ව්‍යාපෘති පෙර පාසලේ සිට ක‍්‍රියාත්මක කළ හැකි ය. එමගින් නිවුන් දරුවන් ගැන අවබෝධය ද වැඩි කර ගත හැකි ය

හැදින්වීම
මුල් ළමාවිය සංවර්ධනය පිළිබද, වර්තමානයේ වැඩි අවධානයක් යොමු වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන කෙරෙහි, අධ්‍යාපන පද්ධතියේ අවධානය වැඩි වෙමින් පවතියි. විධිමත් පාසලකට ඇතුළත් වීමට පෙර, ළමයා ඇතුළත් වන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකින් අපේක්ෂා කරනුයේ පූර්ව කුසලතා සංවර්ධනය කිරීමයි. මේ පදනම මත, දරුවන්ගේ භාෂා නිපුණතා අත්පත් කර දීම සදහා, විෂය නිර්දේශයට අදාළ “කතන්දර කීම හා රඟ දැක්වීම” යටතේ නව ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන ලදි. කතාන්දරයක් තෝරා ගැනීම සදහා ළමා කතාන්දර පොත් පරිශීලනය කිරීමේ දී නෙත ගැටුණු “විශාල රාබු අලයේ කතාන්දරය” මගේ අතීත අත්දැකීමකට සම්බන්ධ වීම ද සුවිශේෂි කරුණක් විය.

අතීත කථාව
එකල මගේ වයස අවුරුදු පහකි. 1988/1989 කාලයේ රටේ පැවති භීෂණය හේතුවෙන් නිතර පාසල් වසා දැමූ අතර, ගුරුවරියක වූ අම්මා සමග මේ හැම දිනක ම ඇයගේ පාසලට යාමට මට සිදු විය. අම්මාගේ වැඩකටයුතුවලට මා බාධාවක් විය හැකි බැවින් මට සිදු වූයේ නිතර පුස්තකාලයේ රැුදීමට ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මා පොත් කියවීමට යොමු වූ අතර කතා පොත්වලට අමතර ව පැරණි විෂය නිර්දේශවල තිබූ සිංහල භාෂා පොත් මෙන් ම, ශාරීරික අධ්‍යාපනය වැනි පොත් ද කියවීමට යොමු වීමි. අවසානයේ ‘පොත් ගුල්ලියක්’ තරමට පොත් කියවීමට ඇබ්බැහි වූ මා හට අම්මා විසින් මහජන පුස්තකාලයේ සාමාජිකත්වයට ද බඳවන ලදි. මා කියවූ කතාන්දර අතර ‘රාබු අලයේ කතාන්දරය’ වඩාත් මා සිත් ගත් අතර එයට හේතු කීපයක් විය. රාබු යනු මා එකල අප‍්‍රිය කළ ආහාරයක් වූ අතර රාබුවලින් සුප් සෑදීම සහ එහි රසය කිසිසේත් ම මට සිතා ගත හැකි කරුණක් නො වී ය.
තම වත්තේ වැඞී ඇති අතිවිශාල රාබු අලය ගැළවීම සඳහා පිළිවෙළින් පවුලේ අයගේ උපකාර ලබා ගන්නා ලද ගොවි මහතා, අවසානයේ දී ගෙදර සිටින සතුන්ගෙන් උපකාර ලබා ගන්නා ලදී. ගොවි මහත්මිය වන ආච්චි ද කුඩා ගැහැනු ළමයකු ද එම ගැහැනු ළමයාගෙන් පසු නිවසේ සිටින්නා වූ බල්ලා, පූසා සහ මීයා යනාදි වශයෙන් සියලූ දෙනා ම එක් වී අවසානයේ රාබු අලය අදින විට දී රාබු අලය ගැළවී එළියට පැමිණියේ ය. අවසානයේ ආච්චි විසින්, ගළවා ගත් රාබු අලයෙන් සුප් සාදා සියලූ දෙනාට බෙදා දෙන ලදි.

