සිංහල ගීතය පිළිබඳ සංගීතවේදාත්මක විග‍්‍රහයක් 3

ආචාර්ය මනෝජ් අලවතුකොටුව, ලලිත කලා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

සිංහල ගීතය කෙරෙහි බටහිර සංගීත ශෛලීන් හි ආභාසය

ව්‍යවහාර සංගීත ක‍්‍රමයේ ප‍්‍රධාන ශාඛාවක් ලෙස බිහිව ව්‍යාප්ත වූ ගීතය ආකෘතිය  අතින් වෙනත් සංගීත සම්ප‍්‍රදායයන්ගේ ලක්ෂණවල ආභාසයෙන් ද පෝෂණය වුණි. නිර්මාණකරණයේ දී බටහිර ගායන ශෛලීන්හි අංග ලක්ෂණ මෙරට නිර්මාණ ශිල්පින් විසින් යොදාගනු ලැබුණි. ඒ අතර පෘතුගීසින්ගෙන් පැවත එන්නේ යැයි සැලකෙන බයිලා, කපිරිඤ්ඤා, මාඤ්ඤ වැනි ජන සංගීතාංගවල අන්තර්ගත ලක්ෂණත්, ස්පාඤ්ඤ (Spanish) රොක් ඇන්ඞ් රෝල් (Rock’n Role), Country and Western, ලතින් ඇමරිකානු (Latin American) සහ ජෑස් (Jazz) වැනි ශෛලීන්හි ලක්ෂණ ද ශ‍්‍රී ලාංකේය ගීතයේ ආකෘතිය කෙරෙහි බලපා ඇති බව පෙනේ.

 

බයිලා, කපිරිඤ්ඤා, මාඤ්ඤ සංගීත ශෛලියේ ආභාසය

බයිලා, කපිරිඤ්ඤා සහ මාඤ්ඤ වැනි සංගීතාංග පෘතුගීසින්ගෙන් පැවත එන ජන සංගීත ශෛලීන් ලෙස හැ`දින්වෙන අතර එවැනි සංගීත ක‍්‍රම ගායනය විෂයෙහි මෙන් ම වාදනය විෂයෙහි ද ප‍්‍රධාන වශයෙන් බලපෑ බව පෙනේ. ශ‍්‍රී ලාංකේය ගීත නිර්මාණ සඳහා මෙවැනි රාග තාල සහ රිද්ම රටාවලින් ද ආභාසයක් ලැබුණු බව පෙනේ.

උදා :-  1. මායාවෝ අකලි මකුව… ගීතය නිර්මාණය කොට ඇත්තේ මායාවෝ අකලිමකුව… නම් මාඤ්ඤ ගීතය අනුව ය.

  1. ඉස්සර ආදි කාලෙ වයන වියෝලේ… ගීතය කපිරිඤ්ඤා ගායන ආභාසය අනුව නිර්මාණය කොට තිබේ .
  2. “සිහ ශක්ති” කණ්ඩායම ගයන පරසිදු කරලියද්ද… වැනි ගීත නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය.

 

ඒ අතර ම අවශ්‍යතා මූලික කොට ගෙන ද මෙවැනි බයිලා සහ කපිරිඤ්ඤා ආභාසය සහිත ගීත නිර්මාණය කොට ගත් අවස්ථා ශ‍්‍රී ලාංකේය ගීත සාහිත්‍යයෙන් හමුවේ .

 

උදා :-   1. “සංදේශය” චිත‍්‍රපටය ස`දහා සුනිල් සාන්ත නිර්මාණය කළ පෘතූගීසිකාරයා රටවල් අල්ලන්න ශූරයා… ගීතය, චිත‍්‍රපටයේ අවස්ථාවකට අදාල ව නිර්මාණය කොට ගත් ගීතයක් ලෙස  සඳහන් කළ හැකි ය.

  1. නන්දා මාලනීගේ “පවන” කැසට් පටයේ එන නිදහස් බයිලා… නම් ගීතය ද එවැනි අවස්ථාවක් නිරූපණය කිරීම වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකි.
  2. “භාග්‍යා” ටෙලි නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ ආජු තපර ලාහිලා…

ආදී ගීත නිදසුන් ලෙස දැක්විය හැකි ය.

 

කපිරිඤ්ඤා ගීත ශෛලියෙහි ආභාසය වර්තමාන සිංහල ගීත ක්ෂේත‍්‍රයේ පවා විද්‍යාමාන වේ. ඒ අතර ම කපිරිඤ්ඤාවේ වාදන ශෛලියේ ස්වරූපය ද බොහෝ සිංහල ගීත ස`දහා යොදා ගෙන තිබේ.

 

උදා:- නන්දා මාලනිගේ සූකිරි බටිල්ලන්ගේ… ගීතයේ හදුන්වාදීමේ වාදනයෙහි මෙම ලක්ෂණය දක්නට ලැබේ.

