කුණු ගැටලූවේ නොදුටු මානය- සමුද්‍රීය කැළි කසළ

සැබවින් ම මුහුද හා වෙරළ යනු සිත් නිවාලන මාහැඟි සොබාදහමේ දායාදයන් ය. .සිනිදු සුදු මුදු තලාවේ .. පිපෙන පෙන පිඬු සිනා සේ …, යයි අමරදේවයෝ ගැයුවේ එබැවිනි. ජෛව විවිධත්වය අතින් මෙන් ම සමාජ ආර්ථික අංශවලින් ද වැදගත් මේ උරුමයල අද කැළි කසළ උවදුරෙන් පීඩිත ව සිටී. කාලීන සමාජ ආර්ථික විපර්යාස හමුවේ සීඝ‍්‍ර වෙනස් වීමකට ලක් වූ ජන ජීවිත රටා සමග මිනිසා පරිහරණය කරන දෑ මෙන් ම ඉවතලන දෑ ද වෙනස් විය. එහි ප‍්‍රතිඵලය වෙරළකට පය තබන  ඕනෑ ම කෙනකුට අද දැක ගත හැකි ය.

සමුද්‍රීය පරිසරයකට සිතාමතා හෝ නොදැනුම්වත් කමින්, සෘජු ව හෝ වක‍්‍රාකාරයෙන් බැහැර කරන ලද හෝ අත්හැර දමන ලද, නිර්මිත හෝ සකසන ලද කවරාකාරයක හෝ ඝන ද්‍රව්‍යයක් සමුද්‍රීය කැළි කසළ ලෙස හඳුන්වනු ලැබේ. එය ටොෆි කොලයක්, ප්ලාස්ටික් හෝ වීදුරු බෝතලයක සිට අත්හැර දැමූ බෝට්ටුවක් තරම් වූ පුළුල් පරාසයකට විහිද යා හැකි ය. ඇතැම් විට ගොඩබිම අවිධිමත් ව බැහැර කරන ලද කසළ, සුළග හෝ වැසි ජලය මගින් මෙන් ම ගංගා ඇල දොළ ඔස්සේ ද සාගරයට එකතු වේ. එමෙන් ම වෙරළාශ‍්‍රිත නිවාස, කර්මාන්ත, සංචාරක හා විනෝදාස්වාද කටයුතු මගින් සෘජු ව ම කැළි කසළ මුහුදට හා වෙරළට එකතු වේ. තව ද නාවික හා ධීවර වැනි සමුද්‍රීය කටයුතුවලින් ද මුහුදට කසළ එකතු වේ. මේ කවර ආකාරයකින් වුව ද එක් වන කසළ අද වන විට වෙරළ, වෙරළාසන්න මුහුද හා ගැඹුරු මුහුද යන සෑම කොටස ම ව්‍යසනකාරි ලෙස ව්‍යාප්ත වී හමාර ය (දැනටමත් ප්ලාස්ටික් පමණක් ටොන් 250,000ක් පමණ(1)). ජලය මතුපිට පාවෙමින්, ජල ස්තරයේ ගිලී පාවෙමින් මෙන් ම පතුළෙහි තැන්පත් වෙමින් ද මේ කසළ දිනෙන් දින එක්රැස් වෙමින් පවතී.

 

සාගරය මගින් මුළු ලෝකය ම සම්බන්ධ වී ඇති නිසා එක් රටකින් බැහැර කෙරුණු කසළ වෙනත් රටක වෙරළකට වුව සේන්දු විය හැකි ය. දියවැල් හා සුළං මගින් සාගරය හරහා කසළ ව්‍යාප්ත වීම වේගවත් කෙරෙන අතර, ඇතැම් විට එම කසළ සම්භවය වූ ස්ථානයෙන් බොහෝ ඈත, (ඇතැම් විට මිනිස් වාසයෙන් තොර ප‍්‍රදේශවලට පවා) ව්‍යාප්ත වේ. ඒ නිසා සමුද්‍රීය කැළි කසළ යනු ගෝලීය ගැටලූවකි.

එමෙන් ම දියවැල් අහිසරණය (Convergent currents) වන ඇතැම් සාගර කලාපවල මෙම කසළ එක්රැුස් වීමෙන් තැනුණු කසළ පැල්ලම් (Garbage patches) ඇති වී තිබේ. ඒවා කුඩා දුපත් ලෙසින් දිස්වන බව චන්ද්‍රිකා හා ගුවන් ඡායාරූපවලට නිරීක්ෂණය වී ඇත.

සාගරය ආශ‍්‍රිත ජෛව-රසායනික ක‍්‍රියාවලි (Bio-chemical processes) ගොඩබිමට සාපේක්ෂ ව තරමක් වෙනස් නිසා, ගොඩබිම දී ජෛව හායනයට හෙවත් දිරාපත්වීමට ලක්වන ඇතැම් ද්‍රව්‍ය පවා සාගරයේ දී හායනයට ලක්වීමට බොහෝ කාලයක් වැය කරයි (උදා: ඇපල් හරය, කෙසෙල් ලෙළි, දොඩම් ලෙළි).

