අමතක වූ උරුමය කවන්ධයට හිසක් (පොතක වත)

ගමනක මුලින් ඇරඹි ගමනක අගින් අවසන් වන මහා නවකතාව ගැනත් එමගින් පිළිබිඹුවන අපගේ මතකයට යන්තමින් මතක ඇති කාලයේ සිට දිග හැරුණු ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ගමන් මග පිළිබඳවත් ලිවීමට තදබල වුවමනාවක් තිබුණ ද කාර්ය බහුලත්වය නිසා දෝ එය කළ නොහැකි විය. එම නවකතාවෙන් පෙන්නුම් කරන (කොටස් නමයකට ප්‍රකාශ වුව ද එය මහා නවකතාවක් මැයි) සමාජ දේශපාලන ක්‍රියාවලියත් එමගින් නිරූපණය කෙරෙන ශ්‍රී ලංකාවේ මැද පන්තියේ කතාන්දරයක් අපගේ ම ජීවන කතාවේ පැතිකඩක් වෙයි. මෙම මධ්‍යම පන්තිය මුලින් ම නියෝජනය කෙරුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුව ද ජනතා විමුක්ති පෙරමුණ ද මේ මධ්‍යම පන්තියේ නියෝජනය විශේෂයෙන් ම 1960 දශකයෙන් පසුව දැරීය. ගවේෂණ සඟරාව මා මුලින් සිතූ අන්දමේ පුළුල් විග්‍රහයකට නුසුදුසු යැයි සිතුණ නිසා ම දෝ එම ලියවිල්ල දිනෙන් දින අතපසු විණි.

අමතක වූ උරුමය කවන්ධයට හිසක් නැමැති සමාජ දේශපාලනික ග්‍රන්ථය අමරසේකරයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ මේ අතරතුර යි. එම කාලය අතරතුර ම ගැමි තරුණ පරපුර නියෝජනය කරන, දේශපාලන පක්ෂයක ද අභ්‍යන්තර ගැටුම් මතු විය. වසර කිහිපයකට ඉහත දී තමාගේ ජාතිකවාදී හිස සිඳගත් මොවුන් මෑතක දී තම නාමික දේශීය වස්ත්‍රයන් ද ඉවත දමා නිරුවත් විය.

1977න් පසු ව ප්‍රචලිත වූ කොල්ලකාරී ආර්ථීක ක්‍රමයන්ට විකල්පයක් ලෙස 18 වෙනි සියවසේ යුරෝපයේ බිහි වූ යල්පැන ගිය චින්තනයන් හිස ඔසවන විට අමරසේකර විසින් ලියන ලද —අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?˜ යන කෘතියෙන් එයට විකල්පයක් සෙවීමට උත්සාහ ගත්තේ ය. අමරසේකරයන්ගේ මූලිකත්වයෙන් මතු වූ මෙම දර්ශනය යම් කිසි දුරකට ග්‍රාමීය තරුණ පරපුර තුළ පැළපදියම් වුව ද එය ශක්තිමත් ව වැළඳ ගත්තේ 21 වෙනි සියවසේ මැද පන්තියේ බුද්ධිමතුන් විසින් යැයි මට සිතේ. ජාතික චින්තනය බිහි වීම හා එහි ඉතිහාසය මහාචාර්ය නලින් ද සිල්වා විසින් 2011 දෙසැම්බර් 11 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහයෙන් පැහැදිලි ව දක්වා ඇත.

1980 ගණන්වල දී මාක්ස්වාදී දරු ගැබක් තුළින් බිහි වූ එම කලලය කිහිපවරක් ම ගබ්සා කිරීම්වලට ලක් ව නව සියවසේ දී එළිය දුටුවේ ය.  රටේ ඉදිරි ගමනට අවශ්‍ය දාර්ශනික මතවාදය විශේෂයෙන් ම ආර්ථීකය හැසිරවිය යුත්තේ කෙසේ දැයි මේ කෘතියෙන් දක්වා ඇත. මට මතක ඇති අන්දමට මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් අමරසේකර හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ මතවාදී ජනාධිපති හැටියටයි. මෙම කියමන මේ කෘතියෙන් වඩාත් තහවුරු වේ.

මහාචාර්ය සිසිර සිරිබද්දන