අවසානයේ මගේ නිගමනය වූයේ, ‘ඒ රටවල රාබු අපේ රටේ රාබුවලට වඩා වෙනස් ඇති ය’ යන්නයි. එමෙන් ම මිනිසකුට ගැළවීමට නො හැකි තරමේ විශාල රාබු අලයක් තිබේ ද? යන්න, කෙසේවත් සිතා ගත නො හැකි විය. අවසානයේ එම අලයේ ප‍්‍රමාණය අපේ ගෙදර තරම් ලොකු ඇති යැයි නිගමනය කළෙමි. කතාවේ සදහන් පරිදි, අලය ගැළවීමට උදව් දෙන පිරිස අතර, ගෙදර සිටින බල්ලා, පූසා හා මීයා යනු කවදාවත් එකමුතු ව වැඩ නො කරන පිරිසක් නිසා ඔවුන් සාමූහික ව වැඩ කිරීම ද මගේ හිත තුළ තදින් ම කා වැදී තිබුණි.

ව්‍යාපෘතියේ සුවිශේෂි අරමුණු
x පෙර ප‍්‍රාථමික ශේණිවල දරුවන් කතන්දර කියවීම සඳහා පෙලඹවීම
x පෙර ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ කතන්දර කීමේ කුසලතාව වැඩි දියුණු කිරීම.
x සිසුන් තුළ අවධානයෙන් යුතු ව සවන් දීමේ කුසලතාව සංවර්ධනය කිරීම.
x ප‍්‍රබෝධාත්මක ඉදිරිපත් කිරීම්වලින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය සංවර්ධනය කිරීම.

ව්‍යාපෘතිය සදහා යොදා ගත් සම්පත්
x මානව සම්පත් ලෙස සිසු දරුවන් හා පෙරපාසල් ගුරුභවතුන් යොදා ගන්නා ලදි.
x භෞතික සම්පත් ලෙස විෂය නිර්දේශය, කතන්දර පොත්, අත් රූකඩ නිර්මාණය සඳහා පාට කරන ලද කොල, මැලියම්, කතුරු, ඉවත දමන ප්ලාස්ටික් කෝප්ප හා සංගීත භාණ්ඩ යොදා ගන්නා ලදි.

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම
මේ සඳහා සුදුසු දිනය ලෙස යොදා ගත්තේ නව පාසල් වාරයක් ආරම්භ වන දිනයකි. එයට හේතුව වන්නේ නිවාඩු මාසයේ දී දරුවන් දෙමාපියන් එක් ව සිට පාසලට පැමිණෙන පළමු දිනයේ ඔවුන්ගේ නිවස කෙරෙහි තිබෙන්නා වූ බැදීම සහ දෙමව්පියන් හැර දමා ඒමේ කාංසා තත්ත්වයන් මග හැරලීමට ප‍්‍රබෝධාත්මක අවස්ථාවක් සැලසීමයි.
අත් රූකඩ මඟින් මෙම කතාව ක‍්‍රියාවට නැංවීමට අදහස් කළේ, අත් රූකඩ දරුවන් මින් පෙර අත්නොවිඳ තිබූ අත්දැකීමක් වීමත්, ඉන් ඔවුන්ට විනෝදාත්මක අත්දැකීමක් ලබා දීමටත් ය. යොදා ගත් අත් රූකඩ පළමු රූප ගොනුවේ දැක්වේ.

ව්‍යාපෘතිය සඳහා මැදිහත් වීම
ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ආකාරය දෙවන රූප ගොනුවෙන් දැක්වෙයි. ඒ අනුව අත් රූකඩ සියලූ ම සිසුන්ට පෙනෙන ලෙස සකස් කරන ලදි. පන්තියෙන් බැහැරට ගෙන යන ලද සිසුන් නිහඩ පරිසරයක පිළිවෙළින් හිඳුවා සිසුන්ගේ කුතුහලය වැඩිවෙන පරිදි, කතාන්දරය ඉදිරිපත් කිරීමට සහායක ගුරුතුමියකගේ සහාය ද යොදා ගැනුණි.

