Project 15

ව්‍යාපෘති අංක 15

බීජ වපුල දා සිට අස්වැන්න නිවසට ගෙන යන තාක් කල් වී ගොවියාගේ ක්‍රියාකාරීත්වය

එම්. පී. චන්ද්‍රා කුමාරි මාත්ගමුව යාය 11 – 12 පරාක්‍රමබාහු මහා විදුහල, පදවි ශ්‍රී පුර 2003

අරමුණු

  • ලස්සනගම ප්‍රදේශයේ වී ගොවිතැනේ යෙදෙන ගොවීන් භාවිත කරන බිත්තර වී වර්ග හඳුනා ගැනීම.
  • ලස්සනගම ප්‍රදේශයේ බහුල ලෙස වගා වන වී වර්ග හඳුනා ගැනීම.
  • අස්වැන්න නෙළීමට ප්‍රථම සිදු කරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර හඳුනා ගැනීම.
  • ලස්සනගම ප්‍රදේශයට ආවේණික කමත් භාෂාව හඳුනා ගැනීම.
  • අස්වැන්න අඩු හෝ වැඩ වීමට බලපාන හේතු සාධක හඳුනා ගැනීම.
  • බිජු වපුල දා සිට අස්වැන්න නිවසට ගෙන ඒම දක්වා වී ගොවියාගේ සමස්ත ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම.

හැඳින්වීම

—මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට ද සුදුසු යි, යනුවෙන් පරාක්‍රමබාහු රජතුමා කළ ප්‍රකාශය ඉතිහාස ගත වූයේ වී ගොවියා හා ඔහුගේ වගාවේ ශ්‍රෙAෂAඨත්වය පිලිබිඹු කරවමිනි. වර්තමාන හෝ අනාගත සමාජයට බිහි වන තරුණ කැළ විරැකියාවෙන් පීඩා වින්ද ද වී ගොවිතැන වැනි කාර්යක්ෂම ක්‍රියාවලියක නිරත වීමට මැලිකමක් දක්වන්නේ නව තාක්ෂණය හා මුසු වීමේ අවශ්‍යතාව මෙන් ම නොදැනුවත්කම නිසා බව පැහැදිලි කරුණකි.

ව්‍යාපෘති කරන ආකාරය

පළමු ව ලස්සනගම ප්‍රදේශයේ වී ගොවිතැනෙහි බහුලව යෙදෙන තරුණ හා මහලූ වයස් කාණ්ඩයන්ගෙන් ගොවීන් සිව් දෙනෙකු තෝරා ගෙන බීජ තොරා ගැනීමේ සිට ම අවසානය දක්වා ඔවුන්ගෙන් තොරතුරු සපයා ගෙන අනතුරුව එසේ එක්රැස් කොට ගත් තොරතුරු හෙවත් දත්ත සංවිධානය කොට දීම.

 

පෙරවදන

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුඩා මායිම් ගමක් වන ලස්සනගම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ධනෝපායන මාර්ගය කෘෂිකර්මය යි. එහි දී වී ගොවිතැනට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. නමුදු ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් සමාජයට ප්‍රවිශ්ට වන තරුණ තරුණියන් විරැකියා ප්‍රශ්නය මත පීඩා විඳිතත්, වී ගොවිතැන වැනි අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මැලි වෙති. එය නවීකරණය වන සමාජය තමාට හිමි වන තත්ත්වය මත සිදුවන්නක් ලෙස අර්ථ කථනය කළ හැකි ය.

