ශ‍්‍රී ලංකාවේ පුත්තලම සහ මන්නාරම යන දිස්ති‍්‍රක්කවල පදිංචි සංක‍්‍රමිකයන් අතර බහුල ව පවතින මානසික ආබාධ හා දරා ගැනීමේ හැකියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණය

ශ‍්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති ජනවාර්ගික අර්බුදය 2009 වසරේ අවසන් විය. මෙම ව්‍යසනකාරී අර්බුදයෙන් ඇති වූ අතුරු විපාක බොහොමයකි. ප‍්‍රධාන ලෙස 1990 වසරේ දී උතුරු පළාතෙන් මුස්ලිම් මෙන් ම සිංහල ජනයා ද පළවා හරින ලදී. මෙම ජනතාව දිවයිනේ දකුණු පෙදෙසට විවිධ වූ මාර්ගවලින් පැමිණි අතර මුහුදු මාර්ගයෙන් පැමිණි වැඩි දෙනා පදිංචි වූයේ කල්පිටිය හා පුත්තලම යන නගරවල ය. ගොඩබිම් මාර්ගය යොදා ගත් සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා අනුරාධපුර, ඉකිරිගොල්ලෑව, කුරුණැගල යන නගර ප‍්‍රධාන කොට ගෙන දිවයිනේ විවිධ ප‍්‍රදේශවල තම පදිංචිය තහවුරු කර ගත්හ. මෙම සංක‍්‍රමණිකයන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් පදිංචි වූයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ය. මෙහි දී ඔවූන්ට විවිධාකාර වූ සමාජීය, කායික හා මානසික අවපිඩනවලට මුහුණ දීමට සිදු විණි. එම ව්‍යසනකාරී තත්ත්වයේ අතුරු ප‍්‍රතිඵල බොහොමයකි. මෙම විශේෂ අවධානයට ලක් විය යුතු ජන කොටසේ සෞඛ්‍ය (මානසික, කායික), සමාජ හා අනෙකුත් වැදගත් කරුණු පිළිබඳ ව වසර තුනක (2011-2014) කාලයක් පර්යේෂණයක් කරන ලදී.

ප‍්‍රධාන පර්යේෂක වූ වෛද්‍ය චෙස්මාල් සිරිවර්ධන “මහජන සෞඛ්‍ය හා නිවර්තන කලාපීය වෛද්‍ය විද්‍යාව” නම් ස්වකීය පශ්චාත් උපාධියේ (MSc) සහ ආචාර්ය උපාධියේ (Phd) කොටසක් ලෙස අධ්‍යයනය කරන ලදී. ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ “මානසික කටයුතු පිළිබඳ ආයතනයේ” අධීක්ෂණය යටතේ ද ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහයෝගය ඇති ව ද කළ පර්යේෂණයට එංගලන්තයේ ලන්ඩන් නුවර “වෙල්කම් ට‍්‍රස්ට්” (පර්යේෂණ සඳහා ආධාර දෙනු ලබන පුණ්‍ය ආයතනයකි) ආයතනය අරමුදල් සැපයූවේ ය.

දත්ත අදියර දෙකකින් රැස් කෙරිණි. මුල් අදියරේ දී යුධමය වාතාවරණය හේතු කොට 1990 උතුරු පළාතෙන් පළවා හැරි මුස්ලිම් ජනතාව බහුතරය පදිංචි වී සිටි, කල්පිටිය ප‍්‍රධාන කොට ගෙන පුත්තලම දිස්ත‍්‍රික්කය පදනම් කර ගෙන ද දෙ වන අදියරේ දී යුද්ධය අවසන් වූ පසු උතුරු පළාතේ නැවත තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචි වී සිටින සහ පදිංචියට යමින් සිටි මුස්ලිම් ජනතාව පිළිබඳ ව ද දත්ත රැස් කරන ලදී.

පළමු අදියර

අරමුණු ඃ

පැවති යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ සිට අවතැන් ව පැමිණ පුත්තලම දිස්ත‍්‍රික්කයේ පදිංචි වූ මුස්ලිම් ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම.

අවතැන්වූවන්ගේ බහුල ව පවතින මානසික ආබාධ (Common Mental Disorder; CMD)  සාමාජීය, ආර්ථික, සෞඛ්‍ය හා අධ්‍යාපනය සමග යාවෙන ආකාරය සොයා බැලීම.

