37_13 පාසල් සිසු සිසුවියන් පර්යේෂකයන් බවට – කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයයේ පාසල් සිසු සිසුවියන්ගේ

මප/කොත්/ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලය විසින් සංවිධානය කර තිබූ  “Deltian Sci-Eye” අධ්‍යාපනික පර්යේෂණ එළි දැක්වීමේ සමුළුව පසුගිය 30 වෙනි දා විද්‍යාලයිය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. විදුහලේ හිටපු විදුහල්පතිතුමාගේ නමින් ගොඩ නැගුණු ”සරත් දයානන්ද අධ්‍යාපන පර්යේෂණ මධ්‍යස්ථානය” එතුමාගේ සුරතින් විවෘත කිරීම ද මීට සමගාමී ව සිදු කෙරිණි.


මුඛ්‍ය දේශක මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය කලණ මාදුවගේ, ආචාර්ය ජයන්ත වත්තේවිදානගේ, ආචාර්ය ශාමින්ද වනසිංහ, ආචාර්ය වෝල්ටර් සෙනෙවිරත්න, ආචාර්ය සුභද්‍රා විජේසේකර, ආචාර්ය දිල්රුක්ෂි රණතුංග සහ අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. පිහිල්ලේගෙදර යන විද්වත් මඬුල්ල ඉදිරියේ ඩෙල්ටා පාසලේ සිසු සිසුවියන් 22 දෙනෙක් මෙහි දී තම පර්යේෂණවල අනාවරණ එළිදැක්වූහ. විදුහලේ ගරු විදුහල්පති ජී. ජී. කුසුම්සිරි මැතිතුමන්ගේ සංකල්පය සහ මගපෙන්වීම යටතේ, විදුහලේ පර්යේෂණ අංශ ප්‍රධානී සාගරිකා ගුණතිලක මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ තනි පාසලක සිසු දරුවන්ගේ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය වූ එවැනි ආකාරයේ අතිශය ප්‍රථම සමුළුව බව, මේ සඳහා ශාස්ත්‍රීය මග පෙන්වීමෙන් දායක වූ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ හා සැලසුම් පීඨයේ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු මැතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහි දී තම පර්යේෂණ එළිදැක්වූ සිසු සිසුවියන්ගේ පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ ඉදිරිපත් කිරීමේ ප්‍රමිතිය අතිශය ප්‍රශස්ථ මට්ටමක පැවති බව පැමිණ සිටි විද්වත් මණ්ඩලයේ අදහස විය.


වයස අවුරුදු 8ක කුඩා සිසුවියකගේ පර්යේෂණයක් පවා අඩංගු වූ මෙම සමුළුව සහ “විදක්ෂි” පර්යේෂණ සඟරාව මගින්, එම අංකුර පර්යේෂකයින්ගේ අනාගතයට අතිශයින් වැඩදායක වන පෞරුෂ වර්ධනයක් සහ පර්යේෂණාත්මක අඩිතාලමක් ලැබුණු බවත්, වැඩ ලෝකයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීම සඳහා සමස්ථ ශ්‍රී ලාංකික පාසල් පද්ධතිය තුළ ම මෙය ආදර්ශ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක විය යුතු බවත් මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය කලණ මාදුවගේ, සහ ජාතික විද්‍යා පදනම සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මේ සඳහා සහභාගි වූ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියලු දෙනාගේ විද්වත් මතය විය.

 

You may also like...