Project 4

සාගරය සරසන ඇල්ගී

මදූකා හර්ෂණි ද සිල්වා, ශිවන්ති අයෝධ්‍යා අබේගුණවර්ධන,

සමීපා නිර්මාණි රාජපක්ෂ, ගීතානි ප්‍රදීපිකා වීරසුරිය,

දිනෙෂ්කා කුමුදුනී හේපාපත්තිනි, ශ්‍යාමලී ඉන්දිකා වන්නිආරච්චි,

අවන්ති දිල්රුක්ෂි ගජසිංහ, දිල්නි රත්නායක,

තංගල්ල බාලිකා විදුහල.

 

සාරාංශය

අරමුණු

මුහුදු වෙරළ ආශ්‍රීත ඇල්ගී ශාක ව්‍යාප්තිය හා ඒ හා බැඳුණු සාධක අධ්‍යයනය කිරීම.

සැලැස්ම

තෝරාගත් මුහුදු වෙරළ ආශ්‍රීත ප්‍රදේශයක සිදුකෙරෙන සවිස්තරාත්මක හරස්කඩ අධ්‍යයනයකි.

පසුබිම

තංගල්ල අවට තොරාගත් මුහුදු වෙරළාශ්‍රිත  ප්‍රදේශයක අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

නිරික්ෂණය

ඇල් ගී වර්ග තුනකට අයත් විශේෂ 16 ක් අතුරින් 15ක් විද්‍යාත්මක ව හඳුනා ගැණිනි. ඇල්ගී ව්‍යාප්තියේ විෂමතාවක් අදාළ ප්‍රදේශවල ද නිරික්ෂණය කෙරුණි.

නිගමනය

තංගල්ල මුහුදු ආශ්‍රිත වෙරළ තීරයේ මනා විවිධත්වයකින් යුතු ව ඇල්ගි ශාක ව්‍යාප්ත ව ඇති අතර ගල්පර වල පිහිටීම මුහුදේ රළ පහර, හෝටල් ඉදිකිරීම හා මිනිස් පහසට ලක්වීම වැනි සාධක ඇල්ගී ව්‍යාප්තියේ විෂමතාවට හේතු ලෙස දැක්විය හැකි ය.

 

හැදින්වීම

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය ජෛව විවිධත්වය අතින් ඉහළ මට්ටමක පවති. ඒ අතර ඇල්ගී ශාකවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. නොයෙකුත් සාධක අධ්‍යයනය කිරීම පරිසර විද්‍යාත්මක මෙන්ම කාලීන වැදගත්කමක් ද උසුලයි.

ක්‍රමවේදය

ව්‍යාපෘතිය, තංගල්ල මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ පැතිරුණු ඇල්ගී ශාක පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයකි. එහි දී ඇල්ගීවල ස්වරූපය හා අදාළ විද්‍යාත්මක නම්, වඳ වී යන ඇල්ගී විශේෂ හඳුනා ගැනීම ඒ හා බැදුණු හේතු සාධක අධ්‍යයනය කෙරුණි.

 

සැලැස්ම

තංගල්ල අවට මුහුදු ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව තොරාගත් මුහුදු ප්‍රදේශ කිහිපයක සිතියම් සකස් කර ගන්නා ලදි. අදාළ ප්‍රදේශයේ ඇල්ගීවල ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම , සාම්පල ලබාගැනීම හා ඒවා හ\ුනා ගැනීම අනතුරුව සිදු කෙරුණි. ඇල්ගී ව්‍යාප්තියේ විෂමතා හා ඒ හා බැඳුණූ සාධක අධ්‍යයනය කිරීම ද ඊට අයත් විය.

ප්‍රතිඵල

තෝරා ගත් මුහුදු ප්‍රදේශය පුරා වර්ග තුනකට අයත් ඇල්ගී විශේෂ 16ක් ව්‍යාප්ත ව ඇති අතර ඉන් විශේෂ 15ක් විද්‍යාත්මක ව හඳුනා ගත හැකි ය. අධ්‍යයනය සඳහා තෝරා ගත් ප්‍රදේශවල ඇල්ගී ව්‍යාප්තියේ අක්‍රමවත් බවක් දක්නට තිබිණි.