අවතැන්වූවන්ගේ බහුල ව පවතින මානසික ආබාධ (CMD) සහ දරා ගැනීමේ හැකියාව (Resilience) අතර ඇති සබඳතාව අධ්‍යයනය කිරීම.

මේ සඳහා පුත්තලමේ අවතැන් කඳවුරුවල වෙසෙන්නන්ගෙන් 450 දෙනකු අහඹු ලෙස තෝරා ගන්නා ලදී. අධ්‍යයනය පිළිබඳ කරුණු හා අරමුණු පැහැදිලි කර දීමෙන් පසු ඔව්හූ පර්යේෂණයට සහභාගි වීමට කැමැත්ත පළ කරන ලදී. පර්යේෂණය පිළිබඳ ව පුත්තලම දිස්ත‍්‍රික්කයේ වගකිව යුතු සියලූ ම ආයතන දැනුවත් කළ අතර, ඊට පළාත් හා ප‍්‍රාදේශිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, උතුරු පළාත් මුස්ලිම් අවතැන්වුවන්ගේ දිස්ත‍්‍රික් කාර්යාලය, ග‍්‍රාම නිලධාරින්, කඳවුරු භාර නිලධාරින් හා ආරක්ෂක අංශ ද ඇතුළත් විය.

ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක පර්යේෂණ ක‍්‍රමවේද දෙක ඔස්සේ දත්ත රැුස් කරන ලදී. ප‍්‍රමාණාත්මක අධ්‍යයනය සඳහා වයස අවුරුදු 18ට වැඩි, වසර 20කට පෙර අවතැන් වූ හෝ අවතැන් ව සිටින විට ඉපදුණු පුද්ගලයන්, කඳවුරු 141කින් අහඹු ලෙස තෝරා ගනු ලැබූ අතර, ගුණාත්මක දත්ත රැුස් කිරීමට සම්මුඛ සාකච්ඡුා සඳහා 31 දෙනකු සහභාගි කර ගැනිණි. මෙහි දී මානසික සෞඛ්‍ය ගැටලූ ඉක්මනින් යථාතත්ත්වයට පත්වීම, දරා ගැනීමේ හැකියාව, සමාජ සහයෝගිතාව හා සමාජ අන්තර් සබඳතාව, සිය දිවි හානි කර ගැනීමේ අදහස් හා ප‍්‍රවණතාව, පොදු තොරතුරු පිළිබඳ දත්ත, සිතෙහි ඇති වන කම්පන පිළිබඳ අවතැන් වීමට පෙර /පසු අත්දැකීම් යන කරුණු රැුස් කෙරිණි.

රැස් කළ දත්ත විශ්ලේෂණයෙන් ලැබුණු ප‍්‍රතිඵල පරිදි බහුල ව පවතින මානසික රෝග (CMD) ව්‍යාප්තිය 18.87%ක් විය. එහි උප කොටස්වල ව්‍යාප්තිය කායරූපී රෝගී තත්ත්වය (Somatoform disorder) 14%ක් ද, කාංසාව (Anxiety) 1.3%ක් ද, විශාදය/මානසික අවපීඩනය (බරපතළ තත්ත්වය) (Major Depression) 5.1%ක් ද, විශාදය (සාමන්‍ය තත්ත්වය) (Other Dep.syu) 7.3%ක් ද, පශ්චාද් ව්‍යසන ක්ලමථ අක‍්‍රමිකතා රෝගය (PTSD) 2.4%ක් ද වසයෙන් විය. මේ මානසික රෝග ඇති වීමට විරැුකියාව, වැන්දඹු වීම, දික්කසාද වීම සහ ආහාර පිළිබඳ ව ඇති අනාරක්ෂිත බව යන කරුණු බලපා ඇත.

වැඩි කලක් යුද්ධය නිසා අවතැන් ව සිටි ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ කෙරුණු පළමු වන පර්යේෂණය මෙය යි. මෙහි දී සොයා ගත් කරුණු ලෝකයේ යුද්ධ නිසා අවතැන් වන, අවධානය වැඩිපුර යොමු කළ යුතු ජන කොට්ඨාසවල මානසික සෞඛ්‍ය පිළිබඳ කරන්නා වූ කටයුතුවල දී මහත් ප‍්‍රයෝජනවත් වී ඇත.  මේ පර්යේෂණය පදනම් කර ගෙන මෙතෙක් කර ඇති ප‍්‍රකාශන පහත දැක්වේ

Siriwardhana C, Adikari A, Pannala G, Siribaddana S, Abas M, Sumathipala A, Stewart R.

