“අපේක්ෂා” රෝහලේ හෙද නිලධාරිණියකගේ අත්දැකීම්

තම වෘත්තිය ජීවිතයෙන් වැඩි කලක් පිළිකා රෝගීන් ඇසුරෙහි ගත කරන ඇය, මේ වන විට මහරගම “අපේක්ෂා” රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරිණියක ලෙස සේවයේ යෙදෙන්නී ය. නමින් කුසලා රණතුංග වන ඇය මහරගම “අපේක්ෂා” රෝහලේ වෛද්‍ය වාට්ටු, ශල්‍ය වාට්ටු, ළමා වාට්ටු, පිළිකා නාශක නික්ශේපණ ඒකකය මෙන් ම විකිරණ ප‍්‍රතිකාර අංශවල ද සේවය කර ඇත. තම වෘත්තීය අත්දැකීම් සමගින් සමාජයට පණිවිඩයක් දෙන්නැයි අප කළ ඉල්ලීමට ඇය මෙසේ ප‍්‍රතිචාර දැක්වූවා ය.

හෙදියක් ලෙස පිළිකා රෝහලේ දී කළ හැකි විශේෂ දෙයක් නැතැයි මුලින් සිතුවා

1995 වසරේ දි මගේ මුල් ම පත්වීම මෙම රෝහලට ලැබෙන විට එතෙක් වසර තුනක් ඉගෙන ගත් දෙයින් කරන්න දෙයක් නැති වෙයි කියලා තමා හිතුණේ. ඒ මම පත්වීම ලැබෙන විට මෙම රෝහල පිළිබඳ ව කිසි ම අවබෝධයක් තිබුණේ නැති නිසා. බොහොම ඝෘණාත්මක හැඟීමක් තමයි ඒ වෙලාවෙ දැනුණේ.

එහෙත් රෝහලට ඇවිත් අපගේ අධීක්ෂණ නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරින් සමග වාට්ටු නීරීක්ෂණය කරන විට, හෙද වෘත්තියට අදාළ කටයුතු ආරම්භ කරන විට, මිනිස් ජීවිත සුවපත් කිරීමට වගේ ම ඔවුන් ව සුවදායි ව තබන්නට හෙදියක් විධියට මොන තරම් සේවයක් කළ හැකි ද යන්න හොඳින් වැටහුණා. ඇත්තට ම පිළිකා රෝගියෙක් දිහා වඩාත් ලෙන්ගතු ව ධනාත්මක ව හිතන්නට කටයුතු කරන්න පෙලඹුණා. පිළිකාවක් වළක්වා ගන්නට, කලින් හඳුනා ගන්නට, ප‍්‍රතිකාර සාර්ථක කර ගන්නට වගේ ම සහන සත්කාර සඳහා උපරිමයෙන් දායක වන්නට හෙදියන් විධියට අපිට පුළුවන්.

“අපේක්ෂා” රෝහලේ සේවය කිරීමට අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ

හෙද සේවයේ වගේ ම අපේ රෝහලේ අනෙකුත් වෘත්තීන්වල ද සේවය සඳහා ඇතැම් අය බියක් දක්වනවා. ඒ පිළිකා සඳහා කරන ප‍්‍රතිකාරවලින් ඔවුනටත් හානියක් ඇති වේ යැයි පවතින බිය නිසා. එහෙත් රෝහලේ විකිරණ ප‍්‍රතිකාර අංශවල දී වගේ ම පිළිකා නාශක ඖෂධ භාවිතයේ දී අපගේ ආරක්ෂාවට සියලූ ආරක්ෂිත ක‍්‍රියාමාර්ග ගනු ලබනවා. ඊට අවශ්‍ය පහසුකම් රෝහලේ තිබෙනවා. ඒ නිසා බිය වීමට අවශ්‍ය නැහැ.

පිළිකාවක් හැදුණ හොත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න

පිළිකා රෝගය, ප‍්‍රතිකාර ක‍්‍රම, රෝහලේ ඇති පහසුකම්, පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ. පිළිකාව වගේ ම ඒ සඳහා කරන ප‍්‍රතිකාර පිළිබඳවත් බොහෝ මිත්‍යා මත සමාජ ගත වී තිබෙනවා. පිළිකාව මුල් අවස්ථාවේ හඳුනා ගෙන විශේෂඥ වෛද්‍ය උපදෙස් යටතේ අඛණ්ඩ ව ප‍්‍රතිකාර කිරීමෙන් බොහෝ පිළිකා රෝග සාර්ථක ව සුව කර ගන්න පුළුවන්. සුව කර ගැනීමට අපහසු බරපතළ අවස්ථාවල දී ජීවිත කාලය දිගු කර ගැනීමට වගේ ම වේදනාවෙන් මිදී වඩාත් සුවදායි ව සිටීමට අවශ්‍ය වන ප‍්‍රතිකාර රෝහලෙන් ලබා දෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතා විශාල මුදලක් වැය කරනවා.

