ව්‍යසන කළමනාකරණය සහ ජනමාධ්‍ය භූමිකාව

අපේ‍්‍රල් 21 වැනි දා එල්ල වූ ප‍්‍රහාර මාලාව, අපේ සමාජ දේහය තුළ ඇති කරනු ලැබූයේ දැඩි බලපෑමකි. මෙවැනි තත්ත්වයක දී ජනමාධ්‍යවලට සුවිශේෂී කාර්යභාරයක් පැවරේ. නව මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය යන විවිධ ක්ෂේත‍්‍රවල මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වාර්තාකරණයේ දී ත් පසු ව එළඹෙන විශ්ලේෂණාත්මක හා ගවේෂණාත්මක මාධ්‍ය කාර්ය භාරය ඉටු කිරීමේ දී ත් සැලකිල්ලට ගත යුතු කරුණු බොහොමයකි.
ඒ පිළිබඳ ව සංවාදයක් ගොඩ නගා ගැනීමත් මීට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීමත් අරමුණු කළ වැඩමුළුවක් 2019 මැයි මස 15 වැනි දින කොළඹ 7 පිහිටි ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පවත්වන ලදී. එය සංවිධානය කළේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය, ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය සහ පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඒකාබද්ධවයි.

මෙම වැඩමුළුවේ දී අදහස් දැක්වූ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ, එක්සත් රාජධානයේ කීල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සුමතිපාල මහතා, ”අපේ‍්‍රල් 21 ප‍්‍රහාර මාලාව ජාතික ආපදාවක්. මෙවැනි ආපදාවන්හි දී කටයුතු කළ යුතු ආකාරය ගැන මාධ්‍ය වෘත්තිකයින් තුළ පෙර සූදානමක් තිබීම අත්‍යවශ්‍යයි. මේ සිද්ධි දාමය මිනිසා විසින් නිර්මාණය කළ ආපදාවක්. මෙවැනි අවස්ථාවක දී මිය ගිය අයගේ මෘත දේහයන් හඳුනා ගැනීම තරමක් සංකීර්ණ වෙනවා. ඒ සඳහා ජාන තාක්ෂණයේ වාසිය යොදා ගන්නට පුළුවනි. වඩා වැදගත් වන්නේ රටේ පවත්නා නීතියත් මානව ආචාරධර්මත් සුරැකෙන පරිදි කටයුතු කිරීම පිණිස පොදු සමාජය මෙහෙයවීමෙහි ලා ජනමාධ්‍යයට පැවරෙන වගකීමයි. එය අත්හරින්නට ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට හැකියාවක් නැහැ. විශේෂයෙන් ම දේහයන් මිහිදන් කිරීමේ දී ගෞරවාන්විත වගේ ම වෘත්තීයමය එළඹුමක් අවශ්‍යයි”.

අපේ‍්‍රල් 21 සිදු වූ මට්ටමේ ප‍්‍රහාරවලින් පසු, ලෝකයේ බොහෝ රටවල්, බලපෑමට ලක්වූවන් මානසික උපදේශනය වෙත යොමු කරනු දක්නට පුළුවනි. එහෙත් ශ‍්‍රී ලංකාව සතු දුක්බර අවස්ථාවල දී ප‍්‍රජාවක් ලෙස ඊට මුහුණ දීමේ ගුණයෙහි ඇති වාසිය විස්තර කරන මහාචාර්ය සුමතිපාල මහතා. ”අපි දුක වේදනාව බෙදා හදා ගන්නට ඓතිහාසික ව හුරු වූ පිරිසක්. ශ‍්‍රි ලංකාව අත්දුටු තිස් අවුරුදු යුද්ධයේ දී සුනාමි ව්‍යසනයේ දී අපි රටක් ලෙස හොඳින් ඒ දුක්බර තත්ත්වය කළමනාකරණය කර ගන්නට සමත් වුණා. මනෝ වෛද්‍ය මැදිහත්වීම් අවශ්‍ය වුණේ අඩු මට්ටමකින්. එය අපේ සමාජ සංස්කෘතික මූලයේ ඇති ශක්තියයි. මෙය අත්දැකීමක් ලෙස මාධ්‍ය තුළින් ඉස්මතු කොට දැක්වීම වටිනවා”.

සායනික මනෝ විද්‍යාඥ ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය මෙම වැඩමුළුවේ දී අදහස් දක්වමින් අවධාරණය කළේ, මරාගෙන මැරෙන ප‍්‍රහාරකයින් නව දෙනකු පුහුණු කර, ඉලක්ක වෙත යාමට ඔවුන් එකවර මෙහෙයවූ ලොව පළමු අවස්ථාව ලෙස, අපේ‍්‍රල් 21 ප‍්‍රහාර මාලාව හඳුනා ගත හැකි බවයි. එබැවින් අදාළ මෙහෙයවීම සහ පුහුණුව ලැබූ තවත් පිරිස් සමාජය තුළ රැදී සිටින්නේ නම් ඔවුන් හඳුනා ගෙන ඒ අයගේ මානසික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයන සිදු කිරීම වැදගත් බවයි.