Prolonged internal displacement and common mental disorders in Sri Lanka: the COMRAID study. PLOS ONE 2013;10.1371/journal.pone.0064742

Siriwardhana C, Adikari A, Jyaweera K, Sumathipala A. Ethical challenges in mental health research among internally displaced people: ethical theory and research implementation. BMC Medical Ethics 2013;14:13

 

දෙ වන අදියර

ප‍්‍රධාන අරමුණු ඃ

1991 දී උතුරු පළාතේ පැවති යුද්ධය හේතුවෙන් අවතැන් වී සිට නැවත තම මුල් ගම්බිම්වල පදිංචි වී සිටින සහ පදිංචි වෙමින් සිටින මුස්ලිම් ජනතාව අතර බහුල ව පවතින මානසික ආබාධවල ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීම.

නැවත පදිංචි වූවන්ගේ පසුගිය අත්දැකීම්, බහුල ව පවතින මානසික ආබාධ හා සමාජ ආර්ථික, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ කෙරෙහි බලපා ඇති ආකාරය සොයා බැලීම.

අවතැන්වූවන්ගේ අත්දැකීම්, සමාජ තත්ත්වය, සමාජ සහයෝගිතාව සහ මානසික සෞඛ්‍ය තත්ත්වය සමග නැවත පදිංචිවූවන්ගේ අත්දැකීම් යා වෙන ආකාරය සොයා බැලීම.

උතුරු පළාතේ අවතැන් ව සිටි නැවත තම මුල් ගම්බිම්වල පදිංචි වූ වයස 18ට වැඩි පුද්ගලයන් අහඹු ලෙස පර්යේෂණයට සම්බන්ධ කර ගත් අතර, 2011 වසරේ මෙම අධ්‍යයනයේ පළමු කොටසට සහභාගි වූ 450 දෙනාගෙන් 338 (75.1%* දෙනකු පර්යේෂණයේ දෙ වන පියවරට සහභාගි කර ගන්නා ලදී. ඊට අමතර ව අවතැන් ව සිට නැවත පදිංචි වූවන් 228 දෙනෙක් එම ප‍්‍රදේශවලින් තෝරා ගනු ලැබූහ. එසේ තෝරා ගත් අය සමග පුහුණුව ලත් පර්යේෂණ සහායකයකු විසින් සම්මුඛ සාකච්ඡුාවක් පවත්වනු ලැබී ය. එහි දී ප‍්‍රශ්නාවලියක් ආශ‍්‍රයෙන් පොදු තොරතුරු, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය, මත්පැන් හා වෙනත් ඇබ්බැහි වන ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධ හැසිරීම්, අවැතැන් වීම පිළිබඳ අත්දැකීම්, සමාජ සහයෝගිතාව හා උපකාර පිළිබඳ ව සහ මානසික ගැටලූ සම්බන්ධ ව විමසා බලන ලදී. මේ සඳහා බහුල ව පවතින මානසික රෝග පිළිබඳ ප‍්‍රශ්නාවලිය (Patient health questionnaire; PHQ) සහ PTSD ප‍්‍රධාන මිනුම් ලෙස භාවිත කරන ලදී.

පර්යේෂණයෙන් ලැබුණු ප‍්‍රතිඵල අනුව දෙ වන අදියරේ දී වාර්තා වූ අන්දමට නැවත පදිංචි වූවන්ගේ ”බහුල ව පවතින මානසික අබාධ” 10.3%ක් වූ අතර, එය පළමු අදියරේ වාර්තා වූ ප‍්‍රමාණයට (18.87%* වඩා 8.5%ක අඩු වීමකි. මෙහි දී හඳුනා ගත් ප‍්‍රධාන කාරණාව වූයේ, ජනවාර්ගික අර්බුදය අවසන් වී ඉතා කෙටි කලකින් නැවත තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචි වූ අවතැන් ව සිටි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය යහපත් අතට හැරී ඇති බව ය.