සාර්ථක ව ප‍්‍රතිකාර නිමා කර ජීවිතය ජය ගත් වැඩිහිටියන් මෙන් ම බොහෝ ළමයින් සිටිනවා. ඔවුන් පෙර කළ පරිදි තමන්ගේ අධ්‍යාපන, රැකියා කටයුතු කර ගෙන යනවා. එහෙත් සමාජයේ සිටින බොහෝ දෙනාගේ නොදැනුම්වත්කම සහ විවිධ පෙලඹවීම් නිසා ඇතැමුන් රෝහලට ප‍්‍රතිකාර ගන්නට පැමිණෙන්නේ නැහැ. විවිධ තැන්වලට ප‍්‍රතිකාර ගන්න යනවා. ඒ වගේ ම ප‍්‍රතිකාර ලබන අය පවා ඇතැම් විට අතරමග නතර කර එවැනි තැන්වලට යනවා. හැබැයි ඒ අයට කල් ගත වී නැවත රෝහලට පැමිණෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ප‍්‍රතිකාරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳ ම දේ තමයි ඔබට, පවුලේ කෙනකුට හෝ ඔබගේ හිතවතකුට පිළිකාවක් වැළඳී ඇති නම් වහා ම විශේෂඥ වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගන්න. ඔවුන් ලබා දෙන උපදෙස් මත කටයුතු කරන්න.

පිළිකා ප‍්‍රතිකාර සම්බන්ධ දුර්මත ඉවත් කළ කළ යුතු යි

පිළිකා සඳහා කෙරෙන ප‍්‍රධාන ම ප‍්‍රතිකාරවලින් එකක් තමයි විකිරණ ප‍්‍රතිකාරය. එහෙත් සමාජයේ බොහෝ දෙනකු මේ ප‍්‍රතිකාරය හඳුන්වන්නේ කරන්ට් අල්ලනවා යන්නෙන්. ඒ වචනය අහපු ගමන් බොහෝ වැඩිහිටි රෝගීන් ප‍්‍රතිකාර ගන්නට මැළිකමක් දක්වනවා. ඇත්තට ම මෙහි දී කරන්ට් වැදීමක් හෝ පිළිස්සීමක් වන්නේ නැහැ. ප‍්‍රතිකාර ලබා ගන්නා කාලයේ දී යම් ශාරීරික අපහසුවක් ඇති වෙන්න පුළුවන්. එහෙත් එම අතුරු ආබාධ සාර්ථක ව මැඩගෙන පිළිකාවෙන් ජය ගන්නට මේ ප‍්‍රතිකාරය ඉවහල් වෙනවා.

පිළිකා නාශක ඖෂධ ප‍්‍රතිකාරය පිළිබඳවත් මිනිසුන්ට අනිසි බියක් පවතිනවා. ප‍්‍රතිකාර කිරීමේ දී ඇතමුන්ගේ හිස කෙස් හැලී ගියත්, ඒ වෙනුවෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. ප‍්‍රතිකාරය අවසන් වූ පසු කොණ්ඩය නැවත ලස්සනට වැවෙනවා. මේ බෙහෙත් නිසා ඇතැම් රෝගීන්ට වමනය යා හැකි වුවත්, රෝහලෙන් ලබා දෙන වෛද්‍ය උපදෙස් සහ ඖෂධවලින් එය පාලනය කරන්න පුළුවන්.

රෝගීන් නිසි ලෙස ප‍්‍රතිකාර ගැන දැනුම්වත් වනවා නම් සාර්ථක ව ප‍්‍රතිකාරවලට මුහුණ දෙන්න පුළුවන්. “අපේක්ෂා” රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය, පෝෂණ අංශය, උපදේශන අංශය, වගේ ම මානසික සෞඛ්‍ය ඒකකයෙනුත් රෝගීන්ට වගේ ම පවුලේ උදවියට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්.

පිළිකා සුවය තම අතමයි

විශේෂඥ වෛද්‍ය උපදෙස් යටතේ අපගේ රෝහලෙන් ලබා දෙන ප‍්‍රතිකාර නිසා බොහෝ පිළිකා සාර්ථක ව සුව කර ගන්නට පුළුවන්. හැබැයි මේ සඳහා රෝගියාගේ මෙන් ම පවුලේ කැපවීම සහ කැමැත්ත තිබිය යුතුයි. ධනාත්මක සිතුවිලිවලින් යුතු වීම අත්‍යවශ්‍ය ලක්ෂණයක්. නිසි පරිදි ලබා ගන්නා පෝෂ්‍යදායි ආහාර මෙන් ම වෙනත් බෝ වන රෝගවලින් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේ ම ප‍්‍රතිකාර අතරමග නතර නො කර අඛණ්ඩ ව ලබා ගැනීමෙන් පිළිකාව සුව කර ගැනීමට පහසුයි.

පිළිකාවක් වැළඳීමෙන් ආරක්ෂා වෙන්නට නම්…

අපගේ ජීවන රටාව, ඇවතුම් පැවතුම් යහපත් ලෙස පවත්වා ගැනීම පිළිකාවෙන් වැළකෙන්නට ඉතා ම වැදගත්. විශේෂයෙන් දුම්වැටි හා වෙනත් මත්ද්‍රව්‍යවලින් වගේ ම අධික මත්පැන් භාවිතයෙන් වැළකෙන්න පුළුවන් නම් පිළිකාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

අද අපේ සමාජය ඉතා කාර්යබහුල වීම නිසා ක්ෂණික ආහාරවලට හුරු වී සිටිනවා. අධික රසකාරක, වර්ණකාරක අඩංගු ආහාර ලබා ගන්නවා. මේ තත්ත්වය අවබෝධ කර ගෙන ඉන් වැළකෙන්නට අපිට පුළුවන් නම් පිළිකා ඇති වීමේ මං අහුරන්න පුළුවන්. හැකිතාක් ස්වභාවික එළවළු හා පලතුරු ආහාරයට එක් කර ගන්න. මේවා ආහාරයට එක් කර ගැනිමේ දී හොඳින් සෝදා පවිත‍්‍ර කර ගැනීමෙන් කෘෂි රසායනික ද්‍රව්‍යවලින් ද හැකි තාක් ආරක්ෂා වෙන්න පුළුවන්. කෘත‍්‍රීම කෑම බීම ගන්න වියදම් කරන මුදලින් අපිට වෙරළු ගෙඩියක්, නෙල්ලි ගෙඩියක්, පේර ගෙඩියක් ආහාරයට ගන්න පුළුවන් නම් ඉතා ම හොඳයි.

ශරීරය ක‍්‍රියාශීලී නොවීම මෙන් ම වැරදි ලිංගික චර්යාවලින් ද පිළිකා ඇති විමේ අවදානමක් පවතිනවා. ඒ පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමෙන් ද පිළිකා ඇති වීමේ අවදානමෙන් මිදිය හැකියි.

කලින් හඳුනා ගැනීම ගොඩක් වැදගත්…

දැනට ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර, බහුල ව පවතින්නේ පියයුරු පිළිකාවයි. ඒ නිසා සෑම කාන්තාවක් ම තමන්ගේ පියයුරු පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් ම මසකට වරක් ස්වයං පියයුරු පරික්ෂාවක් කර ගැනීමත් පවුල් ඉතිහාසයේ පියයුරු පිළිකාවලට ලක් වූවන් සිටී නම් සුවනාරි සායනවලට යොමු වීම හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යටතේ උපදෙස් ලබා ගැනීම වැදගත්. එසේ ම විවාහක කාන්තාවන් ද තමන්ගේ ප‍්‍රදේශයේ සුවනාරී සායනයට හෝ සුදුසුකම් ලත් ස්ථානයකට යොමු වී පැප් පරීක්ෂණය කර ගැනීමෙන් ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවැනියට වැඩි ම තැන පසුවන ගැබ් ගෙළ පිළිකාවෙන් ද ආරක්ෂා විය හැකි යි. බුලත් විට සැපීමට, දුම් පානයට ඇබ්බැහි වූවෙක් නම් ස්වයං මුඛ පරික්ෂාවක් කර ගන්න. මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න.

පරිත්‍යාග ගෞරවාන්විත ව ලබා දෙන්න

අපේ රෝහලට වගේ ම රෝගීන්ටත් විවිධ ආයතන හා පුද්ගලයන් මගින් ලබා දෙන විවිධ පරිත්‍යාග ඉතා ම වටිනවා. රෝගීන්ටත් පවුලේ අයටත් එය විශාල සහනයක්. රෝහලට ලබා දෙන පරිත්‍යාග රෝහල් පරිත්‍යාග කළමනාකරණ ඒකකය යටතේ ලබා දීම වැදගත්. මෙම ඒකකය මගින් රෝහලේ හෝ රෝගීන්ගේ අවශ්‍යතා හඳුනා ගෙන තිබෙනවා.

රෝහලට පැමිණ රෝගීන්ට ලබා දෙන පරිත්‍යාග ඉතා ම ගෞරවාන්චිත ව ලබා දීම ඉතා වැදගත්. ඒ වගේ ම සෞඛ්‍ය ආරක්ෂිත ව රෝහල් උපදෙස්වලට අනුව ඒවා ලබා දිය යුතු යි. විවිධ සමාජ මට්ටම්වලට අයත් බොහෝ රෝගීන් රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. බොහෝ දෙනෙක් සුව වී නැවත සමාජ ගත වෙනවා. ඔවුන්ට වගේ ම අපිටත් පිළිකාවක් වැළඳිය හැකියි යන සිතුවිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ නිසා ඔබේ අනුකම්පාවට වඩා සහයෝගය, උදව් උපකාර ඔවුනට ශක්තියක් වේවි.

ප‍්‍රතිකාර ලබන බොහෝ දෙනකුගේ ප‍්‍රතිශක්තිය ඉතා අඩු මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ඔවුනට ඉතා ඉක්මනින් බෝවන රෝග, ආහාර අජීර්ණය වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශාල කණ්ඩායම් වශයෙන් පරිත්‍යාග ලබා දීමට රෝහලට පැමිණීමෙන් වැළකෙන්න  ඕන. පරිත්‍යාග ලබා දීමේ දී රෝහලේ පොදු උපදෙස්වලට අමතර ව එක් එක් වාට්ටු මට්ටමෙන් ලබා දෙන උපදෙස්වලට ද ඔබ සහාය දැක්විය යුතු යි. හේතුව අපේත්, ඔබගේත් අරමුණ රෝගීන් සුවපත් කිරීම වන නිසා.

“අපේක්ෂා” රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස කටයුතු කරන්නට ලැබීම පිළිබඳ ව මම ඇත්තට ම සතුටු වෙනවා. රෝහලේ හෙට දවස වෙනුවෙන් වගේ ම කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂයෙන් රෝහලේ ප‍්‍රතිකාර ගන්නා සැම වෙනුවෙන් මා හට තවත් කළ හැකි දේ බොහෝ යැයි සිතනවා.

 

අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර

 

 

 

 

ඔපීඞී ගිහින් උදේ වරුවේ දැමුවත් කරනවා’ සමහර රෝගීන් අපේ අධ්‍යාපන අංශයට ම ඇවිත් තොරතුරු විමසනවා’ ඔවුන්ගේ පෞද්ගලික ගැටලූ නිරාකරණය කර ගන්න අපි සහයෝගය දෙනවා’

මා හිතවත් සෞඛ්‍ය කළමනාකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරිනියකට පියවුරු පිළිකාව හැදුණා’ ඇයගේ ඊට අදාළ සැත්කම් වෙන රොහලකින් කරලා තිබුණේ’ මෙහේ ඇවිති කීමෝ තෙරපි කරන කාලයේ හරියට වැටුණා’ ඇය මම අඳුරන නිසා මා හාමුවීමට ආවාම හරියට ඇඩුවා’ මෙතනින් එහාට යන්න බෑ මට කියමින් ඇඩුවා’ එහෙත් ඇය අපගේ උපදේස් මාලාවන් ද පිලිපදිමින් ඇයගේ චිත්ත ධෛර්යයෙන් ද විධිමත් ප‍්‍රතිකාරවලට මුහුණ දුන්නා’ විකිරණ ප‍්‍රතිකාරවට ලක් වීමෙන් හැළුණු ඇයගේ හිසකෙස් නැවත ආවා’ පසු කාලයක ඇය මා හමුවීමට ආවම කියනමා ඇයට ලැජ්ජයිලූ මේ යුනිට් එකට එන්න’ මොකද මං ඒ දවස්වල මෙතන ඇවිත් කොහොම හිටිය ද දන්නේ නැහැහ කියලා’

You may also like...