කෙසේ වෙතත් මෙවන් මොහොතක ජනමාධ්‍ය සිය කටයුතු කිරීමේ දී, ”මහ මොළකරු” වැනි යෙදුම් සිය දිවි නසා ගැනීමේ ප‍්‍රහාර මෙහෙයවූ පුද්ගලයන් විෂයයෙහි යෙදීම නුසුදුසු බව ආචාර්ය හෙට්ටිගොඩ මහත්මිය අවධාරණය කළා ය. ”එයින් ඒ අහිතකර ක‍්‍රියාවලට, අනවශ්‍ය තත්ත්වයක් ආරෝපණය වේ. ආගමික දේශපාලනික සාධක මිශ‍්‍ර වුණු මෙවැනි විනාශකාරී ප‍්‍රහාර, මානසික විකෘතිතාවන්ගේ ප‍්‍රතිඵල මිස වෙන යමක් නොවෙයි. ඒ අය උගත් සශ‍්‍රීක පවුල්වල සාමාජිකයන් ලෙස උත්කර්ෂයට නංවා සමාජ ගත කිරීම ද ජනමාධ්‍ය විසින් මග හැරිය යුතු දෙයක්” යැයි ඇය තව දුරටත් සඳහන් කර සිටියා ය.

මෙවැනි ජාතික ව්‍යසනයක දී කම්පාවෙන් මානසික පීඩනයට පත්වන සමස්ත ජනතාව එයින් මුදවා නැවත කඩිනමින් සමාජය සාමාන්‍ය තත්ත්වය වෙත ඔසවා තැබීමේ සුවිශාල කාර්යභාරයක් ජනමාධ්‍ය වෙත පැවරෙන බැවින් මෙම වැඩමුළුව වඩාත් කාලීන උත්සාහයක් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක‍්‍රිස්ටි ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා අදහස් දක්වමින් ”ආගමික අන්තවාදය හා බැඳුණු ත‍්‍රස්තවාදය ලොව පුරා පැතිර යන මාරාන්තික ප‍්‍රවණතාවක්. මෙය අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තර අත්දැකීම් අපට පහසුවෙන් යොදා ගත හැකියි. අදාළ ක්ෂේත‍්‍රයේ ප‍්‍රශස්ත දැනුම් පද්ධතියක් දැනටමත් ගොඩ නැගී තිබෙනවා. ඒ දැනුම ආචාරධර්මීය ප‍්‍රවේශයකින් යුතු ව අපි මෙරට භාවිතයට ගත යුතු යැ”යි පැවසී ය.

ව්‍යසන මගින් ඇති කරන මානසික බලපෑම සහ එවැනි බලපෑම් අවම කිරීමට මාධ්‍යවලට දායක විය හැකි ආකාරය පිළිබඳ ව මෙම වැඩමුළුවේ දී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ, මහජන සම්බන්ධතා නිලධාරිනී විශේෂඥ මනෝ වෛද්‍ය චතුරි සුරවීර මහත්මිය, ”මෙවැනි ප‍්‍රහාරයක දී කෙනකුගේ අතක් පයක් නැති වෙන්නට පුළුවන්. ඔවුන් ඒ නිසා ම කෙටි කාලීන හෝ දිගු කාලීන මානසික සංකූලතාවලට මුහුණ දෙනවා. ඒ පිරිස අපේ අවධානයට ඉක්මනින් ම ලක් වීම වැදගත්. එහි ලා ජනමාධ්‍යයට පැවරෙන කාර්යභාරය විශේෂයි. අනිත් අතින් මෙවැනි ප‍්‍රහාරයකින් පසු මාධ්‍ය වහා ම කළ යුත්තේ සිද්ධිය සහ තත්ත්වය ගැන ජනතාවට අවශ්‍ය මූලික තොරතුරු නිවැරදි ව ලබා දීමයි. මත පළ කිරීම, තොරතුරු ඉදිරිපත් කිරීම සමග පටලවා කිරීම නොකළ යුතුයි”. වෛද්‍ය සුරවීර මහත්මිය වැඩිදුරටත් පවසන්නේ මෙවන් ව්‍යසනවලින් පසු ඊට සහන වශයෙන් හිමිවිය යුතු දේ ජනතාවට අත්කර දීමෙහි ලා ජනමාධ්‍යයට ගැඹුරු වගකීමක් පැවරෙන බවයි. මන්ද යම් සිද්ධියක් පිළිබඳ උණුසුම මාධ්‍යයෙන් ගිලිහී යත් ම, සිද්ධිය බලධාරින්ගේ අවධානයෙන් පහසුවෙන් ම මග හැරී යන හෙයිනි.