 

කපිරිඤ්ඤා ගීත වාදනයේ දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ස්වර සංඝාත වාදනය කිරීමයි. කපිරිඤ්ඤා ශෛලිය අනුව මෙරට දී නිර්මාණය කළ ගීතවල දී පවා ස්වර සංඝාත වාදනය කරීම දක්නට ලැබේ. සූකිරි බටිල්ලන්ගේ… ගීතයේ හදුන්වාදීමේ වාදනයේ එම ලක්ෂණය දැකිය හැකි වේ. එවැනි අවස්ථාවල දී වාදන භාණ්ඩ වශයෙන්  යොදාගෙන ඇත්තේ ද වයලීනයයි.

 

ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශය පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ගෝවෙහි “කොන්කනි” ජන ගීතවලට (Konkani songs) ද බටහිර සංගීත ලක්ෂණ මිශ‍්‍ර වුණි. ගෝව ප‍්‍රදේශයේ ආගමික ගායනාවලට පවා (හින්දු හා කිතුණු) බටහිර සංගීතාංග මිශ‍්‍ර වී තිබේ. ශ‍්‍රී ලාංකේය ගායකයින් මෙවැනි කොන්කනි ගීත පවා “බයිලා ගීත” ලෙස ගායනය කර තිබේ.

 

උදා:- ඉන්ද්‍රාණී පෙරේරා සේන ඩෙස්මන් ද සිල්වා ගයන යේ යේ කැතරිනා… ගීතය කොන්කනි භාෂාවෙන් ගැයෙන්නකි.

 

මෙවැනි සාම්ප‍්‍රදායික ජන ශෛලීන් පාදක වූ නිර්මාණවලට අමතරව 6/8 රිද්ම රටාව අනුව නිර්මාණය කරනු ලැබූ ගීත ”බයිලා ගීත” ලෙස අර්ථ දක්වන්නට යෙදුණු බව පෙනේ. එවැනි ගීතවල අතරින් පතර පෘතුගීසි වචන ද යොදා ගෙන තිබේ. මීටත් පෙරාතුව සිට ම ඉංග‍්‍රීසි ගීතවල නාද රටාවන්ට සිංහල වචන යොදා ගායනය කරන ලද අතර එවැනි ගීත ද බයිලා ලෙස හඳුන්වා තිබේ (Abeywicrama, 2006:  21-23).

 

උදා:-    1. වොලි බැස්ටියන් ගයන හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක… ගීතය ජර්මන් ජාතික සංගීතඥයකු වූ Charles C. Sweeley (1901) විසින් රචිත Repasz Band තනුව අනුව රචනා කර තිබේ (Abeywicrama, 2006: 21-23).

 

  1. Lovely bunch of coconut තනුව අනුව රචිත මාව බැන්දේ දුක් වි`දින්නදෝ මහ පාර මැද්දේ රන්ඩු දැන් මොකෝ්… (Abeywicrama, 2006: 21-23).

 

මෙවැනි ගීතවල සාම්ප‍්‍රදායික බයිලා ගීතවල ඇති ලක්ෂණ ප‍්‍රකට නොවෙතත් වේග රිද්මයට නිර්මාණය වූ ගීත “බයිලා” වශයෙන් හැදින්වීමට පෙළඹීම මෙරට දී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මෙවැනි ගීත අර්ථ දැක්වීම කෙරෙහි මූලික ව බලපා ඇත්තේ රිද්මය හෙයින් සංගීත නිර්මාණයක් රිද්මය පමණක් පාදක කොට ගෙන වර්ග කිරීම යෝග්‍ය නො වේ. එබැවින් මෙවැනි ගීත “බයිලා” ලෙස අර්ථ දැක්වීම සාවද්‍ය ය.

 

ආර්. ඒ. චන්ද්‍රසේන නිර්මාණය කළ විලේ මලක උපන්නේ… ගීතය ගුවන් විදුලියේ වර්ග කොට තිබුණේ බයිලා ගීතයක් ලෙසින් හා බයිලා ගී තීරයේ පමණි. ඊට හේතුව වූයේ මෙම ගීතය 6/8 රිද්ම රටාවට අනුව නිර්මාණය වීම ය. මේ පිළිබ`ද ව පර්යේෂණයක් පැවැත්වීම ස`දහා ඒලියන් ද සොයිසාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කරන ලදි (ආරියරත්න, 1997: 103).

 

බයිලා සහ කපිරිඤ්ඤා පිළිබඳ ව විග‍්‍රහ වන සෑම ලිපියක ම සඳහන් වන්නේ අදාළ ශෛලිය 6/8  රිද්මයට ගයනා කරන බවයි. එහෙත් එය සාවද්‍ය ය. බයිලාවල දී යොදා ගැනෙන්නේ ද 3/4  රිද්ම රටාව ම වේ. 3/4  රිද්ම රටාව වාදනය කරන්නේ Syncopated3

ක‍්‍රමයට ය.