හඳුනා ගත් ගොවීන්ගේ තොරතුරු

  1. නම :- කේ. ආරියරත්න

වයස :- අවුරුදු 38

  1. නම :- ඩබ්. එම්. රාජසිංහ

වයස :- අවුරුදු 30

  1. නම :- කේ. පී. දියෙලියස්

වයස :- අවුරුදු 68

  1. නම :- ආර්. ඩී. කිරිනේලිස්

වයස :- අවුරුදු 65

 

ප්‍රදේශයට අනුගත වී වර්ග හා වැඩි අස්වැන්නක් ලැඛෙන බිත්තර වී වර්ග

ප්‍රදේශයේ බහුල ව වගා වෙන වී වර්ග කිහිපයක් හඳුනා ගත හැකි විය. එනම්,

බී. ජී 11

පොකුරු සම්බා

කීරි සම්බා

34 / 8

94 / 1

නදීර

මුරුංගාකායන්

කිරි මුරුංගා

සූදූරු සම්බා

352

කලූ හීනැටි

පච්ච පෙරුමාල්

එච්. 4

එච්. 6

හො~රාවාල

හීනටි

සුදු පුදු කම්බන්

කොරා වී

ඉහතින් කී වී වර්ග අතුරින් වර්තමානය වන විට වගාවෙන් ඉවත් වී ඇති වී වර්ග කිහිපයක් ද හඳුනා ගත හැකි ය.

එනම්,

සුදු පුදු කම්බන්

කිරි මුරුංගා

සූදූරු සම්බා

මුරුංගාකායන්

හො~රාවාල

ඇල් වී

හීනටි

ප්‍රදේශයේ වගා කෙරෙන වී වර්ග අතුරින් ඉහළ අස්වැන්නක් ලබා දෙන වී වර්ග

බී. ජී. 11, පොකුරු සම්බා, 94 /1

අතීතයේ දී ලස්සනගම ප්‍රදේශයේ වැඩි අස්වැන්නක් ලබා දෙන වී වර්ග

සම්බා

සූදූරු සම්බා

හීනටි

ගොවීන් මුලින් ම කරන්නේ වගාවට ජලය සම්පාදනය කිරීමේ පහසුව සඳහා වාරි ඇළ දෙපස සුද්ද පවිත්‍ර කිරීම යි. නවීන ක්‍රමෝපායන් මගින් වී ගොවිතැන සිදුකරනු ලබන ගොවීන් පැවසූ අයුරු, ඔවුන් ඇළවේලි සුද්ද කිරීමෙන් අනතුරු ව කුඹුර සඳහා ජලය සම්පාදනය කොට ගනිති. නමුදු දියෙලියස් ගොවියා පැවසූ ආකාරයෙන් නම් ගොවීන් මුලින් ම කළ යුත්තේ අවට කමත්වලින් ගත් පිදුරු, වැටමාර අතු ආදිය කුඹුරෙහි ලියැදිවල තුනී කොට දමා ජලය හැරවීම යි. සම්ප්‍රදායික ගොවිහු ගවයන් මගින් බිම් සකස් කළහ. අමතර ව ඔවුහු උදැල්ලක් මගින් බිම් සකස් කොට ගත් බව ද පැවසූහ. නවීන ගොවීහු පහසුව සහ කාලය වැය වීම වළක්වා ගැනීම සඳහා නවීන ක්‍රමවේද භාවිත කරති. —ට්‍රැක්ටර්වලින් සී සෑම පහසු යි. ඒ වගේම ඉක්මන්˜

කුඹුර මෙවැනි තත්ත්වයක තිබිය දී ගොවීන් බිත්තර වී සකස් කළ යුතු ය. නව පරපුරෙහි ගොවීන් පැවසුවේ පදවි – පුර ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සපයා ගත් බිත්තර වී පැය 24ක් දියෙහි පොඟවා ගොඩ ගෙන දවස් තුනක් තිස්සේ එයට වතුර ඉසිමින් උණුසුම් කරන බව යි. පසුව එම වී පෙහොර උර තුළින් ඉවත් කොට අත් ගැසීමක් සිදු කරන බවත් එම ගොවීහු පැවසුහ.