රාබු අලය ගැළවීමට පිළිවෙළින් එන සීයා, ආච්චි, ලිලී නම් ගැහැනුු දරුවා, බල්ලා, පූසා හා මීයාගේ චරිත සියල්ල අත් රුකඩ මඟින් ප‍්‍රදර්ශනය වීම දරුවන්ට ඉතා ප‍්‍රබෝධාත්මක අවස්ථාවක් විය. මුලින් පැමිණෙන පුද්ගලයින්ට, රාබු අලය ගැළවීමට අපහසු වන අවස්ථා නිරූපණය වන විට ඉතිරි අයට ඒ සඳහා ධෛර්ය දීමක් ලෙස සිසුහූ ‘කමෝන්’ ‘පුල්’ වැනි ශබ්ද නැගූහ. අත්පොලසන් දීමට ද උත්සාහ ගත්හ.
අවසානයේ සීයාගේ සිට මීයා දක්වා සියල්ලන් එකතු වීමෙන් පසු විශාල රාබු අලය ගැළවී යන මොහොත සිසුන්ට නම් අදහා ගත නො හැකි අවස්ථාවක් විය.
තනි තනි ව වැඩ කරනවාට වඩා විවිධත්වයෙන් යුතු, සමහර විට කිසි දා එක් නො වන මීයා, පූසා වැනි සතුන් එක් ව කළ මේ කර්තව්‍යයයෙහි අගය කොතෙක් දැයි ඇගයීමේ දී හා තක්සේරුවේ දී ඉතා පැහැදිලි විය.

ස්වයං ඇගයීම
කුඩා කාලයේ, මා ඉතා ප‍්‍රිය කළ සහ මා ඉතා පුදුමයට පත් කළ විශාල රාබු අලයේ කතාන්දරය, මගේ ගුරු භූමිකාවට මෙතරම් ආලෝකයක් ලබා දෙතැයි, කිසි දා මම අනුමාන නො කළෙමි. එදා මට කතාන්දරය කියවිමේ දී හැඟුණු බොහෝ දේ පිළිබඳ ව අද මගේ පුංචි සිසුන්, ප‍්‍රශ්න නැගීම ඉතා හැඟීම් බර මොහොතක් විය. ඔවුන්ගෙන් යළි ‘මම’ දැකීම ගුරුවරයකුට ඇති වූ නව අත්දැකීමක් යැයි මට සිතුණි.
අත් රූකඩ ක‍්‍රියාත්මක කිරීමට සිසුන් ම යොදවා ගත යුතු යැයි පාඩමක් ලෙස මා ඉගෙන ගත්තේ ඒ සඳහා ඔවුන් දැක්වූ ප‍්‍රතිචාර නිමක් නැති වීම නිසා ය.
සිසුන් වෙනුවෙන්, නිපුණතා තීරණය කිරීම, ඒ සඳහා ඉගෙනුම් ක‍්‍රමවේද තෝරා ගැනීම, සුදුසු කාලය තීරණය, සුදුසු පරිසරයක් තෝරා ගැනීම, ඔවුන් තුළ වැඩිවැඩියෙන් දැනුම සහ ආකල්ප ස්ථාපිත කිරීමට, පෙර පාසල තුළ මෙවැනි වැනි කුඩා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ඉතා ඵලදායී ක‍්‍රියාවක් ලෙස දැකීමට පාසලට හැකි වූ අතර එයින් මගේ ගුරුභූමිකාවට ලැබුණු පන්නරය ඉතා අගනේ ය.

