ශ‍්‍රී ලාංකේය දේශය-සොයන-බලන-විමසන-සැමට

සපිරුණු-විහිදුණු පර්යේෂණ සංස්කෘතියක් ගොඩ නැගීමේ අරමුණ හඹා යන දිගුකාලීන ගමනක අපි නිරත වී සිටින්නෙමු. එම ඉලක්කයේ එක් මෙවලමක් ලෙස “ගවේෂණ” බිහි කර-පෝෂණය කර-උඩුගම් බලා යන දුෂ්කර ගමනක ද අප නිරත වී සිටින බව පැහැදිලි ය. සොයන-බලන-විමසන කාට කාටත් පර්යේෂණ බෙදා හදා දෙමින්, පර්යේෂණ සංකල්පය අහසේ තිබෙන දෙයක් නො ව,  මහ පොළොවේ පැලපදියම් කළ යුතු දෙයක් සේ සලකා, අපි යම් යම් දිශාවන් වෙත අපගේ උපායමාර්ගික ගමන දියත් කර ඇත්තෙමු.

වෛද්‍ය පර්යේෂණ ජාතියකට අත්‍යවශ්‍ය දෙයක් බව හොඳාකාර ව තේරුම් ගෙන ඇති අපි, ජාතික වගකීමක් සේ සලකා, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පර්යේෂණ මතය තහවුරු කරන අනාගත පර්යේෂණ නායකයන් බිහි කිරීමේ ලා  වසරක පුහුණු පාඨමාලාවක් ද දියත් කර ඇත්තෙමු. ඒ ලෙසට ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පාසල් ගුරුවරුන්ගේ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ද පළාත් පර්යේෂණ භාර නිලධාරීන්ගේ  ද පර්යේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළු මාලාවක් ද දියත් කර ඇත්තෙමු.

අප කරන පර්යේෂණවල තොරතුරු සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට ද කටයුතු කරන අප, ඒ පියවර යටතේ අවතැන් වූවන් පිළිබඳ ව අප කළ පර්යේෂණවල තොරතුරු ප‍්‍රමාණයක් මෙවර කලාපයේ ඉදිරිපත් කර ඇත. එසේ ම ජාත්‍යන්තර වශයෙන් ද පර්යේෂණ තොරතුරු බෙදා හදා ගැනීමට ද අප කටයුතු කර ඇත.

සෑම විට ම බටහිර රටවල උත්පාදනය වන පර්යේෂණ දැනුම පෙරදිගට යන ගමන වෙනස් කළ අපි අපගේ පර්යේෂණ දැනුම අපරදිගට හැරවීමේ කටයුතුවලට ද අත ගසා ඇත්තෙමු. ගෝලීයකරණයෙහි ඇති ධනාත්මක සාධක අපගේ වාසියට හරවා ගෙන, පර්යේෂණ දැනුම එක් පැත්තකට කළ ගමන, සුළුවෙන් හෝ වෙනස් කිරීමට හැකි පර්යේෂණ අප රටෙහි සිදු කිරීමේ අභිමානනීය කටයුත්තට ද දායක වී ඇති බව ද නිහතමානී ව පැවසීමට අපට හැකි වී ඇත.

එහෙත් මේ ගමනේ මුල් ගමන්කරුවන් ද අප පමණක් නො වන බව හොඳාකාර ව දන්නා අප අතිදුෂ්කරතාවන් යටතේ මේ රට රැඳී සිටිමින් දේශයට පර්යේෂණ දැනුම දායක කිරීමට උත්සාහ ගන්නා උගතුන් ඇගයීම සඳහා ද සැම විට ම කටයුතු කර ඇත. මෙවර කලාපයේ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සහ චන්දන විජයකෝන් මහතුන්ගේ සේවය අගය කර ඇත්තේ ඒ නිසා ය.

මේ සාමූහික ගමනේ දුර ගමනක් යෑමට ඇති බව හොඳාකාර ව තේරුම් ගෙන ඇති අපට, දිනෙන් දින අඩියක් හෝ ඉදිරියට යාමට හැකි වී ඇත. ඒ සඳහා ඔබ සැමගේ සහාය අපට අවශ්‍ය ව ඇත. සොයන-බලන-විමසන සැම, අප සමග තව තවත් ඒ ගමනට උදව් උපකාර කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

Editorial 24th volume

You may also like...