සාම්ප්‍රදායික ගොවීහු බිත්තර වී දිය දැමීමමට ප්‍රථම සුදුසු වී වර්ගයක් තෝරා ගැනීම සඳහා —පත බැ`දීම˜ නම් පර්යේෂණයක් සිදු කළහ. එහි දී වී අත්මිටක් ගෙන එය එක් දිනක් දියෙහි පොඟවා, හබරල පිත්තක් දෙකට පලා අහි අතුරා, රෙදි පටකින් වෙලා දින තුනක් පමණ තැනපත් කොට තැබීමෙන් පසු ගෙන විවෘත කර බලති. එහි දී වැඩි බිජු සංඛ්‍යාවක් කණු කැපි ඇත්නම් එම වී, බිත්තර වී සඳහා සුදුසු බැව් තීරණය කරති.

මෙසේ තෝරා ගත් වී එක් දිනක් දියෙහි පොඟවා, කලින් දින ගොම මැටි ගෑ පොළවක යහනක් සේ ඉහිරී නොයන ලෙසින් අතුරා ඒ මතින් හබරල අතු අතුරා, ඊටත් මත්තෙන් මාගල්, ගල් ආදිය දමා හිර කොට දින තුනක් තබන බව පැවසේ. දින තුනකින් පසු ගල්, මාගල්, හබරල පිති ආදිය ඉවත් කොට වී අත් ගසා, කැට පොඩි වූ පසුව එම වී වැපිරීම සඳහා සුදුසු ඒවා වේ.

පසුව වක්කඩවල් කඩා හැර මඩ හීය හාමින් ලියැදිවල කාණු සකස් කරයි. මෙම කාණු උදැල්ලක් මගින් සකස් කොට පෝරු ලෑලි මගින් ඇළවල් පෑදෙන සේ සකස් කර ගත යුතු ය. මෙහි දී මඩහීය ලෙසින් හැඳින්වූයේ, අවසන් වරට කුඹුර මඩ කිරීම යි. එනම් හෑම යි. අනතුරුව කලින් සකසා ගත් බිජු ගොවි බිමෙහි වපුල යුතු ය.

වල් නෙළීම ලෙසින් සඳහන් කළ ද, නවීන ගොවීන් මේ සඳහා බොහෝ විට සිදු කරනුයේ රසායනික ද්‍රව්‍ය යොදා වී වගාවෙහි පවතින වල් ඉවත් කිරීම යි.

සාම්ප්‍රදායික ගොවීන් වී ගොවිතැනෙහි වල් නෙළිමේ දී ගායනා කරන ලද නෙළුම් කවි ද වේ. මේ කාර්යයන් සඳහා කාන්තාවෝ ද දායක වූහ. බිජු වැපිරීමෙන් දවස් තුනකට පසුව එසේ ම දින 7කින් පසුව ද කුඹුරට ජලය සම්පාදනය කළ යුතු බව ගොවීහු පවසති.

අනතුරු ව ගොයම පැසීම දක්වා ජලය අවශ්‍ය යැ යි හැඟ=ණු විට කුඹුරට ජලය සැපයිය හැකි ය. සාම්ප්‍රදායික ගොවීන් බොහෝ විට කුඹුරු සඳහා ජලය සම්පාදනය කොට ගත්තේ වර්ෂාවෙන් බැව් පැවසේ.

බොහෝ අවස්ථාවන්හී දී ගොයමට හානි සිදු වන්නේ ගොයම් මැස්සන්ගෙනි. ගොයම් මැස්සන් විනාශ කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදිය හැකි බවට නවීන ගොවීන් ප්‍රකාශ කළ නමුදු සාම්ප්‍රදායික ගොවීහු කඳුරු කෝටු 4ක් කුඹුර වටා සිටුවා තල තෙලින් පොඟවන ලද පන්දම් 4ක් ඒ මත තබා අඳුර පැමිණෙන විට අවුලූවති.        එසේ ම කෙහොඹ දර කුඹුරේ තැන්තැන්වල තබා ගිනි තැබිමෙන් ද, දොඹ තෙල් කඹයක හොඳින් ආලේප කොට නියර දෙපස සිට ගොයම හරහා කිහිපවිටක් ඇදගෙන යෑමක් ද සිදුකරමින්, ඔවුන් ගොයමට හානි කරවන ගොයම් මැස්සන් මර්දනය කොට ගනී. එසේ ම ගමේ කපුරාළ ලවා මැතිරූ අළු ඉසීමක් ද ඔවුන් සිදුකොට ඇත. මෙම ක්‍රම මුදල් වැයවීමකින් තොර ව සිදු කළ හැකි ය. එසේ ම ආහාර සඳහා ගන්නා බීජවලට රසායනික ද්‍රව්‍ය එකතු වීමක් මෙහි දී සිදු නො වේ.

