1_1 මෙය කියවීමට පමණක් නො වේ

(ගවේෂණ සගරාවේ මංගල කලාපයේ සංස්කාරක සටහන)

ලොව ඉදිරියට ඇදෙන්නේ නව දැනුම ඔස්සේ පමණක් ම ය. නව දැනුම නිර්මාණය වන්නේ නිර්මාණශීලී පර්යේෂණ සහ නව සොයා ගැනීම් මත ය. ‘රෝදය’, කාර්මික විප්ලවයට කරන ලද දායකත්වයේ සිට ජාන තාක්ෂණය විසින් 21 වන ශතවර්ෂයේ සිදු කරනු ලැබ ඇති විප්ලවය දක්වා ලොව ගමන් කරනු ලැබුවේ ලෝකය දෙස තියුණු ඇසකින්, වෙනස් වූ ඇසකින් බැලූ, පවතින දැනුමින් සෑහීමට පත් නො වූ මිනිසුන් නිසා ය. මෙවන් ගවේශණශීලී මිනිසුන් තම පර්යේෂණ කරනු ලැබූයේ රසායනාගාරවල පමණක් නො වේ. ඔවුන්ට ඇලවේලී, වතුපිටි, ක‍්‍රීඩා පිටි, යුද බිම්, සෑම තැනක් ම පර්යේෂණාගාර විය.

එහෙත් පර්යේෂණාත්මක සාක්ෂි මත ගොඩ නැගුණු නව දැනුමට වැඩි හිමිකමක් කීමේ සහ එය හැසිරවීමේ බලය බටහිර රටවල් සතු වීම නිසා ඔව්හු අප වැනි අඩු දියුණු රටවල් අභිබවා ඉදිරියට ඇදුණහ. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් හිමි වූ අප අභිබවා වසර තුන්හාරසියක ඉතිහාසයක් ඇති ඇමෙරිකාව වැනි රටවල් තාක්ෂණික මට්ටමින් දැවැන්තයන් බවට පත් වූයේ මේ නිසා ය. අප රටවල්වල නොමැති වෛද්‍ය පහසුකම් එම රටවලට හිමි වුණේ ඒ නිසා ය. තාක්ෂණික වශයෙන් ඔවුන් ඉදිරියෙන් සිටින්නේ මේ නිසා ය.

මේ පසුබිම තුළ ජාතික පර්යේෂණ සංස්කෘතියක් ගොඩ නැගීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව තේරුම් ගත් විද්වතුන් සමූහයක් විසින් ජාතික මෙහෙවරක් ලෙස සලකා, ‘පර්යේෂණ හා සංවර්ධන පර්ෂදය’ ගොඩ නගන ලදී.

හෙට ලොව රැදෙනුයේ අද දවසේ පාසලේ සිටින සිසු දරුවන් මත වන හෙයින් පාසල් සිසුන් තුළ පර්යේෂණ කටයුතු කිරිමේ හැකියාව වැඩි දියුණු කිරීමට පර්ෂදයේ කටයුතුවල දී ප‍්‍රමුඛත්වය දීමට ද තීරණය කළෙමු.

ඒ සදහා උත්පේ‍්‍රරකයක් වීම ද මේ පර්යේෂණ සගරාවේ අරමුණයි. මෙහි දී අප සතු දිරිමත් ම සාධකය වන්නේ මේ වන විටත් සිදු වෙමින් පවතින උසස් පෙළ ව්‍යාපෘති වැඩසටහන යි. අඩුපාඩු සහිත වුවත්, උසස් පෙළ විෂය මාලාව තුළ කරනු ලබන මෙම ව්‍යාපෘති අතිශයින් වැදගත් කටයුත්තක් බව විශ්වාස කරමු. එහෙත් සිසුන්ට නිසියාකාර ව මේ ව්‍යාපෘති කර ගෙන යාම සදහා ඒවා අධීක්ෂණය කළ හැකි සුවිශේෂ දැනුමේ අඩුවක් ගුරුවරුන් අතර පවතින බව ද තේරුම් ගෙන සිටිමු. මේ නිසා සිසු දරුවන්ට මෙන් ම ගුරුවරුන්ට ද සහාය වීමේ සගරාවක් ලෙසත්, ව්‍යාපෘති හා පර්යේෂණ තොරතුරු පළ කිරීමට කැප වූ සගරාවක් ලෙසත් මෙය එළිදක්වමු. තව ද ව්‍යාපෘති සදහා අවශ්‍ය ද්‍රව්‍යමය මෙන් ම බුද්ධිමය සම්පත් වැඩිදියුණු කිරීම සදහා විදේශගත ලාංකිකයන්ගේ දායකත්වය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ලෙසත් දියත් කිරීමට ද බලාපොරොත්තු වෙමු. මේ කාර්යයේ දී දෙමාපියන් වන ඔබගේ වගකීම කුමක් ද? ඔබගේ දරුවන් හා ඔවුන් වෙනුවෙන් අප කරන කටයුතු සදහා ඔබගේ සහාය උපරිම ලෙස ලබා දීම පමණක් ද? නැත, කිසිසේත් එය එසේ නොවිය යුතු ය. මින් ඔබ්බට දිව යන බරපතළ යුතුකම් හා වගකීම් ප‍්‍රමාණයක් ඔබ සතු ව ඇත. ඔබගේ සහභාගිත්වය ද සක‍්‍රීය විය යුතු ය. රට තුළ ස්ථාපිත විය යුතු යයි අප පවසන මේ පර්යේෂණ සංස්කෘතිය කුමක් දැ යි ඔබ විසින් සොයා බැලිය යුතු ය. ඒ සදහා අවශ්‍ය දැනුම ඔබ ද ලබා ගත යුතු ය. පර්යේෂණ න්‍යාය පත‍්‍රය සැකසීමේ දී, එම කාර්යභාරයට උර දීම සදහා ඔබ ඔබගේ දරුවන් පුරුදු පුහුණු කළ යුතු ය. එම පර්යේෂණවල අවසාන ප‍්‍රතිඵල සහ ප‍්‍රතිලාභ සමාජ සුබසිද්ධිය සදහා යොමු වන පරිදි, පර්යේෂණ ආචාරධර්ම පද්ධතියක් හා රාමුවක් ගොඩනගා අධීක්ෂණය කිරීමේ වගකීමට උර දිය යුතු ය. එම පර්යේෂණ සංස්කෘතිය තුළ, පර්යේෂකයන් ජනතාවට වග කියනු ලබන සංස්කෘතියක් නිර්මාණය කළ යුතු ය. සිසු පරම්පරාව තුළ සිටින වඩා දැනුම්වත් කොටස මේ සදහා පෙරමුණට ගෙන ඒම සදහා හැකි උපරිමය කළ යුතු ය. හෙට දවස සදහා අත්‍යවශ්‍ය ව ඇති නව ජාතික දැනුම හා දැක්ම දෙගුණ තෙගුණ වී ගොඩ නැගෙනු ඇත්තේ එවිට ය.

නූපන් පරපුරේ හෙට දවස වෙනුවෙන් අද පරම්පරාවේ සැබෑ බුද්ධිමය දායකත්වය සහතික කළ හැකි වටපිටාවක් සදහා උපරිම ලෙස මැදිහත් විම ඔබගේ යුතුකම බව අවධාරණය කරමු. දේශයේ රැදුණු සැබෑ බුද්ධිමතුන්ට මේ සදහා නොපැකිල ව පෙළ ගැසෙන ලෙස ද ඉල්ලා සිටිමු.

ගවේෂණ සඟරාව  (2004 ජනවාරි-අප්‍රේල් / 1 කලාපය )

You may also like...