාශියක් ගත්තා”.

නව නිපැයුම් කොමිසමේ කාර්ය මණ්ඩලය තම නිවෙස්වල සිට ම වැඩ අරඹයි

“කොවිඩ් 19”ට එරෙහි ව සටන් කරමු, යනු එලෙස කොවිඩ් 19 ආශ්‍රිත නව නිපැයුම් ඉදිරියට ගෙන යාම උදෙසා නව නිපැයුම් කොමිසම විසින් දියත් කළ වැඩසටහනයි. එම කොමිසමේ සහාය අධ්‍යක්ෂ ලක්ෂිත රත්නායක මහතා අපට එම වැඩසටහන ක්‍රියාත්මක කළ අයුරු ගැන අදහස් දක්වා සිටියේ මෙලෙසයි.
“අප ආයතනයේ සියලු අංශවල කාර්ය මණ්ඩලය එක් ව නිවාසවල සිට ම මෙලෙස බිහි වෙන නව නිපැයුම් පිළිබඳ ව තොරතුරු අන්තර්ජාල හා දුරකථන මගින් ලබා ගැනීමේ වැඩසටහන, කොරෝනා මුල් අවධියේ ම දියත් කළා. අපගේ දත්ත ගොණුවකට එම තොරතුරු ලබා ගෙන එම නිර්මාණවල ප්‍රගතිය අපි හැම දා ම වාර්තා කළා. එම නිර්මාණවල තත්ත්වය, ඉදිරියට යන්න තව කළ යුත්තේ මොනවා ද, අවශ්‍ය ද්‍රව්‍ය ගන්න උදවු කරන්න, ඇඳිරි නීති බලපත්‍ර ගන්න උදවු කරන්න, මෝල්ඩින් හදාගන්න, ඊට පස්සේ ඒවා පරීක්ෂා කරන්න රෝහල්වලට යන්න වගේ කාරණාවල දී අපේ නිලධාරින් මැදිහත් වුණා.
එම නිර්මාණ සමාජගත කරන්න සූදානම් මට්ටමකට සහ නිර්මාණයේ විභවය 95්‍%ක මට්ටමට ආවට පස්සේ අප ආයතනයෙන් විශේෂ ඇගයීම් මණ්ඩලයකට යොමු කළා. එතන දී රටේ තිබුණ අවශ්‍යතාව කුමන නව නිපැයුමට ද කියන එක අනුව එම ඇගයීම් කිරීමට ඇගයීම් මණ්ඩලය තීරණය කළා. නව නිපැයුමෙහි මූලාකෘති සෑදීමට යන වියදම ගණනය, ඉදිරි පරීක්ෂණවලට යොමු කිරීම, පරීක්ෂණ සහතිකය ලබා ගැනීම, ඉදිරි සංවර්ධනය සඳහා ආයතන සම්බන්ධ කර දීම වැනි කාරණ මෙහි දී සිදු කෙරුණා. ඇතැම් නිර්මාණවල අදහස විතරයි තියෙන්නේ, ඒවා ප්‍රායෝගිකත්වයට ගේන්න විදෙස් රටවලින් උපාංග ගෙන්වන්න වෙනවා. ඒක ඒ වෙලාවේ කරන්න අමාරුයිනේ. ඒත් ඒ අය ළඟ ඒ දැනුම තියනවා, ඉදිරියේ දී එම නව නිපැයුම් ඉදිරියට යයි.”

නව නිපැයුම් 392ක් වාර්තා වෙයි 

කොවිඩ් 19 ආශ්‍රිත නව නිපැයුම් හඳුනා ගැනීම සඳහා නව නිපැයුම් කොමිසම ක්‍රියාත්මක කළ ඉහත වැඩසටහනට අදාළ ව නව නිපැයුම් 392ක් වාර්තා වී තිබුණි. ඉන් 182ක් විශ්ලේෂණයට භාජනය කිරීමට නව නිපැයුම් කොමිසම කටයුතු කර තිබූ අතර, ඉන් නව නිපැයුම්වලින් 33ක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කර තිබුණි. නව නිපැයුම් 72ක් මුල්‍යමය හා වෙනත් සහාය ලබා දීම සඳහා තෝරා ගෙන තිබු අතර, එසේ මුල්‍යමය සහාය සඳහා රුපියල් මිලියන 12ක පමණ මුදලක් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් ලබා දී ඇත. මෙම නව නිපැයුම් අතරින් 51ක් ව්‍යාපාරික මට්ටමට ගෙන යා හැකි මට්ටමේ ඒවා බව ද නව නිපැයුම් කොමිසම සඳහන් කරයි.