—බංඩි අවස්ථාවෙන් පස්සේ ගොයම පත් වෙන්නේ හීන් බංඩි තත්ත්වයට යි. ඉන් පසුව තමයි ගොයම මහ බංඩි අවස්ථාවට පත් වෙන්නේ.˜ මහ බංඩි අවස්ථාවෙන් පසුව පිදුම් බංඩි අවස්ථාව එළඹෙන අතර මෙම අවධියේ දී ගොයම් කරල කඳින් එළියට ඒමට සූදානමින් සිටී. අනතුරුව බංඩි පීදේ. එය පිදුම් බංඩි ලෙසින් හඳුන්වනු ලබයි. බංඩි පීදිමෙන් අනතුරු ව ගොයම කිරට නැමේ.

මෙම අවස්ථාවන් වන විට ගොයම ඌරන්, අලින් වැනි සිවුපා සතුන්ගෙන් රැක ගැනීමට සිදු වේ. මේ හේතුවෙන් රාත්‍රී කාලයේ දී පැල් රැකිය යුතු ය.

සෙනසුරාදා සහ බදාදා දින දෙක හැරුණු විට අනෙක් දිනයන් හි ගොයම් කැපීම සුදුසු යැ යි සැලකේ. ගොයම් කැපීමෙන් පසුව ඒවා එක්කාසු කොට මිටි බැඳීම සිදු වේ. වර්තමාන ගොවීන් ලණු මගින් ගොයම් මිටි බැන්ද ද සම්ප්‍රදායික ගොවීන් ඒ සඳහා යොදා ගනුයේ කොළ පැදුරු නම් වූ, තල කොළ භාවිතයෙන් වියන ලද කුඩා පැදුරු වර්ගයකි.

වී නිවසට ගෙන යන තෙක් කමතෙහි ක්‍රියාකාරකම්

නව පරපුරේ ගොවීන් කමතෙහි පවතින පාවරය ට්‍රැක්ටරයක් මගින් පාගවා ගනී. පාරම්පරික ගොවීන් ඒ සඳහා භාවිතා කරනුයේ අම්බරුවන් ය.

නව පරපුරේ ගොවීහු කොළ පාගා අවසන් වූ පසු බැත රාහි කොට ගොඩවල් දෙකක් වන සේ සකස් කොට —වී ෆෑන් කිරීම˜ ලෙසින් පවසමින් වී ඇට පමණක් වෙන් කොට ගෙන උරවලට පුරවා නිවසට රැගෙන එති.

සාම්ප්‍රදායික ගොවීහු බැත රාහි කිරීමෙන් අනතුරු ව යතුරු මගින් බරු හැඩයෙන් සකසන ලද ලී දෙකක් මගින් පරිසරයෙහි පවතින සාමාන්‍ය සුළඟින් ද ඔවුන් බරු ඇට සුද්ද පවිත්‍ර කොට ගනිති.

ගොවීන් අස්වැන්න ගෙන ගොස් තැන්පත් කළේ වී බිස්සේ හෝ අටුවේ ය.

 

වී ගොවියාගේ චාරිත්‍ර වාරිත්‍ර සහ වත්පිළිවෙත්

වී වගාවෙහි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඛෙහෝ විට කතා කළ යුත්තේ සාම්ප්‍රදායික ගොවීන් පිළිබඳ ව ය. මන්ද යත් වර්තමානයේ එනම් නව පරපුරේ ගොවීන් පාරම්පරික ගොවීන් මෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ඨ සිද්ධ කිරීමෙහි දායක වන ප්‍රමාණය අල්ප වන බැවිනි. නව පරපුරෙහි ගොවීහු ඇතැම් විට, මෙසේ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ඨ කිරීම මිථ්‍යාවක් ලෙසින් පිළි ගනිති.

