පොතක් ගැන යමක් – විල් තෙර මරණය

සෑම වසරක ම අපේ‍්‍රල් මාසය වනවිට පුතුගෙන් නැගෙන මැසිවිල්ලක් ඇත. ඒ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට රැගෙන යන්නැයි යන ඉල්ලීමයි. වසරක් පුරාම මේ සඳහා මුදල් ඉතිරි කරන ඔහු හිඟ පාඩුව මගෙන් හා මවගෙන් ඉල්ලාගෙන මේ සඳහා ලෑස්ති වෙයි. කුඩා කල දී නංගී හා අම්මා ද කැටිව යන නමුත් යොවුන් වියට පා තැබූ පසු ගෙදර සිටින අනෙක් පොත් පිස්සා වන මා සමඟ යෑමට වඩාත් ප‍්‍රිය මනාප බවක් දක්වයි. ඒ රිසියෙන් පොත් කියවමින් පොත් අතර රස්තියාදු වීමට හැකි බැවිනි.

අමරසේකරයන්ගේ අළුත්ම පොත  “විල් තෙර මරණය” මා මිලට ගත්තේ එහි දී ය. පිට කවරයේ ඇති සටහන්  කියවා බැලූ විට කුතුහලය සමඟ ඇති වූයේ අප‍්‍රසන්න සිතුවිල්ලකි. එයට හේතු වූයේ, මෙය සත්‍ය සිදු වීමක් මුල් කොටගෙන කරන ලද ප‍්‍රබන්ධයක් යැයි එතැන සඳහන් වීමයි.

පේ‍්‍රමයේ සත්‍ය කථාවක් පටන් අමරසේකරයන් කාලීන සමාජ සිද්ධිගෙන ඒවා කෙටි කථා හෝ නවකථා මෙන්ම කවි ලෙස ද (ආවර්ජනා) ප‍්‍රතිඋත්පාදනය කොට ඇත. ඔහු දිගින් දිගට ම වර්තමාන සමාජ දේශපාලනික ප‍්‍රශ්න අලංකාරාත්මක ව නිර්මාණකටයුතු වලට වස්තු කර ගනී. දැනට වසර 20-30කට පමණ පෙර, ප්‍රෙමයේ සත්‍ය කතාවක් කිය වූ මට එය අප‍්‍රසන්න යැයි ඒ දිනවල හැගුනේ එහි කථා නායකයින් කරන අමන ක‍්‍රියා අපත් කරනවා දැයි යන ප‍්‍රශ්නය ඇති වූ නිසා දැයි දැන් සිතේ.

‘විල් තෙර මරණය’ ගත් දින රාත‍්‍රියේ ම කිය වූ මම මට ඒ ගැන ගවේෂණ සඟරාවට ලිවිය යුතු යැයි සිතුනි. එහි කෙටි කතා හතරක් වෙයි.  “විල්තෙර මරණය” කෙටි නවකතාවක් ලෙස, හැදින්විය හැකි තරම් දිගු කෙටිකතාවකි. විශ‍්‍රාමිකයකුගේ ජීවිතයත්, සෙරෙප්පුව කටින් ඇල්ලීම හෙවත් අවසාන ජවනිකාව, ශල්‍යාගාරයේ වූ සිද්ධිය හා මගුල් ගෙයක්, සිහින ලෝකය මෙහි ඇති අනිත් කෙටි කථායි.

ලලිත් වීරමන්තී‍්‍ර නැමති ගැරුවරයාගේ ජීවිත කතාව ස්වයං චරිතාප‍්‍රදානයක් ලෙස ද ඔහුත් බිරිඳ වන මදිරා හා ලේකම්වරිය වන සුසිලා සහභාගී වන නාට්‍යයක් ලෙසද මේ කතාව දිග හැරේ.  නාට්‍යයේ අන්තයක් දුටු වීට අපුලක් ඉපදුන ද  කතා රසයට ඉන් බාධාවක් නැත. ඔහු කලින් ලියු  “පවුරු පදනම්” හා  “කවන්දයක කථාන්දරය” යන නාට්‍ය දෙකේන්ම මට දැනුනේ  “පේ‍්‍රමයේ සත්‍ය කතාවක්” හා “ආත්ම කතාවක්” කියවීමෙන් දැනුන සිතුවිල්ලම යිි. මුහුකුරා ගිය ශී‍්‍ර ලංකාවේ ජාතික ව්‍යාපාරය ද සම්බන්ධ වූ මෙම කෘතීන් යලි යලිත් කියවිය යුතු යැයි මට සිතුනත් නැවතත් ඒවා කියවීමට මට සිත හදාගත නොහැක.

ලලිත් වීර මන්තී‍්‍ර ඇමතිවරයාගෙන් ද, ධර්මසේන තිලකරත්නගෙන් ද, දොස්තර ධර්මසිරි ගෝවින්දගෙන්ද, ලංකාවේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන් සතුව තිබෙන උභතෝකෝටික ගැටළු පිළිබඳ ව ඔහු පැහැදිලි කරයි. ඔවුන් තෝරා ගත යුතුව තිබූ මාර්ගයන් පිළිබඳව ද විස්තර කරයි.