 

මෙලෙසින් නිර්මාණය වූ බයිලා ගීත පසුකාලීන ව චිත‍්‍රපට ගීත හා ගුවන් විදුලි ගීත මගින් ද ප‍්‍රචාරය වූ අතර ඒ ඇසුරින් බයිලා ගායකයෝ පිරිසක් ද බිහි වූහ. බයිලා නමින් හැදින්වුණු ගීතවල විශේෂත්වය වූයේ එහි ආකෘතිය හා රිද්මයයි. මහාචාර්ය සුනිල් ආරියරත්න (1999: 124-128)පවසන්නේ 18 වන සියවසෙන් ආරම්භ වන නාඩගම් කලාවේ සිට නූර්තිය, ගුවන් විදුලිය වැනි යුග පසු කරමින් නූතන බයිලා සහ කපිරිඤ්ඤා පැවත එන බවයි.  ඔහු එසේ පවසන්නේ ගී පද රචනා මූලික කොට ගෙන බව ද පෙනේ. එහෙත් එවැනි ගීතවල පද රචනය මූලික ව සංගීතමය ශෛලිය පිළිබ`ද ව විග‍්‍රහ කිරීම සාවද්‍ය වන අතර නාද රටාව සහ ශෛලිය අනුව වර්ගීකරණය කරන්නේ නම් ඊට වඩා වාස්තවික බවක් තිබෙනු ඇතැයි හැෙඟ්. කෙසේ වෙතත් පසුකාලීන ව නිර්මාණය කෙරුණු වේග රිද්ම ගීත සියල්ලක් ම පාහේ බයිලා නමින් හැ`දින්වූ බව ද පෙනේ. එවැනි ගීත ගැයූ ගායකයින් පවා බයිලා ගායකයින් ලෙස හඳුන්වා තිබේ 4.

 

ඒ අතර ම එවැනි වේග රිද්ම ගීතවලට ද සරල ගී ශෛලියේ ලක්ෂණ ආදේශ වී තිබේ. සරල ගීතයේ සංගීත ආකෘතිය ගුරු කොට ගැනීම ඊට හේතු වූ ප‍්‍රධාන ලක්ෂණය වේ. 1950-60 වසරවල දී බයිලා ගායකයින් නමින් හැඳින්වුණු වේග රිද්ම ගී ගැයූ ගායකයින්ට ද ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණි පිරිනැමීම මේ සදහා බලපෑ හේතුවක් ප‍්‍රධාන විය (කරුණානායක, 1990: 210-211). මේ නිසා ම එම්.එස් ප‍්‍රනාන්දු වැනි  ගායකයින් සරල ගීත ගායනයට යොදා ගනු ලැබුණි. එම හේතුව නිසා බයිලා යැයි හැඳින්වූ ගීතවලට සරල ගීතවල ලක්ෂණ පැමිණීමත් සරල ගීතවලට බයිලා ගීතවල ලක්ෂණ පැමිණීමත් දක්නට ලැබුණී.

1 මෙය මකුලොලූවගේ පහනින් පහන මුද්‍රා නාට්‍යයේ  ඇතුළත් වූ ගීතයකි. එහෙත් එය ප‍්‍රචලිත ව ඇත්තේ සරල ගීතයක් ලෙසිනි.

2. අවශ්‍යතා මූලික නොවුණත් මඩකළපුව පෙදෙසෙහි වෙසෙන කාපිරි ජනයා ද නවතම ගීත නිර්මාණය කර ගත් බව එම්ගඑච්ගගුණතිලක (1978: 218) පවසන අතර තෑර ඉස්ත තෑර… නම් ගීතය එලෙස නිර්මාණය කර ගන්නා ලද ගීතයක් ලෙස හඳුන්වා තිබේ. මෙම ගීතය ගායනය කෙරෙන්නේ එම්.එස් ප‍්‍රනාන්දුගේ රස ආහර කවලා… ගීතයේ තනුව අනුව ය

3.Syncopated ක‍්‍රමය යටතේ රිද්ම රටාව වැයීමේ දීඅදාළ රිද්මයේ පළමු මාත‍්‍රාවට මූලිකත්වය ලබා නොදෙන අතර දෙවන හා හතර වන මාත‍්‍රාවලට ප‍්‍රමුඛත්වය ලබා දෙ.

4. ක්ලැරන්ස් විජේවර්ධන බයිලා ගායකයකු නොවුණ ද Wikipedia ශබ්ද කෝෂයේ පවා ඔහු හඳුන්වා ඇත්තේ බයිලා ගායකයකු ලෙසිනි  (http://en.wikipedia.org/wiki/Baila  2007.05 15).

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

ආරියරත්නල සුනිල්.,1997. ගාන්ධර්ව ආපදාන-3 සමරදිවාකර සහ චන්ද්‍රසේන. කොළඹ , ඇස්ගගොඩගේ සහ සහෝදරයෝ.

ආරියරත්නල සුනිල්., 1999. බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්. දෙවැනි මුද්‍රණයග කොළඹ. ඇස්ගගොඩගේ සහ සහෝදරයෝ.

අලවතුකොටුවල මනෝජ්ගල 2009. විසි වන සියවස තුළ ලාංකේය සංගීතයේ බටහිර සංගීත ආභාසය පිළිබඳ අධ්‍යයනයක්. අමුද්‍රිත දර්ශනපති නිබන්ධය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

Abeywickrama, Maya., 2006. Harmonious Illusions: A Study of Western Influence on the Music of Sri Lanka. Colombo: Vijitha Yapa Publications.

You may also like...