නව පරපුරේ ගොවීහු බිජු වැපිරීමේ දී පැළ වී වලට වැඳීමක් හැරුණු විට අන් චාරිත්‍රයක් සිදු නො කරති.

ගොයම් කැපීමෙන් අනතුරු ව කමතේ දී ද චාරිත්‍ර වාරිත්‍ර ඉටු වන අතර බොහෝ විට සාම්ප්‍රදායික ගොවීහු කමත ශද්ධ භූමියක් සේ සැලකූහ.

එසේ ම කමතේ දී ගොවීහු අසභ්‍ය චවන භාවිත නො කරති. ඈනුම් ඇරීමක් හෝ ඇඟමැලි කැඩීමක් හෝ නො කරති. කමතින් පිටත දී භාවිත කළ වචන කමතේදී භාවිත නොවන අතර  කමත සඳහා වෙන ම සකස් වූ භාෂාවක් ඇත. ස්ත්‍රීන් කමත් භූමියට නො පැමිණෙන අතර, කමත කිළිවලට අසු වීම ද සුදුසු නො වෙති යි ගොවීහු සැලකූහ. එසේ ම උපත් කිල්ල, මරණ කිල්ල ආදියට හසු වී සිටින කිසිවෙකුත් තුළට වද්දා නො ගැනේ.

වී උර පිරවීමේ දී ගොවීහු දෙවියන් උදෙසා මුල් ම කොටස ඉවත් කරති.

අස්වැන්නේ ප්‍රමාණය සහ එහි අඩු වැඩි වීමට බලපාන හේතු

මෙහි දී නව පරපුරේ ගොවීන්ගේ අස්වැන්නෙහි ප්‍රමාණයට වඩා පාරම්පරික ගොවීන්ගේ අස්වැන්නේ ප්‍රමාණය ඉහළ ය. සාම්ප්‍රදායික ගොවීන් අස්වැන්න අඩු වීමට හේතුව

 

ලෙස දැක්වූයේ කොහොඹ දෙවියන් කමත භාර නො ගත් නිසා එසේ වන බව යි. නමුදු නව පරපුරේ ගොවීන් පවසනුයේ ජලයෙහි හිඟකම හා පොහොර යෙදීම පමා වූ විට අස්වැන්න බොල් වන බව යි.

අස්වැන්න වර්ධනය සඳහා වර්තමානයේ සිදු කළ හැකි ශිල්පීය ක්‍රම

සරු අස්වැන්නක් ලබා ගැනීම සඳහා වර්තමානයේ ගොවීන් හට භාවිත කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. ඒ අතර,

             නිසි කලට කුඹුරට ජලය යෙදීම

             නිසි කලට පොහොර ඉසීම

             වැඩි අස්වැන්නක් ලැඛෙන බීජ වැපිරීම

             ඊ. එම් තාක්ෂණය වැනි ශිල්පීය ක්‍රමයොදා ගැනීම.

             ස්වාභාවික ක්‍රම මගින් ගොවිබිම සැකසීම වේ.

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි.  කෘෂිකර්මයේ දුබල හා ප්‍රබල පැති හඳුනා ගැනීම, කෘෂිකර්මය දියුණු කිරීමට තබන මූලික පියවරකි. මේ අනුව සිසුවිය තෝරා ගෙන ඇති මාතෘකාව අපට ඉතා ම වැදගත් සහ කාලෝචිත වේ.

අධ්‍යයනය සඳහා තෝරා ගෙන ඇති ගොවි මහත්වරුන්ගේ සංඛ්‍යාව මඳ බවක් පෙනුණ ද අධ්‍යයනය සඳහා ගත කළ කාලය යන සාධකය සැලකීමේ දී ගැඹුරු අධ්‍යයනයක් කිරීමට සුදුසු සංඛ්‍යාවක් තෝරා ගෙන ඇති බව පැවසිය හැකි ය.

