නායකයෙකු යනු අසාමාර්ථ්‍ය හා පරාජය නිසිලෙස කළමනාකරණය කළ හැකි පුද්ගලයෙකි

(2008 මාර්තු 22 වන දින ෆිලඩෙල්ෆියාවේ වාර්ටන් (Philadelphia, Wharton) දී පැවැත්වුණු ඉන්දියා ආර්ථික සමුළුවේ දී හිටපු ඉන්දීය ජනාධිපති ඒ.පී.ේ. අබ්දුල් කලාම් දැක්වූ අදහසකි)

ප්‍රශ්නය

ඔබේ අත්දැකීම් වලට අනුව නායකයකු විසින් අසාමාර්ථතාවන් කළමනාකරණය කළ යුත්තේ කෙසේ දැ යි යනු පිළිබඳ උදාහරණයක් දිය හැකිද?.

පිළිතුර

1973 මා ලැබූ අත්දැකීමක් ඔබට පවසන්නම්. මම ඉන්දියාවේ චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස පත් වුණෙමි. අපේ අරමුණ වූයේ, 1980 වන විට “රෝහිණී” චන්ද්‍රිකාව කක්ෂගත කිරීමයි. මට ඒ සඳහා මුදල් සහ මානව සම්පත් ලැබුණි. ඒ සමගම ‘1980 වන විට චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කල යුතුය’, යන පැහැදිලි උපදෙස ද ලැබුණි. අරමුණ ඉටුකරගැනීම සඳහා විද්‍යා හා තාක්ෂණික කණ්ඩායම්වල දහස් ගණන් ජනතාව එකට කටයුතු කළහ.

 

1979 අගෝස්තු වන විට අරමුණ ඉටුකර ගැනීමට සූදානම් යැයි අපට සිතුණි. ව්‍යාපෘති අධ්‍යක්ෂ වශයෙන් චන්ද්‍රිකාව දියත් කිරීම සඳහා මම පාලන මැදිරියට ගියෙමි. චන්ද්‍රිකාව දියත් කිරීමට විනාඩි 4 කට පෙර පරිගණකය, පරික්ෂා කළ යුතු අයිතම ලැයිස්තුව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට පිවිසුණි. විනාඩියකට පසු පරිගණක වැඩසටහන, චන්ද්‍රිකාව දියත් කිරීම නවතා ලූයේය. පරිගණක තිරයේ සටහන් වූයේ, සමහර පාලන සංරචකයන් විධිමත්ව නොපවතින බවයි. මාගේ විශේෂඥයන් හතර පස් දෙනා, බිය නොවන ලෙසත්, ඔවුන් අවශ්‍ය ගණනය කිරීම් කර ඇති බවත් තිරේක ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවත් පැවසූහ. එම නිසා මම පරිගණක උපදෙස් නොතකා හැර මිනිස් අතින් ක්‍රියා කරන (Manual Override) විදිහට එළඹ න්ද්‍රිකා ව දියත් කළෙමි. පළමු අවස්ථාවේ දී සියල්ල හොඳින් ක්‍රියා කළේය. දෙවන අවස්ථාවේ දීයි ගැටලුවක් මතු වන්නට පටන් ගත්තේය. චන්ද්‍රිකාව කක්ෂ ගත වනු වෙනුවට සම්පූර්ණ චන්ද්‍රිකා පද්ධතියම බෙංගාල බොක්කට ඇද වැටුණේය. එය අතිමහත් පරාජයක් විය.

 

එදින ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති මහාචාර්ය සතිෂ් දවාන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවීය. චන්ද්‍රිකාව දියත් කිරීමට නියමිත වූයේ, පෙ.ව 7ට ය. විදේශ රටවල පුවත්පත් වාර්තාකරුවන් ද සහභාගී වූ පුවත්පත් සාකච්ඡාව පෙ.ව 7.45ට පැවැත්වීමට නියමිතව තිබුණි. මහාචාර්ය දවාන් තමාම පුවත්පත් සාකච්ඡාව පවත්වා සිදුවු ප්‍රමාද දෝෂයට වගකීම තමා ම භාර ගත්තේය. කණ්ඩායම මහන්සි වී වැඩ කළ බවත් එහෙත් ඒ සඳහා වඩාත් තාක්ෂණික සහාය අවශ්‍ය බවත් ඔහු පැවසීය. තවත් වසරකින් කණ්ඩායම අනිවාර්යයෙන්ම සාර්ථක බව බන බව ඔහු මාධ්‍යයට තහවුරු කළේය. ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් මගේ අතින් වැරැද්ද වුවත් සිදුවූ වැරැද්දට වගකීම සංවිධානයේ සභාපති වශයෙන් ඔහු බාර ගත්තේය.

 

ඊළඟ වර්ෂයෙහි 1980 ජූලි මස චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට නැවත උත්සාහ කර, සාර්ථක බව ලැබීමු. මුළු රටම ‍ප්‍රීති ප්‍රමෝදයෙන් ඇළලී ගියේය. නැවතත් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්විණි. මහාචාර්ය දවාන් මා පැත්තකට කැඳවා අද පුවත්පත් සාකච්ඡාව ඔබම පවත්වන්නැයි මගෙන් ඉල්ලා සිටියේය. එදින මම වැදගත් පාඩමක් ඉගෙන ගතිමි. අසාමාර්ථ්‍යතාවක් හෝ පරාජයක් ලැබූ විට එය සතු වන්නේ සංවිධානයේ නායකයාටය. සාර්ථක බව ලැබූ විට නායකයා එම සාර්ථක බව ස්වකීය කණ්ඩායමට පවරන්නේ ය.

 

මා ඉගෙන ගෙන ඇති හොඳම කළමනාකරණ පාඩම මා කියවූයේ පොතකින් නොවේ. එය මෙම අත්දැකීමෙන්ම මට ලැබුණි.

You may also like...