බොහෝ ඇල්ගී ශාක දෘඩස්ථරයකට සවි වී වර්ධනය වී ඇත. මුහුදු වෙරළ තීරයේ ඇති ගල්පර, කොරල්පර ,උපස්තර කර ගනිමින් බොහෝ ඇල්ගී වර්ධනය වේ. තෝරා ගන්නා ලද සමහර ස්ථානවල ගල්පර කොරල්පර දක්නට නොලැබුණු අතර එවැනි ස්ථානවල ඇල්ගී ව්‍යාප්තිය ගල්පර සහිත ස්ථානවල ඇල්ගී ව්‍යාප්තියට වඩා අඩු විය.

මුහුදු රළ පහරේ වේගය වැඩි ස්ථානවලට වඩා රළ පහරේ වේගය අඩු ස්ථානවල ඇල්ගී බහුලව ව්‍යාප්තව තිබිණි.

වෙරළ තීරයේ හෝටල් ආශ්‍රිත ව එකදු ඇල්ගී විශේෂයක් හෝ දක්නට නොලැබුණි.

නිතර මිනිස් පහසට ලක්වන පරවිවැල්ල වැනි ජනාකිර්ණ මුහුදු තීරයේ ගල්පර පැවතුන ද ඇල්ගී ශාක දක්නට නොවීය. සුර්යාලෝකයට මනාව නිරාවරණය වු මුහුදු ප්‍රදේශයේ ඇල්ගී ව්‍යාප්තිය අනෙක් ප්‍රදේශවලට සාපෙක්ෂව වැඩි මට්ටමක පැවතිණි.

නිගමන

ව්‍යාපෘති දත්ත විශලේෂණයේ දී පෙනී යන ප්‍රධාන කරුණක් නම් තංගල්ල මායිම් කරන වෙරළ ප්‍රදේශයේ ඉතා හොඳ ඇලAගී ව්‍යාපෘතියක් දක්නට ලැඛෙන බවයි. එහි හරිත ඇල්ගී, දුඹුරු ඇල්ගී , හා රතු ඇල්ගී වල මනා ව්‍යාප්තියක් දක්නට ලැබීණි.

ජනාවාස වලින් ඈත්වු මුහුදුරළ සැඩ පහර අඩුවෙන් ලැඛෙන ගල්පර සහිත ප්‍රදේශවල හොඳින් ඇල්ගී වැඩේ.

ඇල්ගී වැඩීමට සුදුසු උපස්ථර සහිත ප්‍රදේශයක වුව ද සුර්යාලෝකය වැනි අනෙකුත් අවශ්‍ය සාධක දුලභ නම් මිනිස් පහසට ලක්වීම වැනි සාධක සුළභ නම් ඇල්ගී වර්ධනයට ඇත්තේ අවම ඉඩ ප්‍රස්තාවකි.

හෝටල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇල්ගී විශේෂ කිසිත් ව්‍යාප්ත නොවී තිබීම හෝටල්වලින් පිටකෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් හෝ සංචාරකයන් ගේ ආගමනය හේතුවෙන් සිදු වූවා විය හැකිය.

ව්‍යාපෘතියට අදාළව සිදු කෙරුණු හරස්කඩ ගවේශණය පාදක කරගනිමින් ඉන් ඔබ්බට දිවෙන කාල පරාසයක් තුළ ඇල්ගී ව්‍යාප්තිය සිදුවන වෙනස්විම් හා ඒ හා බැඳුණු සාධක පිළිබඳ ව සිදුකෙරෙන ගවේෂණයක අවශ්‍යතාව ඉස්මතු කිරිම මෙහි දී වැදගත් වේ. සුර්යාලෝකයට මනාව නිරාවරණය වු මුහුදු ප්‍රදේශයේ ඇල්ගී ව්‍යාප්තිය අනෙකුත් ප්‍රදේශවලට සාපෙක්ෂව වැඩි මට්ටමක පැවතුණි.

 

විද්වතුන්ගේ ඇසින්

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

 

ව්‍යාපෘතියේ කාලෝචිත බව

පෘථීවියේ ප්‍රධාන ලෙස ඔක්සිජන් සපයන ප්‍රභවය ලෙසත් මිනිසාගේ ආහාර ප්‍රශ්න විසදීමේ දී ඇල්ගී සෘජුව හා වක්‍රව දායක වීමත්, ශී්‍ර ලංකාව සංචාරක කර්මාන්තය හා මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය සංවර්ධනයට වන දායකත්වයත් විවිධ, ආර්ථීක වශයෙන් වැදගත් දෑ නිපදවීම සඳහා ඇල්ගී යොදා ගැනීමත් යන කරුණු සැලකීමේ දී තෝරා ගෙන ඇති ව්‍යාපෘතිය ඉතා කාලෝචිත හා ජිව විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වූවක් බව අපගේ අදහසයි.