කිසියම් දුරකට හෝ හේතුඵල සම්බන්ධතා ගැළපෙන පරිදි අධ්‍යයනය සැලසුම් කළේ නම් වාර්තාව වඩා අර්ථාන්විත වන්නට ඉඩ තිබිණි.

පාරම්පරික ගොවීන්ගේ ක්‍රියාකාරකම්වල විද්‍යාත්මක පදනම හා ගොවීන් භාවිතා කරන නව ක්‍රමවල වාසි අවාසි විග්‍රහ වන ආකාරයේ සාහිත්‍ය විමර්ශනයක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණි නම් පර්යේෂණ වාර්තාව වඩා ප්‍රයෝජනවත් වනු ඇත. කුඹුරට වැටමාර හා පිදුරු යෙදීම පිළිබඳ විද්‍යාත්මක පැත්ත, වල් නෙළිම හා වල්නාශක යෙදීමේ ශෂ්‍ය විද්‍යාත්මක බලපෑම්, මඩු මල්, දළුක්, කොහොඹ තෙල් ප්‍රතිකර්මවල විද්‍යාත්මක පැහැදිලි කිරීම් වාර්තාවට එක් වූයේ නම් එය ඉතා රසවත් සාරවත් අධ්‍යයනයක් වනු ඇත.

පාරම්පරික ක්‍රම අනුගමනය කළ ගොවි මහත්වරුන්ගේ අස්වැන්න නවීන ක්‍රම භාවිත කළ අයට වඩා වැඩි වීම නව අත්දැකීමකි¦ පර්යේෂණ අනාවරණවල දී එයට හේතු සාකච්ඡා කළ හැකිව තිබිණි නම් එම නිගමනයේ වටිනාකම වැඩි වනු ඇත. කණ්ඩායම් දෙකේ වියදම් ආදායම් ලැයිස්තු ගත කළේ නම් ප්‍රතිඵලවලින් කියැවෙන කරුණු වඩාත් තීව්‍ර කළ හැකි ව තිබිණි. ලෝකයේ දියුණු රටවල කාබනික ගොවිතැන හා එහි ඵලදාවට විශේෂ තැනක් හිමි කර දී ඇත. මෙම ව්‍යාපෘතියේ අවදානයට ලක් වන පාරම්පරික ගොවීන් කාබනික ගොවිතැන භාවිත කර ඇති නිසා ඉහත කරුණු සඳහන් කළේ නම් වඩා අකර්ෂණීය වාර්තාවක් වනු ඇත. ශාස්ත්‍රීය පොත් පත් සඟරා පමණක් නො ව එදිනෙදා පුවත්පත්වල පවා මීට අදාළ ලිපි නිතර පළ වන බැවින් ඒවා සපයා ගත හැකි ව තිබිණි. එහෙත් දුෂ්කර හා කොළඹින් ඈත පාසලක ශිෂ්‍යාවක් ලෙස මේ පර්යේෂණ කළ ශිෂ්‍යාවට එවැනි දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් කරා ළඟා වීමට නොහැකි වී ඇති බව දක්නට ලැබේ.

එමෙන් ම සරු අස්වැන්නක් සඳහා ගොවීන් හට භාවිත කළ හැකි ක්‍රම යන පරිච්ඡේදය අධ්‍යයන වාර්තාවක —නිර්දේශ˜ යන්නට අනුරූප බවක් පෙනී යයි. එය මීටත් වඩා අධ්‍යයන හා ගැළපී යන අයුරු ඉදිරිපත් කළ හැකි ව තිබිණ.

කෙසේ වෙතත් කලා විෂයයන් හදාරා ඇති ශිෂ්‍යාවක හැටියට මෙවන් අධ්‍යයන මාතෘකාවක් තෝරා ගැනීම හා සාර්ථක ව පර්යේෂණ සම්පූර්ණ කර වාර්තාවක් සකස් කිරීම ඛෙහෙවින් අගය කළ යුත්තකි.

ඒ. කේ. විතානගේ

ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය