විද්‍යාත්මක තොරතුරු ගවේශණයට ලක් කළ ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඞ්

දේශ ගවේෂණ ඉතිහාසය දෙස බලන කල්හි අපට වැටහෙන එක් ප‍්‍රධාන කාරණාවක් වන්නේ බොහෝ දෙනෙක් දේශ ගවේෂණයේ යෙදුණේ විදේශීය රටවල් තම මව් රටට අත්පත් කර ගැනීම වැනි විවිධාකාරයේ චේතනා පෙරදැරි ව බවයි. එහෙත්ඊට වෙනස් වූ අරමුණක් වෙනුවෙන් දේශ ගවේෂණයේ නිරත වූවකු ලෙස ‘ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඞ්’ හැඳින්විය හැකි ය. ජර්මනියේ ඉඩම් හිමි වංශවත් පවුලකට දාව 1769 දී උපත ලද ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඞ්, ෆ‍්‍රෑන්ක්ෆර්ට් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි. තමන්ට හිමි ඉඩකඩම් කෙරෙහි එතරම් ලොබ සිත් ඇති කර නොගත් හෙතෙම, ඒවා සියල්ල විකුණා දමා 1797 දී ප‍්‍රංශයට පැමිණියේ ය. එහි දී ඔහුට ප‍්‍රංශ ජාතික උද්භිද විද්‍යාඥයකු වුණු අයිමේ බොන්ප්ලාන්ඞ් ව මුණගැසුණි. මේ මුණගැසීම ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන්නට සමත් විය. අයිමේත් සමග දකුණු ඇමෙරිකාවේ සංචාරයකට සහභාගි වෙන්නට හම්බෝල්ඞ්ට අවස්ථාව උදා විය. මෙම ගමනේ දී දකුණු ඇමෙරිකාවේ තුන්වැනි විශාලතම ගංගාව වන ඔරිනොකෝ ගංගාව ඔවුන් දෙදෙනාගේ ගවේෂණයට භාජනය විය.

1800 නොවැම්බරයේ දී මොවුන් දෙදෙනා ගුවානා සහ හවානා අතරින් යාත‍්‍රා කර කියුබාවට පැමිණියාහ. කියුබාවේ සිට ඔවුන් උතුරු කොළොම්බියාව දෙසට ගමන් කරමින් එහි වූ විශාලතම ගංගාව වන රියෝ මැග්ඩලීනාව ගවේෂණයට ලක් කළහ. කොටළුවන් පිට නැග ගමන් කළ ගවේෂකයන් දෙදෙනා ඉන් අනතුරු ව පිවිසුණේ බොගෝටාවට යි. සතියකින් අනතුරු ව, එනම් 1802 ජනවාරියේ දී ඔවුන් ඉක්වදෝරයේ ප‍්‍රධාන නගරය වූ ක්විටෝ වෙතට පැමිණියාහ. එහි දී ඔවුන් මීටර් 6297ක් උස කිම්බරාසෝ කඳු මුදුන ආසන්නයට ම වාගේ නැගුණ බව වාර්තා වෙයි. විවේක ගැනීම පිණිස ලීමා හි ටික දිනක් නතර වී සිටි හම්බෝල්ඞ් මෙක්සිකෝවේ තිබුණු ඉපැරණි ඉන්කා ශිෂ්ඨාචාරයේ තොරතුරු ද ගවේෂණයට ලක් කරන්නට අමතක නොකළේ ය. හවානා සහ නිව්යෝර්ක් හරහා ඔවුහු බෝර්ඩෙක්ස් වෙතට පැමිණියාහ. ඊළඟ වසර 20ක කාලය හම්බෝල්ඞ් වැය කරන්නේ ඔහුගේ චාරිකාවල විද්‍යාත්මක තොරතුරු සටහන් කරන්නට යි. මේ වන විට ඉතා ජනපි‍්‍රය පුද්ගලයකු ලෙස නමක් දිනා සිටි හම්බෝල්ඞ් ඔහුගේ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් සටහන් වෙළුම් 36කින් 1834 දී ප‍්‍රකාශයට පත් කළේ ය. සාර්වරුන්ගේ අනුමැතිය අනුව හම්බෝල්ඞ් රුසියාවේ ද චාරිකාවක නිරත විය. 1829 දී සිදු වුණු එම චාරිකාවේ දී ගවේෂණයට ලක් කෙරුණේ සයිබීරියාව යි. මෙම ගවේෂණයට ස්වාභාවික විද්‍යාඥයකු වුණු එරෙන්බර්ග්, රසායන විද්‍යාඥයකු වුණු ජී. රෝස් සහ ඉංජිනේරුවරයකු වුණු මෙන්චෙනින් ද සහභාගි වූහ. පීටර්ස්බර්ග් නුවර හරහා මොස්කව්, කසාන්, කිර්ගීස් සහ යූරල් කඳු හරහා ඔවුන්ගේ ගමන් මග වැටී තිබුණේ ය. ටොබොල්ස්ක් වෙත පැමිණි ඔවුහූ අල්ටායි කඳු වටා ගමන් කරමින් සන්ගාරියා වෙතට පැමිණියාහ.

මධ්‍ය ආසියාවේ කළ සංචාරයෙන් අනතුරු ව හම්බෝල්ඞ් ඔහුගේ ජනපි‍්‍රය කෘතියක් වන කොස්මොස් කෘතිය ප‍්‍රකාශයට පත් කළේ ය. 1845 සිට 1862 දක්වා කාලය ඔහු වැය කළේ වෙළුම් 5කින් යුත් එම කෘතියේ වැඩ නිම කිරීමට යි. විශ්වය පිළිබඳ ව කරන ලද අගනා කෘතියක් ලෙසින් කොස්මොස් කෘතිය හැඳින්විය හැකි යි. ලොව විවිධ ප‍්‍රදේශවල සංචාරකයන් විස්තර කරන ලද තොරතුරුවලට අනුව එකල විසූ සිතියම්කරුවන් සිතියම් නිර්මාණකරණයේ නිරත විය. එහෙත් ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ඞ් ඊට වඩා තරමක වෙනස් පුද්ගලයෙක් විය. ඔහු තමාගේ අත්දැකීම් සහ දර්ශනය පදනම් කරගෙන තෙමේ ම සිතියම් නිර්මාණය කළා. එම සියවසේ නිර්මාණය වුණු ඉතා වැදගත් සිතියම් ලෙසින් ඒවාට හොඳ පිළිගැනීමක් ද හිමි විය. අනෙකුත් ගවේෂකයන් මෙන් නො ව ඔහු ගවේෂණ කටයුතුවල නිරත වුණේ හුදෙක් ම විද්‍යාත්මක තොරතුරු සොයා ගැනීමේ අරමුණිනි.

ඉරූෂා ගේ‍්‍රරෝ

http://www.danuma.lk/

 

You may also like...