 

කොවිඩ් අභියෝගයට ශ්‍රි ලාංකික විසඳුම්

කොවිඩ් අභියෝගය හමුවේ ඊට සාර්ථක ව මුහුණ දීම උදෙසා දේශීය නව නිපැයුම්කරුවන් අතින් බිහි වූ නව නිර්මාණ බොහෝ ය. විශේෂ ලක්ෂණ දරන මුහුණු ආවරණ, දැඩි සත්කාර හෝ රෝග සායනවල රෝගීන්ගේ විෂබීජ හරණ උපකරණ, අත් ස්පර්ශයෙන් තොර ව කකුලෙන් පාලනය කළ හැකි ජල කරාම, ස්වංයක්‍රිය ජල කරාම, ස්වයංක්‍රිය අත් පිරිසුදුකාරක උපකරණ, රොබෝ තාක්ෂණයෙන් නිපද වූ උපකරණ, කොවිඩ් ආසාධිත රෝගීන් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණවලට විකල්ප ක්‍රමවේද, නිරෝධායනය වන පුද්ගලයන් හෝ රෝගීන් දුරස්ථ ව අධීක්ෂණය කිරීමේ පද්ධති, උපකරණ සඳහා ආදේශක, දැඩි සත්කාර ඒකක සඳහා යොදා ගන්නා ඇඳන් ආදී කොවිඩ්වලින් ආරක්ෂා වීම සඳහා භාවිත කළ හැකි නව නිපැයුම් රාශියක් දේශීය නව නිපැයුම්කරුවන් අතින් බිහි කොට තිබුණි.

වෙද නලාවෙන් නව නිපැයුම්කරණයට

කොවිඩ් අභියෝගය හමුවේ රටේ විවිධ ප්‍රදේශවල වෛද්‍ය වෘත්තිකයෝ රාශියක් ද තමන් නියැළෙන ක්ෂේත්‍රයට අදාළ ව නව නිර්මාණ සිදු කොට තිබුණි. රෝගියකු නිර්වින්දනය කිරීමේ දී කොවිඩ් ආසාධිත රෝගියකුගේ බිඳිති මගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය සම්ප්‍රේෂණය වීමෙන් ආරක්ෂා වී දූරස්ථ ව එම කාර්යය කිරීම සඳහා නව ක්‍රමවේදයක් වරකාපොල මූලික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අනුක හේරත් මහතා විසින් සකස් කොට තිබුණි. කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජන් ශෂික ආරියරත්න මහතා වෙන්ටිලේටර් උපකරණය රෝගියාට පැළඳවීමේ දී ඔහුගේ ප්‍රාශ්වාස වාතයේ අඩංගු විෂබීජ හරණය කිරීමේ උපකරණයක් සාදා තිබුණි.

සෞඛ්‍ය වෘත්තිකයෝ ද හමුදාවෝ ද නව නිපැයුම්කරණයට

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට අනුබද්ධිත ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය සහ කොවිඩ් 19ට එරෙහි ජනාධිපති බලකායේ පර්යේෂණ සංවර්ධන ඒකකය ඒකාබද්ධ ව නව නිපැයුම් එළි දැක්වීමේ උත්සවයක් පසුගිය වසරේ දී පැවැත්වුණු අතර, ඊට කොවිඩ් අර්බුදයට මුහුණ දීම උදෙසා සෞඛ්‍ය වෘත්තිකයන් විසින් කළ නව නිපැයුම් 30ක් එක් කොට තිබුණි. යුධ හමුදා මූලස්ථානය විසින් ද නව නිපැයුම් එළි දැක්වීමේ උත්සවයක් සංවිධානය කොට තිබුණු අතර, ඊට යුධ හමුදා යාන්ත්‍රික අංශය විසින් කොවිඩ් වෛරසය පාලනය සඳහා කළ නව නිපැයුම් හා ප්‍රති නිපැයුම් රාශියක් එක් කොට තිබුණි. අතේ ගෙන යා හැකි විෂබීජ නාශක ලාම්පුව, මතුපිට විෂබීජ නාශක කුළුණ, ගමන් මළු විෂබීජ නාශක වාහකය, වාතාශ්‍රය සඳහා විකල්ප ශ්වසන යාන්ත්‍රණය, එළිමහන් විෂබීජ නාශක රොබෝ, ආරක්ෂිත පූර්ව ලියාපදිංචි තක්සේරු පෙට්ටිය, විෂබීජ නාශක තාප කුටිය ආදී නව නිපැයුම් රාශියක් ඊට ඇතුළත් ය.