පර්යේෂණයේ මේ අදියරට අදාළ ප‍්‍රකාශන පහත දැක්වේ

Siriwardhana C, Adikari A, Pannala G, Roberts B, Siribaddana S, Abas M, Sumathipala A, Stewart R. Changes in mental health prevalence among long-term displaced and returnee forced migrants in Sri Lanka (COMRAID-R). BMC Psychiatry 2015

Siriwardhana C, Abas M, Siribaddana S, Sumathipala A, Stewart R. Dynamics of resilience in forced migration: Longitudinal associations with mental health in a conflict-affected population. BMJ Open 2015,5:e006000

Siriwardhana C., Wickramage K. Conflict, forced displacement and health in Sri Lanka: A review of the research landscape. Conflict & health 2014,8:22

Siriwardhana C, Shirwa SA, Roberts B, Stewart R.A systematic review of resilience and mantal health outcomes of conflict-driven adult forced migrants. Conflict & Health 2014,8:13

මෙම අධ්‍යයනයෙන් සොයා ගනු ලැබූ දත්ත මානසික සෞඛ්‍ය, අවතැන් වීම, හා දරා ගැනිමේ හැකියාව යන විවිධ ක්ෂේත‍්‍රවල ලොව පුරා ප‍්‍රතිපත්ති සැකසීමේ දී වැදගත් වනු ඇත.

එමෙන් ම මෙම පර්යේෂණය Global centered of mental health යන ආයතනයේ වසර 5කට වරක් කරනු ලබන ඇගයීමට ද බඳුන් විය. මෙයට අමතර ව බි‍්‍රතාන්‍යයේ …….. රේඩියෝ චැනලය මගින් වෛද්‍ය චෙස්මාල් සිරිවර්ධන මහතා සමග සජීවී සමුමුඛ සාකච්ඡුාවක් ද කරනු ලැබිණි. එම වැඩසටහන https://www.mixcloud.com/Right_of_Reply/mental-health-in-humanitarian-crises යන වෙබ් සබැඳිය ඔස්සේ  ශ‍්‍රවණය කළ හැකි ය.

මැදිහත් වීමේ ක‍්‍රියාවලිය (Intervention)

අධ්‍යයනයේ දී සොයා ගත් කරුණු අනුව ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීමේ ක‍්‍රියාවලියට දායක වීමක් ලෙස උතුරු පළාතේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ “mhgap” නමැති පුහුණු වැඩමුළුව 2014 වර්ෂයේ දී සෞඛ්‍ය අමත්‍යංශය හා ඒකාබද්ධ ව වව්නියාවේ දී පැවැත්විණි. මෙම පුහුණු වැඩමුළුවට උතුරු පළාතේ විවිධ ප‍්‍රදේශවලින් වෛද්‍යවරු ගණනාවක් සහභාගි වූහ. එහි දී සහභාගි වූ පිරිසගේ අදහස වූයේ මෙමගින් ලබා ගත හැකි ප‍්‍රතිඵල අතිමහත් බැවින් එම වැඩසටහන තවතවත් පුළුල් කළ යුතු බව ය. ඉදිරියේ දී මෙම වැඩසටහන මුළු උතුරු පළාතේ ම සහ ශ‍්‍රී ලංකාව පුරා ම පැවැත්වීම පර්යේෂණ කණ්ඩායමේ ඒකායන අරමුණ යි.

Siriwardhana C. Adikari A, Van Bortal T, McCrone P, Sumathipala A. An intervention to improve mental health care for conflict-affected forced migrants in low-resource primary care settings: A WHO MhGAP based pilot study in Sri Lanka. Trials 2013, 14: 423.

විශේෂ ස්තූතිය

අධ්‍යයනය සඳහා මූල්‍ය ආධාර ලබා දුන් “වෙල්කම් ට‍්‍රස්ට්” ආයතනයට ද පර්යේෂණ සඳහා සහභාගි වූ සියලූ සහභාගිවූවන්්ට ද දත්ත එක් රැුස්කිරීම සඳහා ක්ෂේත‍්‍ර රාජකාරී කටයුතු කළ ක්ෂේත‍්‍ර නිලධාරී කණ්ඩායමට ද නන් අයුරින් උපකාර කළ උතුරු පළාතේ පදිංචි ජනතාවට ද විවිධ ක්ෂේත‍්‍රවල පරිපාලන කටයුතු කළ අයට ද ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ද පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩලයට ද නන් අයුරින් උපකාර කළ සැමට ද අධ්‍යයනය සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගයට පර්යේෂණ කණ්ඩායමේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු.

ප‍්‍රධාන පර්යේෂක වෛද්‍ය චෙස්මාල් සිරිවර්ධන (chesmal@gmail.com)

පර්යේෂණ සහකාර වෛද්‍ය අනුෂ්ක අධිකාරි (anushkaadikari@yahoo.com) ඇතුළු COMRAID පර්යේෂණ කණ්ඩායම

 

You may also like...