 

යොදා ඇති මාතෘකාව සම්බන්ධව

 

සමස්ත ව්‍යාපෘතිය පිළිබඳ සැලකිල්ලට ගත් විට ඒ සඳහා වු මාතෘකාව සාගරය සරසන ඇල්ගීවල අනාගත ඉරණම හෝ අදාළ ප්‍රදේශයේ ඇල්ගී  සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගත වී ඇති ගැටලූ වැනි මාතෘකාවක් වඩා උචිත බව මාගේ හැඟීමයි.

 

නිවැරදි ජීව විද්‍යාත්මක වචන උපයෝගී කර ගැනීම

 

මෙම ව්‍යාපෘති වාර්තාවේ ස්ථාන කීපයක ම ඇල්ගී ශාක ලෙස නම් කර ඇති අතර උසස් පෙළ වත්මන් සිසුන් ජීව විද්‍යාව අධ්‍යයනයේ දී උපයෝගී කර ගනු ලබන වර්ගීකරණයේ ඇල්ගී අයත් වන්නේ ශාක ලෝකයට නොව  සුන්‍යෂ්ටික ප්‍රාක්තමයින් අන්තර්ගත වන රාජධානියට බව දැන සිටිය යුතුයි.

 

නිගමනවලට එළඹීම සම්බන්ධව

 

නිගමනවලට එළඹීමේ දී පියවි ඇසට පෙනෙන ඇල්ගී මත පමණක් බැස ඇති නිගමන කෙතෙක් සාධාරණ හා නිවැරදි වේ ද යන්න මෙහි දී සිතා බැලිය යුතු යි. සාගරය තුළ ප්‍රධාන නිෂ්පාදකයා වන්නේ අන්වීක්ෂීය ඩයටම කාණ්ඩයට අයත් ඇල්ගී බවත් මේ අනුව ඒවා මුහුදු තෘණ ලෙස හඳූන්වන බවත් අප සිත්හි තබා ගත යුතු ය.

නිගමනවලට එළඹීමේ දී අපගේ කල්පිතයේ ඇති පූර්ව නිගමන තහවුරු කිරීමට දත්ත උපයෝගී කර ගැනීම සිදු නොකළ යුතු අතර දත්ත විශ්ලේෂණය මත පමණක් ස්වාධීන වී නිගමනවලට එළඹීම විද්‍යාත්මක ක්‍රමය වේ.

මෙහි සඳහන් සංචාරක කර්මාන්තය හේතු කොට ගෙන (හෝටල් ආශ්‍රිත ප්‍රදේශවල) ඇල්ගී කිසිවක් දක්නට නොලැබීම මත බැස ඇති නිගමනය කෙතෙක් වලංගුද යන්න සැක සහිත වේ. හේතුව හෝටල් සඳහා වෙරළාසන්න ප්‍රදේශ තෝරා ගැනීමේ දී ගල්පර රහිත පුළුල් වැලි තලාවන් ඇති ස්ථාන තෝරා ගන්නා බැවිනි.

පරිසර පද්ධතියක් අධ්‍යයනයේ දී ජෛව විවිධත්වය කෙරෙහි සූර්යාලෝකයේ බලපෑම වැදගත් සාධකයක් ලෙස  වූ පිළිගැනීම මෙම ඇල්ගී විවිධත්වයට ද බලපානු ඇතැයි සලකා සූර්යාලෝකයට මනාව නිරාවරණය වූ මුහුදු ප්‍රදේශයේ ඇල්ගී ව්‍යාප්තිය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි මට්ටමක පවතී යන නිගමනයට එළඹීම තංගල්ල වැනි ප්‍රදේශ ස්ථාන කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් බැස ගත හැකි නිගමනයක් නොවන බව අපගේ හැඟීමයි. ගොඩබිම් පරිසරයක මෙන් නිවර්තන සාගර පරිසරයක නිශ්චිත මුහුදු ගැඹුරක සෑම විට ම ආලෝකය බොහෝ දුරට නියත වන අතර එය විශාල ලෙස උච්ඡාවචනය වන සාධකයක් නො වේ.

 

කේ.ඒ.ජී. කුලවංශ

ජීව විද්‍යා ආචාර්ය, නාලන්ද විද්‍යාලය, කොළඹ 10