ස්වයංක්‍රිය අත් විෂබීජ හරණ උපකරණයට ඉහළ ඉල්ලුමක්

කොරෝනා වෛරස් අංශූ තැවරුණු අයෙක් සැනිටයිසර් බෝතලය අතින් ඇල්ලූ විට ඉන් තවත් අයකුට රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇත. එම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් අපේ රටේ නව නිපැයුම්කරුවෝ දෙදෙනක් එක් ව අත ළං කරන විට ස්වයංක්‍රිය ව සැනිටයිසර් නිකුත් වන උපකරණයක් සාදා තිබුණි. නිලුපුල් නුවන් සෙනෙවිරත්න වයඹ විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. කාංචන අරුණ කුමාර පෙරේරා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයකු වන අතර, ඔවුන් දෙදෙනා සුසංයෝගයෙන් නිර්මාණය කළ රොබොටෙක්නිකා අත් සනීපාරක්ෂක යන්ත්‍රය කොවිඩ් 19ත් සමග ම ඊට මුහුණ දීම උදෙසා බිහි කළ විශිෂ්ට නිර්මාණයක් බව කිව හැකි ය.

පානදුර මූලික රෝහලේ වෛද්‍ය ටමිෂ්ක අරාපොළ ඇතුළු වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්ෂණය ද වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ ආචාර්යවරුන්ගේ දූරස්ථ අධීක්ෂණය ද මීට ලැබුණු බව අප කළ විමසීමේ දී නිලුපුල් නුවන් සේනාරත්න පැවසී ය. මෙවැනි ආකාරයේ උපකරණ රාශියක් වෙළෙඳපොළෙහි මේ වන විට දක්නට ඇති නිසා මෙහි ඇති සුවිශේෂත්වය අපි නිලුපුල්ගෙන් ඇසුවෙමු. “ඔව්, චීන නිෂ්පාදන කීපයක් ම ලංකාවේ අලෙවි වෙනවා. ලංකාවේ තවත් ආයතන කිපයකින් ම මෙවැනි උපකරණ නිෂ්පාදනය කරනවා. මේකේ ඒවාට වඩා වෙනස් ගුණාංග කීපයක් තියනවා. මේ උපකරණය නැවත නැවත ආරෝපණය කිරීමේ හැකියාව, එක් වරකට නිකුත් වන ද්‍රාවණය ප්‍රමාණය කොපමණ ද, නැවත පිරවීම් කිරීමේ පහසුව, බැටරි බලයේ ආයු කාලය වැඩිවීම ආදී කරුණු නිසා මේ ආකෘතියට පේටන්ට් එක අපට ලැබී තිබෙනවා.”
ජපානයේ, තෝකියෝ හි ශිබෝරා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චින්තක ප්‍රේමරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම උපකරණය අධික කොරෝනා වෛරස අවදානමක් සහිත මෙරට රෝහල්වලට නොමිලයේ උපකරණය ලබා දීමේ වැඩසටහනකට අනුව මෙම උපකරණය නොමිලයේ ලබා දෙන බව ද එසේ ම වෙන ම නිෂ්පාදනය කොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ද මේ වන විට සාර්ථක ව පවත්වා ගෙන යන බව ද නිලුපුල් සේනාරත්න තරුණ නව නිපැයුම්කරුවා අප සමග පැවසී ය.කොරෝනා රෝගීන්ට ආහාර/ඖෂධ ලබා දීමට රොබෝ තාක්ෂණය
කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වූ මුල් වකවානුවේ, කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ආහාර ලබා දීම හෝ කැළි කසළ එකතු කිරීම වැනි කාරණා මුල් කර ගෙන අපේ රටේ තරුණ ඉංජිනේරුවරු තිදෙනෙක් එක් ව නව නිපැයුමක් සකස් කොට තිබුණි. සහන් සී රණසිංහ, අනුරුද්ධ තෙන්නකෝන් හා බුද්ධික මාරසිංහ යන තිදෙනා එක් ව එම නිපැයුමේ අයිතිකරුවෝ තිදෙනා වෙති.
එම නව නිපැයුමේ වත්මන් තතු දැන ගැනීම සඳහා අපි සහන් සී රණසිංහ මහතා ව සම්බන්ධ කොට ගත්තෙමු. “මුල් දවස්වල කොවිඩ් වෛරසයේ හැසිරීම පිළිබඳ ව තිබුණු දැනුම ගොඩක් අල්ප වුණා. විශේෂයෙන් මුල් කාලයේ රෝගීන්ට ආහාර ලබා දීම, ඖෂධ ලබා දීම, කසළ එකතු කිරීම වැනි අවශ්‍යතා ඉටු කර ගැනීම උදෙසා මෙම උපකරණය නිර්මාණය කළා. නව නිපැයුම් කොමිසමෙන් අපට ඒ සඳහා මුල්‍යාධාර, පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා සහාය හිමි වුණා. අපි ඒ දවස්වල තිබුණු අවශ්‍යතාව මත එම උපකරණය නිර්මාණය කරලා වැලිසර රෝහලට බාර දුන්නා. එහෙත් කොවිඩ් වෛරසයේ හැසිරීම ගැන බොහෝ දුරට කරුණු අනාවරණය වීමත් සමග මෙවැනි උපකරණයක අවශ්‍යතාව එතරම් අවශ්‍ය නො වූ බැවින් එය නවෝත්පාදනයක් දක්වා ගියේ නැහැ.”