නිවුන් දරුවන් පිළිබඳ මගේ අත්දැකීම්
පසුගිය වසරේ මගේ පන්තියේ නිවුන් පිරිමි දරු දෙපළක් වූහ. ඔවුන් දෙපළ මගේ ගුරු ජීවිතයට නව අත්දැකීම් එක් කළ දෙපළකි. මන්ද යත් නිවුන් සිසු දරුවන් දෙදෙනකුට ඉගැන්වීමේ මගේ පළමු අත්දැකීම නිසා ය. මගේ නිවුන් මාමාවරුන් දෙදෙනාගේ කුඩා කාලයේ අත්දැකීම් ද ප‍්‍රයෝජනයට ගනිමින් මේ දරුවන් දෙදෙනා හසුරුවා ගන්නට මම උත්සාහ කළෙමි.
මෙම පිරිමි දරුවන් දෙදෙනා හදුනා ගත හැකි නිවුන් දරුවන් දෙදෙනෙක් වූ අතර, වැඩිමහල් දරුවා බාල දරුවාට වඩා මදක් උසින් වැඩි ය. එමෙන් ම බාල දරුවා පැහැයෙන් වැඩි අතර ම වැඩිමහල් දරුවා පැහැයෙන් අඩු විය. දරුවන්ගේ මව පැහැපත් වූ අතර පියා පැහැයෙන් අඩු වූ තැනැත්තෙකි.
මා නිරීක්ෂණය කළ තවත් කරුණක් වූයේ එක් දරුවකු වමත භාවිත කිරීමත් අනිත් දරුවා දකුණත භාවිත කිරීමත් ය. දරුවන් දෙදෙනාගන් බාල දරුවා විෂය සමගාමී ක‍්‍රියාකාරකම් සඳහා තරමක දක්ෂතාවක් දැක්වූ අතර අනිත් දරුවා වඩාත් නැඹුරු වූයේ අත්වැඩ සහ චිත‍්‍ර ක‍්‍රියාකාරකම් සඳහා ය.
දරුවන් දෙදෙනා එකිනෙකා සමග නිතර ම රණ්ඩු වීම, උදුරා ගැනීම, තල්ලූ කිරීම, හැපීම වැනි දැ නිරීක්ෂණය වූ අතර ම වෙනත් දරුවකු ගැටීමට ආ විට දී දෙදෙනා ම එක් වී එම දරුවා තල්ලූ කර හෝ ඉවතට ඇද දමන ලදී.
දරුවන් දෙදෙනාගේ මේ දෙවිදියේ හැසිරීම් කළල දෙකකින් උපත් සිදුවීම හා පරිසර සාධකවල බලපෑම නිසා යන්න මගේ අදහසයි.
මේ දෙදෙනා වෙනුවෙන්, ගුරුවරියක ලෙස, මා හට ඉහත සදහන් චර්යා සලකා බලා අවශ්‍යතාව අනුව හැඩ ගැසීමට සිදු විය.

නිවුන් දරුවන් පිළිබඳ මගේ අත්දැකීම්වලට මේ ව්‍යාපෘතියෙන් ගත හැකි අදහස් ද මට සිහි වේ. පසුගිය වසරේ මගේ පන්තියේ සිටි නිවුන් දරු දෙපළ මේ ක‍්‍රියාකාරකමේ දී එක ම ආකාරයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ ද? දෙදෙනා දෙයාකාරයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නම් ඒ කෙසේ ද? එසේ වෙනස් කම් වූවා නම් ඒ සඳහා බලපාන්නට තිබූ හේතු මොනවා ද? ඒ වෙනස්කම් අනුව ගුරුතුමියක ලෙස මගේ ඉගැන්වීම් ක‍්‍රම ද මා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන අයුරු ද වෙනස් කර ගත යුත්තේ කෙලෙස ද? යනු දැන් මට ඇති වන අදහස් සමුදායකි.

බියුටි චන්දිමාලි දිසානායක
කීබල් ජාත්‍යන්තර පෙර පාසල, ඇඹුල්දෙණිය, නුගේගොඩ

You may also like...