වැඩමුළුවේ දී අදහස් දැක්් වූ අගරදගුරු මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ එඞ්මන් තිලකරත්න පියතුමන් පැවසුවේ, මෙවන් අවාසනාවන්ත ජාතික ව්‍යසන හමුවේ පටු දේශපාලන වාසි ඉලක්ක කරමින් හැසිරෙන පිරිස හඳුනාගෙන රටක ඇතිවිය හැකි සංකීර්ණ වාතාවරණය අවම කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දීමේ වගකීම මාධ්‍ය වෙත පැවරෙන බව යි.

ජීවිත විනාශ කරන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් පසු ව, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වීම, ස්වභාවික සහ තාර්කික තත්ත්වයක් බව අවබෝධ කර ගැනීමේ වැදගත්කම, සමාජ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීයවේදියකු වන හිරෝෂාන් වඩුගේ මහතා පැහැදිලි කළේ ය. කෙසේ වෙතත් වෛරී ප‍්‍රකාශ සහ අසත්‍ය තොරතුරු ප‍්‍රවර්ධනය සඳහා නො ව යථාව සහ ප‍්‍රායෝගිකත්වය මත පදනම් වූ පුද්ගලාන්තර සන්නිවේදනය සඳහා නව මාධ්‍ය, විශේෂයෙන් ම සමාජ මාධ්‍ය භාවිත කළ හැකි බව ඔහුගේ අදහසයි. ව්‍යසනයක දී නව මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය විධිමත් කිරීම සඳහා රෙගුලාසිකරණය භාවිත කළ හැකි නමුත් වඩාත් උචිත එළඹුම සබුද්ධික නව මාධ්‍ය භාවිතය බව වඩුගේ මහතා අවධාරණය කළේ ය.

අපේ‍්‍රල් 21 සිදු වූ ප‍්‍රහාර මාලාව වැනි සිද්ධිවලින් පසු එළඹෙන පශ්චාත් ව්‍යසන අවධියේ දී, පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා අවධාරණය කළේ ය. ”පශ්චාත් ව්‍යසන අවධියේ මධ්‍යසාර, ගංජා වගේ දේවල්වලට මිනිස්සු වැඩියෙන් යොමු වෙන්න පුළුවන්. ජනමාධ්‍ය ඒ් තත්ත්වය හඳුනා ගෙන එය සාමාන්‍යකරණයෙන් වැළකීම වැදගත්.”

ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාන් විජේතුංග මහතා අදහස් දක්වමින්, 2009ට පෙර යුද ගැටුම් සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තාකරණය සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදීන් විටින් විට පුහුණුව ලැබූ බව මතකයට නැංවී ය. එහෙත් එයින් දශකයකට පසු 2019 අපේ‍්‍රල් ප‍්‍රහාරය සිදුවෙද්දී අදාළ දැනුම යාවත්කාලීන නොවීම තුළ යම් අභියෝග මතු වූ බව ඔහු සඳහන් කළේ ය. එබැවින් මිනිසා විසින් ඇති කරන ව්‍යසන හමුවේ ජනමාධ්‍ය ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදීන් නිරතුරු ව අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බවත් විජේතුංග මහතා අවධාරණය කළේ ය. විශේෂයෙන් ම මිලියන් 6ක පමණ සක‍්‍රීය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිටින ශ‍්‍රී ලංකාවේ නව මාධ්‍ය සහ ආපදා සන්නිවේදනය පිළිබඳ ව අලූත් කතිකාවක් ගොඩ නැගිය යුතු බවට ද විජේතුංග මහතා යෝජනා කළේ ය.

ජනමාධ්‍යවල කෙරෙන සරල මැදිහත්වීම්වලින් පවා ආපදා අවස්ථාවක දී සුවිශේෂ ප‍්‍රතිඵල අත්කර ගත හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ් මහතා අවධාරණය කළේ ය. එම සාධනීය ගුණ අවබෝධ කොට ගෙන මාධ්‍ය වෘත්තිකයින් සහ මාධ්‍ය ආයතන වඩාත් කැපවීමෙන් ආපදා සමයක දී සක‍්‍රීය ලෙස ජාතික වගකීම් ඉටු කිරීමට අදිටන් කරගත යුතු බව ද වෛද්‍ය මහේෂ්
මහතා කියා සිටියේ ය.
(ගවේෂණ සඟරාව, 2019 අපේ‍්‍රල්-ජුනි/35 කලාපය)

මනෝරි විමලසේකර

You may also like...