පුළුල් පර්යේෂණ සංස්කෘතියක පෙර නිමිති

          පසුගිය අයවැයෙහි පර්යේෂණ ක්ෂේත‍්‍රයේ දියුණුවට අදාළ සාධනීය සහන රාශියක් අන්තර්ගත වී තිබිණි. පර්යේෂණ කටයුතු සඳහා මැදිහත් වන ආයතනවලට මෙන් ම තනි තනි පර්යේෂකයන්ට ද මේ යටතේ බදු සහන රැුසක් ද ලබා දී තිබුණු අතර, පර්යේෂණ කටයුතුවලට අදාළ සාධනීය රාජ්‍ය මැදිහත් වීම ඒ තුළ සළකුණු කොට තිබිණි.

එහෙත් එම රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග බවට බවට පත් කරන නිලධාරි පැලැන්තිය ඉබි ගමනක යෙදී සිටින බව කනගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ය. එම සහනවලට හිමිකම් ඇත්තේ පර්යේෂණ  කටයුතුවල නියැලෙන ව්‍යාපාර පමණක් බව ඔවුන්ගේ නිර්වචනය වන අතර, පර්යේෂණ කටයුතු සඳහා ම කැපවූ ආයතනවලට, විශ්වවිද්‍යාලවලට එම සහන අදාළ නො වේ යන්න ඔවුන්ගේ නිගමනය යි. ඒ නිසා එම ගණුදෙනුව පාර්ලිමේන්තුව තුළ දී ම බේරා ගැනීමට අප දේශපාලඥයන් හමුවීමට තීරණය කළෙමු.

තව ද, පර්යේෂණ කටයුතුවල නිරත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් මෙන් ම විශ්වවිද්‍යාලවලට පිටතින් සිටින වෛද්‍යවරුන්ටත් පර්යේෂණ දිරි දීමනා ලබා දීමට තීන්දු ගැනීමට පාලකයන් ක‍්‍රියාත්මක වීම ද පැසසිය යුතු සුබදායී කරුණකි.

දේශපාලඥයින්ගේ කාර්යභාර්ය එසේ සිදුවෙද්දී වෘත්තිකයන්ගේ භූමිකාව දෙස අපි මදක් හැරී බලමු. අතිමහත් අසීරුතාවන් මැද තම යුතුකම් මැනවින් ඉටු කරනු ලබන ගෞරවනීය විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ට අපගේ මේ විවේචනය කිසිසේත්ම අදාළ නොවන බව මුළින් ම සඳහන් කළ යුතු ය. එහෙත් හඬක් නොමැති බහුතරය පරයා හිස ඔසවා ඇති අධිපතිවාදී සුළුතරය මෙම පර්යේෂණ දිරි දීමනාව බඩගෝස්තරයකට හරවා නොගනු ඇතැයි අප හුදෙක් ම බලාපොරොත්තු වෙමු.

විශ්වවිද්‍යාලය තුළ මට ඇත්තේ කුමක් ද?” යන්න ප‍්‍රශ්න කරනු වෙනුවට විශ්වවිද්‍යාලයේ හා හෙට දවසේ පර්යේෂණ සංස්කෘතිය උදෙසා දායක වීමට මා තුළ ඇත්තේ කුමක් ද?” යන්න ප‍්‍රශ්න කිරීමට හැකි මනෝභාවය තහවුරු කිරීමේ  අභියෝගයකට අප සියලූ දෙනා මුහුණ දී සිටින්නෙමු. මහාචාර්ය වැලන්ටයින් බස්නායකලා, මහාචාර්ය අර්සකුලරත්නලා, මහාචාර්ය අර්ජුන අලූවිහාරේලා, මහාචාර්ය පානබොක්කේලා, මහාචාර්ය මැල්කම් ප‍්‍රනාන්දුලා, මහාචාර්ය නාරද වර්ණකුලසූරියලා, මහාචාර්ය දියනාත් සමරසිංහලා, මහාචාර්ය සේනක බිබිලේලා, වෛද්‍ය ඌරාගොඩලා සහ එවැනි නම් සඳහන් නොකළ දැවැන්තයන් සියදහස් ගණනින් ඉල්ලා සිටින යුගයකට අප අවතීර්ණ වී සිටින්නෙමු.

තම තමන්ගේ පුංචි ළිංවල කොටුවූ මැඩියන් වීම න්‍යාය පත‍්‍රය කොට ගත් ආචාර්ය, මහාචාර්යවරුන් අභිබවා යන ක්ෂිතිජයට ඉහළින් දකින විසල් මනසක් සහිත බුද්ධිමතුන් නිර්මාණය කිරීමේ දුෂ්කර භාරදුර කටයුත්තක ඝෝෂකයන් වීම අප උරමත ද පැවරී ඇති බව විශ්වාස කරමු. එය 30 වසරක ත‍්‍රස්තවාදී උවදුර පරාජය කිරීම හා සැසඳීමේ දී මෙය ඉතා සුබ කටයුත්තක් බව ද අප තේරුම් ගෙන සිටිමු. ඒ සඳහා නිහඩ බහුතරය පිළිබඳ ව ද අප දැඩි විශ්වාසයකින් කටයුතු කරමු.

පටු, ‘කොටු පවුරු තුළ හිරවූ හුදකලා මිනිසුන් අභිබවා යන විසල් මිනිසුන්ගෙන් පිරි, නව දැනුම හඹා යාමේ පිපාසයෙන් පෙළෙන දු පුතුන් පෝෂණය වන, 30 වසරක කුරීරු යුද්ධය අවසන් කිරීමට දායක වූ දු පුතුන්ට සැබෑ අරුතක් ගෙනෙන, දේශීය පර්යේෂණ සංස්කෘතියේ විසල් ජයග‍්‍රහණය උරුම කරන දොරටු විවර වෙමින් පවතින බවට දහසක් බලාපොරොත්තු පෙරදැරි කර ගනිමු.

 

 

You may also like...