මිය යන සෑම අලියකු ම පසුපස මිනිස් ක‍්‍රියාකාරකමක්?

වර්තමානයේ මිය ගොස් ඇති සෑම අලියකු ම මිය යාමට හේතුව මිනිස් ක‍්‍රියාකාරකම් බව පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ “ශ‍්‍රි ලංකා මානව විද්‍යා සංගමය” විසින් “අලි-මිනිස් ගැටුම්” මැයෙන් 2015 ජුනි 27 දින කොළඹ දී සංවිධානය කළ දේශනයක දී ය. පසුගිය කාලවකවානුවල මිය ගිය සෑම අලියකුගේ ම පාහේ ශරීරවල මූනිස්සම්, කකුල්වල යකඩ ඇණ වැනි දේ ඇතුළු වී තිබූ බවත් වාහනවලට හැපීම්, වලවල්වලට වැටීම්, විදුලි වැටවල් නිසා ද අලි විශාල වශයෙන් මිය යන බවත් පෙන්වා දුණි.

ආක‍්‍රමණික ශාක, වනාන්තරවල පැතිරීමෙන්, අලින් අහාරයට ගන්නා තෘණ ශාක විනාශ වීම, අලින් ගම්වලට වැදීමට ප‍්‍රධාන හේතුවක් බවට මේ වන විට තහවුරු ව ඇත. ගඳපාන, කටුවන, ගිණි තෘණ වැනි ශාක, වනාන්තරවල ආක‍්‍රමණකාරී ලෙස පැතිර යමින් පවතී. මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් 20%කට වැඩි බිම් ප‍්‍රමාණයක ”කටුවන ශාකය” පැතිරී ඇත.

වැලි ගොඩ දැමීම ද අලින්ගේ වාසස්ථාන අහිමි වීමේ සිඝ‍්‍රතාව වැඩි වීමට ප‍්‍රධාන හේතුවකි. “විල්ලූද” යනු ගංගා ආශ‍්‍රිත පිහිටන පරිසර පද්ධතියකි. ගංගා පිටාර මට්ටමට එන විට පිටාර ජලයෙන් මේ “විල්ලූද” පරිසර පද්ධති පෝෂණය වේ. අලින් ප‍්‍රධාන වශයෙන් මෙවැනි පරිසර පද්ධති තම වාසස්ථාන කර ගනිති. ගංගාවල වැලි අධික ලෙස ඉවත් කිරීමෙන් මෙම “විල්ලූද” පරිසර පද්ධති විනාශ වී යයි. මනම්පිටිය වැනි ස්ථානවල මෙය පැහැදිලි ව දක ගත හැකි ය.

හරක් සහ මීහරක් පට්ටි ජාතික වනෝද්‍යානවලට ඇතුළු කිරීම ද අලි ගම්වැදීමට ප‍්‍රධාන ම හේතුවකි. අලින්ගේ පෝෂක බිම් විශාල ප‍්‍රමාණයක් මේ නිසා අහිමි වෙයිි.

රටේ අවිධිමත් සංවර්ධන ක‍්‍රියාවලි නිසා වනාන්තර කුට්ටිකරණය වීම ද අලින්ගේ වාසස්ථාන අහිමි වීමට ප‍්‍රබල ම හේතුවකි. එනිසා අලිමංකඩවල් ඇහිරී ඇත. විශේෂයෙන් යුද්ධයෙන් පසු උතුරු ප‍්‍රදේශයේ අලි ඇතුන් ඇතුළු පරිසර සංරක්ෂණ කටයුතු කලාපයක් ඇති කිරීමට පරිසරවේදීන් සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කරවීමට උත්සාහ කළ මුත් රජයේ විවිධ අමාත්‍යාංශ මගින් පරිසර ආරක්ෂණය ගැන නොතකා ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලට මූලිකත්වය දීමෙන් පරිසර පද්ධතිවලට දැඩි හානි පැමිණ ඇත.

රටේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂාක හමුදාව යටතේ පවතින ඉඩකඩම් මේ වන විට අවිධිමත් ව කරන පරිසර විනාශකාරී ව්‍යාපෘතිවලට යොදවා ඇත. මේ ඉඩ කඩම් පවරාගෙන ඇත්තේ රටේ ආරක්ෂක ක‍්‍රියාදාමයන්් සඳහා වුවත් මේ වන විට ඒවා හෝටල් ඉදිකිරීම, විවිධ පෞද්ගලික ආයතනවල ව්‍යාපෘති වැනි දේ සඳහා යොදවා ඇත. මෙවැනි කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ එවැනි වගකිව යුතු ආයතනයක විධිමත් ක‍්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතු වුවත් රටේ විවිධ බාහිර පාර්ශ්ව විසින් ඒවා ක‍්‍රියාවට නංවයි. ඔවුන්ට පරිසරය, වනජීවි කලාප, රක්ෂිත කලාප, වනෝද්‍යානවල ඓතිහාසික කරුණු හෝ පරිසර කළමනාකරණය ගැන දැනුමක් නැත. එබැවින් ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් හුදෙක් ම ආර්ථික හෝ දේශපාලනිකමය අරමුණු සපුරා ගැනීම උදෙසා පමණක් ක‍්‍රියාත්මක වේ. එය රටේ පරිසර පද්ධතිවලට මහත් විනාශයක් අත් කර දෙමින් පවතී. අලි-මිනිස් ගැටුම් මෙවැනි ක‍්‍රියාදාමවල ප‍්‍රතිඵල වේ.

තව ද රටේ ජාතීන් මිශ‍්‍ර කිරීම උදෙසා රාජ්‍ය මැදිහත් වීමෙන් කරනු ලබන පදිංචි කරවීම් ද අලි-මිනිස් ගැටුම් ඇතිවීම සීග‍්‍ර කරවන්නට හේතුවක් බවට පත්ව ඇත. අලින් ජීවත් වන ප‍්‍රදේශ ආශි‍්‍රිත ව අතීතයේ පටන් දිවි ගෙවන ගැමියන් අලින් සමග සහජීවනයෙන් සිටීමට දන්නා නමුත් ආධුනිකයන්ට ඒ ගැන අවබෝධයක් නැත. අලි මිය යාමට මෙන් ම අලින් නිසා සිදුවන මිනිස් මරණ ප‍්‍රමාණය ඉහළ යාමට එය ද ප‍්‍රධාන හේතුවක් වී ඇත.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පරිසර ආරක්ෂණය උදෙසා කටයුතු කරන්නේ රටේ සිවිල් ජනතාවගෙන් එල්ල වන බලපෑම් හමුවේ ය. ලෝකයට ම එය පොදු ධර්මතාවකි. එබැවින් අපේ රටේ සිවිල් ජනයා ද පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් සංවේදී වීමේ අවශ්‍යතාව ද මෙම දේශනයේ දී සජීව චාමිකර මහතා පෙන්වා දුණි.

Aruna walisundara

You may also like...