පී.සී.ආර්. පරීක්ෂණයට විකල්ප ක්‍රමවේදයක්

ආසාධිත රෝගීන් හඳුනා ගැනීම සඳහා කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයට ඉතා වැඩි මුදලක් වැය වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අඩු මුදලකින් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ ව පසුගිය දා සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණි.
“පී.සී.ආර්. වැනි පරීක්ෂණ අපි වගේ දුප්පත් රටකට ඉතා ම සංකීර්ණයි; මිල වැඩියි; පර්යේෂණ උපකරණ සීමිතයි; පරීක්ෂණ සඳහා වැයවන කාලය වැඩියි වැනි විවිධ ප්‍රශ්න ඇති වන බවට අපට අත්දැකීම් ලැබුණා. මේ නිසා මම පරීක්ෂණ රැසක් සිදු කළා වෙනත් ක්‍රමවේදයක් ආදේශ කළ හැකි ද යන්න සොයා බැලීමට. ඒ මොහොතේ මට දැනගන්න ලැබුණා ‘ලෑම්බ්’ කියන තාක්ෂණය. මෙම තාක්ෂණය යටතේ ඩී.එන්.ඒ. තහවුරු කිරීම සඳහා අපි පෙර කාලයේ මෙය භාවිත කර තිබෙනවා. එහෙත් කොවිඩ් කියන්නේ ආර්.එන්.ඒ. වෛරසයක්. එවිට අපට ආර්.එන්.ඒ., ඩී.එන්.ඒ. බවට පිටපත් කරලා ඒ අනුව පර්යේෂණ කරන්න සිදු වෙනවා.

පී.සී.ආර්. පර්යේෂණයක දී තාක්ෂණික ක්‍රමවේදය ඉතා සංකීර්ණයි. එහෙත් මෙම ලෑම්බ් පර්යේෂණ සංකීර්ණ නැහැ. යන්ත්‍ර සූත්‍ර උපකරණ කිසිවක් භාවිත නො කර සාමාන්‍ය පියවි ඇසින් පරීක්ෂා කළ හැකි මෙම පරීක්ෂණ ක්‍රමවේදය සඳහා යොදා ගන්නා මිනිස් පටක මුල් අදියරේ දී රෝස පැහැයෙන් පරීක්ෂා කෙරෙනවා. වෛරසය ආසාදනය වී ඇත්නම් අපට කහ පැහැයක් ඇති කරමින් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරනවා. මෙතන දී සිදුවන්නේ උෂ්ණත්ව පාලනයක්. මේ සඳහා වැය වන්නේ විනාඩි තිහක් වැනි කාලයක්.
මෙම උපකරණ කට්ටලය සකසා ගැනීම සඳහා අපි ඉතා සුදුසු ආයතනයක් සම්බන්ධ කර ගත්තා. විශ්වවිද්‍යාල මගින් නව නිපැයුම් කොතරම් හොයා ගත්තත් තවත් ආයතනයක් සමග සම්බන්ධ වෙලා ඉදිරියට ගෙනියන්න බොහෝ දෙනා උනන්දු වෙන්නේ නැහැ. අපි ඒ තැන නතර නොවී තවත් ආයතනයක් සමග සම්බන්ධ වුණා. මේ සඳහා පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කළ යුතු වෙනවා. අපි මේ සියලු තත්ත්ව සම්පූර්ණ කළා. විශ්වවිද්‍යාලය තුළ නව නිපැයුම් සඳහා ඊඛෂෂඔඔධ ආයතනය ද බොහෝ සහාය වුණා.
මේ සඳහා මා සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල සහ මහනුවර ජාතික රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල යන මහත්වරු දැඩි කැප වීමක් කළා. එයට අමතර ව පශු මහජන කථිකාචාර්ය තරින්දි අතපත්තු සහ පරීක්ෂක සහාය රොෂේන් නීලවෙල යන අය ලොකු සහායක් ලබා දුන්නා. උපකුලපති උපුල් බී. දිසානායක, නියෝජ්‍ය උපකුලපති පරාක්‍රම කරුණාරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ බ්ලිඉටෝ ආයතනයේ මහාචාර්ය දර්ශන යාපා මහතා විශාල සහායක් ලබා දුන් බව නොකියාම බැහැ.
අපි ඉදිරියේ දී ඛේඨය මගින් පර්යේෂණ සිදුකරන ක්‍රමයකට යනවා. එය තවමත් සායනික මට්ටමේ පමණයි පවතින්නේ. එහෙත් ඉතා ඉක්මනින් ඛේඨය මගින් සිදු කරන පර්යේෂණය සමාජගත වෙනවා. එය තවත් සරල පරීක්ෂණයක් විය හැකියි.”ලොව හොඳ ම මුව ආවරණය අපේ රටෙන්
මෙතෙක් ලොව බිහි වූ වයිරස් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව 99.9%ක් ඇති මුව ආවරණයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සමත් වීම අපේ රට ලෝකය ඉදිරියේ තැබූ සුවිශේෂ පියවරකි. සම්පූර්ණයෙන් ම කපු රෙදි භාවිත කරමින් නිපදවා ඇති මෙම මුව ආවරණය සතු විශේෂතා ගණනාවකි. අනෙකුත් මුව ආවරණවලින් වෛරස අංශු ඇතුළු වීම සහ පිටවීම වැළැක්වීම වෙනුවට මෙහි දී සිදු වන්නේ වෛරස අංශු විනාශ කර දැමීමයි.
මෙම මුව ආවරණයේ පස් ආකාරයකට කොරෝනා වෛරස පමණක් නො ව ඕනෑ ම වෛරසයක් විනාශ වන බව එම පර්යේෂකයෝ පවසති. කපු රෙදි භාවිත කර ස්ථර තුනක් පවතින සේ නිපදවා ඇති මෙම මුව ආවරණය නැනෝ තාක්ෂණය ද රසායනික විද්‍යා තාක්ෂණය ද මුසු කර ගත් මුහුණු ආවරණයකි. ‘RESPIRONE NANO AV 99’ ලෙස නම් කොට ඇත. මෙම නව නිර්මාණය කිරීමට පර්යේෂක කණ්ඩායමට වසරකට අධික කාලයක් ගත වී ඇත. මෙම නිපැයුමෙන් 99.9%ක ආරක්ෂාවක් ලැබෙන බවට එහි ප්‍රධාන පර්යේෂක ගාමිණි රාජපක්ෂ මහතා පවසයි. දැනට ලෝකයේ හොඳ ම එක විධියට සලකන ‘එන්-95’ මුව ආවරණයෙන් පවා ආරක්ෂා වන්නේ 95%ක ප්‍රතිශතයකි. නෙළුම් කොලයේ වතුර නොහිටින පරිදි, මේ මුව ආවරණය මතුපිට පතිත වූ වෛරස් අංශු රැඳීමක් සිදු නොවේ.