එමෙන් ම දිරාපත් නො වන පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය භෞතික හායනය මගින් ඉතා කුඩා (මිලි මීටර 5ට අඩු)  කැබලි බවට පත් වීමෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Micro plastic) ලෙස පරිසර පද්ධති හා ආහාර දාමවලට එක් වීමේ අන්තරායක තත්වයක් ද ඇති වී තිබේ.

 

ද්‍රව්‍ය හායනය/ දිරාපත් වීමට ගත වන කාලය (ආසන්න වශයෙන්)  (2)

වීදුරු                                  වසර මිලියන 1

ප්ලාස්ටික් බෝතල්            වසර 450

සනීපාරක්ෂක තුවා             වසර 450

ඇලූමිනියම් බීම බඳුන්        වසර 80 – 200

රිජිෆෝම්                           වසර 50 – 80

රබර්                                   වසර 50 – 80

ටින් බඳුන්                          වසර 50

ලෙදර්                                වසර 50

නයිලෝන් රෙදි                වසර 30 – 40

පොලිතින් බෑග්                වසර 10 – 20

දුම්වැටි කොටස්                වසර 1- 5

වුල් රෙදි                          වසර 1-5

ෆ්ලයිවුඞ්                          වසර 1- 3

ඇපල් (Apple core)              මාස 2

කඩදාසි                                සති 6

කෙසෙල්/දොඩම් ලෙලි     සති 2 – 5

කඩදාසි අත්පිස්නා               සති 2 – 4

 

සාගර ජීවීන්ට, පක්ෂීන්ට මෙන් ම සමුද්‍රිය පරිසර පද්ධතිවල පැවැත්ම කෙරෙහි ද සෘජු හා වක‍්‍ර බලපෑම් මේ කසළ ගැටලූව නිසා ඇතිවෙමින් තිබේ. සතුන් විසින් ආහාරයට ගනු ලැබීම හා ඒවා උන්ට ජීර්ණය කළ නො හැකි වීම, සතුන්ගේ ශරීරයේ පැටලීම නිසා තුවාල සිදු වීම හා මරණයට පත් වීම, ජීවී වාසස්ථාන විනාශ වීම යන කරුණු නිසා නිසා සිදුවන හානිය අතිමහත් ය. තව ද ධීවර හා නාවික කටයුතුවලට බාධා සිදුවීම මෙන් ම පරිසර සුන්දරත්වය කෙලෙසී යාම නිසා සංචාරක ආකර්ෂණය අඩු වීමෙන්  වන ආර්ථික හානිය ද සැලකිය යුතු ය. ඊට අමතර ව මෙම කසළ ද්‍රව්‍ය ඔස්සේ ආක‍්‍රමණික ජීවී විශේෂ (Invasive species) සාගර කලාප හරහා ව්‍යාප්ත වීමේ අවදානම ද පවතී.

 

කසළ බැහැර කරන්නට පෙර නැවත වරක් සිතා බැලීමට කාලය දැන් එළඹ තිබේ. විධිමත් කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේදවලට අනුගත වනවා මෙන් ම, හැකිතාක් කසළ ජනනයෙන් වැළකීම  (Refuse)  කසළ ජනනය අඩු කිරීම  (Reduce) ද්‍රව්‍ය නැවත භාවිත කිරීම  (Reuse) දැනට ඇති කසළ ඉවත් කිරීම  (Refresh)  හා  ප‍්‍රතිචක‍්‍රීකරණය  (Recycle) යන සංකල්ප ජීවන රටාවට එක් කර ගැනීම ද අවශ්‍ය කර තිබේ. මේ සඳහා මූලික ව ම ආකල්පමය වෙනසක් පුද්ගල හා සමාජීය වශයෙන් ඇති විය යුතු ය. අපි ලොව කොතැනක සිටිය ද සාගරයෙන් ලෝකය ම සම්බන්ධ වන නිසා සමුද්‍රිය කැළි කසළ ගැටලූවට පිළියම් සෙවීමේ දී ගෝලීය වශයෙන් සිතීම හා දේශීය ව ක‍්‍රියාත්මක වීම (Think globally and Act locally) අත්‍යවශ්‍ය ය.

මූලාශ‍්‍ර-

  1. Eriksen M, Lebreton LCM, Carson HS, Thiel M, Moore CJ, Borerro JC, et al. Plastic Pollution in the World’s Oceans: More than 5 Trillion Plastic Pieces Weighing over 250,000 Tons Afloat at Sea. Dam HG, editor. PLoS One [Internet]. 2014 Dec 10 [cited 2017 Sep 20];9(12):e111913. Available from: http://dx.plos.org/10.1371/journal.pone.0111913
  2. Approximate Time it Takes for Garbage to Decompose in the Environment [Internet]. [cited 2017 Sep 21]. Available from: https://www.des.nh.gov/organization/divisions/water/wmb/coastal/trash/documents/marine_debris.pdf
  3. Ocean Conservancy. Together for our Ocean. International Coastal Clean Up 2017 Report [Internet]. 2017. Available from: https://oceanconservancy.org/wp-content/uploads/2017/06/International-Coastal-Cleanup_2017-Report.pdf

image – https://www.google.com/search?q=sea+waste&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjzuOKzhrPeAhUKqI8KHcWFBSAQ_AUIDigB&biw=1025&bih=503#imgdii=V30CzVynaI9gmM:&imgrc=GoaBKy2gjcs6xM:

 

 

 

You may also like...