මෙම මුව ආවරණය නිර්මාණය කිරීමට පෙරමුණ ගත් මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතාගෙන් අපි මෙම නව නිපැයුමේ නවතම තතු විමසීම සඳහා එතුමන් ව සම්බන්ධ කර ගත්තෙමු. “මෙහි නිෂ්පාදන කටයුතු මේ වන විට පෞද්ගලික ආයතනයක් මගින් සිදු වෙනවා. මේක අපි විශ්වවිද්‍යාලයෙන් කරපු නව නිර්මාණයක් නිසා මෙහි විකිණුම් කටයුතු සිදු වෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසිනුයි. මේ වෙන කොට ඔවුන් බෙදා හැරීම් ලංකාව පුරා සිදු කොට සතොස වෙළෙඳසැල් ජාලය හරහා මහජනතාවට අලෙවි කිරීම සිදු වෙනවා. රුපියල් 200ක මුදලකට තමා එය අලෙවි වෙන්නේ”.
නැනෝ තාක්ෂණය ද මුසු කර ගෙන අපේ ම විද්‍යාඥයන්ගේ නව දැනුමෙන් නිපද වූ මෙම මාස්ක් එක පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මනා පිටුවහලක් වනවා සේ ම පරිසරයට එක් වන කසළ ප්‍රමාණයට ද විසඳුමක් ලැබී ඇත. මෙය පරිසර හිතකාමී මුව ආවරණයකි. මේ මත පතිත වන වෛරස් අංශු විනාශ වී යාමට ලක් වන අතර ම, පරිසරයට මුදා හැරි විට කෙටි කාලයක දී ක්ෂුද්‍ර ජීවින් විසින් ජීරණයට ලක් වේ. කොවිඩ් 19 සමග පරිසරයට බරක් වී ඇති මුව ආවරණ කසළවලට මෙය අගනා විසඳුමකි. මේ ආකාරයේ මුව ආවරණයක් ලොව වෙනත් තැනක මේ තාක් නිපදවී නොමැති වීම නිර්මාණයේ ඇති විශිෂ්ට බවට කදිමට සාක්ෂ්‍ය සපයයි. එය පරිසරයට මුදා හැරියත් එහි වෛරස අංශූ අඩංගු නො වන බවට සහතික විය හැකි බව එම පර්යේෂකයෝ තහවුරු කරති.
මෙම නව නිපැයුමට ලංකාවේ පේටන්ට් බලපත්‍රය විශ්වවිද්‍යාලයට ලැබී ඇතත්, අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රයක් නොමැත. මේ තත්ත්වය නිසා චීනය වැනි රටවලින් මේ තාක්ෂණය භාවිතයෙන් මුව ආවරණ සාදා අපට ම එවනු ඇති දැයි අපි මහාචාර්ය ගාමිණි රාජපක්ෂගෙන් විමසුවෙමු. “ඔව් එහෙම කළ හැකියි, එවැනි අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රයක් ගන්න තරම් අපේ විශ්වවිද්‍යාලවලට මුදල් නැහැ. එක අතට එහෙම වුණත් කමක් නැහැ මොකද ඉන්දියාවේ තත්ත්වය එහෙම අපට පේනවා නේ; අපිට ඒ වගේ ඉල්ලුමකට සැපයුම දෙන්න තරම් විධියක් මේ මොහොතේ නැහැනේ” යැයි එතුමා පවසයි.
මෙය නිර්මාණය කිරීමේ දී මහාචාර්ය ගාමිණි රාජපක්ෂට විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න, ගයාන් තිලකරත්න, චරක ජයසිංහ, රුවන් නානායක්කාර, නිරෝෂන් නිරෝෂන් සමරසිංහ යන අය සහයෝගය ලබා දී ඇත.  වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඝෘජු මැදිහත් වීම අතිශයින් ම මීට ලැබුණු බවත් එම නිසා මෙය වෙළෙඳ පොළට ඉක්මනින් නිකුත් කිරීමේ හැකියාව ලැබුණු බවත් මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ගෞරවයෙන් යුක්ත ව සිහිපත් කර සිටී.

මෙවන් ගෝලීය ව්‍යවසනයකට මුහුණ දෙනු ලබන අවස්ථාවක දී තමන් නියැලෙන ඕන’ෑම ක්ෂේත්‍රයකින් නව දැනුම ලොවට දායාද කිරීමේ, ජන සමාජයේ උන්නතියට දායක කිරීමේ හැකියාව ඇත. ගෝලීය කොවිඩ් ව්‍යවසනය හමුවේ ඊට මුහුණ දීම උදෙසා ඔබ විසින් කළ නව නිපැයුම්, ප්‍රති නිර්මාණ හෝ නිර්මාණාත්මක අදහස් වෙතොත් අප වෙත එවන්න. එවැනි දේ සඳහා සඟරාවේ ඉඩ වෙන් කිරීමට අප නිබඳ ව සූදානම්.

සටහන : අරුණ ප්‍රශාන්ත වලිසුන්දර

(ගවේෂණ සගරාව-2021 අප්‍රේල්-ජුනි කලාපය)

You may also like...