Project 12

ජල සම්පාදනය සහ සනිපාරක්ෂාව

කේ. එල්. දර්ශිකා ලක්මාලි, මහමායා බාලිකා මහා විදුහල, කැලණිය

හැඳින්වීම

ජලය ජිවිත පැවැත්මට අත්‍යවශ්‍ය ය. නමුත් රෝග බීජයක් මුසු වුණු අපිරිසිදු ජලය, ජලය කෙහෙත් ම නැති වූ විට වන්නාක් සේ ම මරාන්තික වන්නට පුළුවන. දියුණු වන රටවල ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති තුන්සිය කෝටියක ජනගහනයෙන් හතරෙන් තුන් පංගුවකට ම බීමට හා පාවිච්චියට ප්‍රමාණවත් ජල සැපයුමක් හෝ සනීපාරක්ෂාවක් නැත. මෙයින් ද ඉතා ම දරුණු ලෙස පීඩා විඳින්නේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන්නන් ය. එසේ ම වඩාත් ම පීඩා විඳින්නේ අවුරුදු පහට අඩු ළමුන් ය.

අරමුණු

  • ජල සම්පාදනය හා සනීපාරක්ෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඒ තුළින් අන් අයට අවබෝධයක් ලබා දීම.
  • අනාගතය සඳහා ජලය සුරක්ෂිත කරවීම.
  • ජල දූෂණය හැකිතාක් අඩු කර ගැනීමේ මාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
  • ප්‍රශස්ත ආකාරයේ ජලය පාවිච්චි කිරීම පිළිබඳ අවබෝධයක් ලබා දීම.

ගෘහස්ථ ජල සම්පාදනය

ගෘහස්ථ ජල සම්පාදනය යන්නට බැලු බැල්මට පෙනෙනවාට වඩා විශාල සංකල්පික ප්‍රදේශයක් අයත් වේ. ඒවා ප්‍රධාන කණ්ඩායම් හතරකට වර්ග කළ හැකි ය.

  1. අවශ්‍ය ජලය ප්‍රමාණාත්මක ව සහ පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම.
  2. එය ලබා ගැනීමට හැකි වීම ගැන විශ්වාසය තැබීමට හැකි වීම.
  3. ගුණාත්මක බව
  4. සේවයේ වැදගත්කම පිළිගැනීම.

ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද විශ්ලේෂණයක් අනුව මූලික වශයෙන් පුද්ගලයකුට අවශ්‍ය වනුයේ දිනකට ලීටර 15කි.

දිගුකල් පවත්නා නියඟ නිසා ජල හිඟයෙන් ගම්බද ජනයා වඩාත් පීඩා විඳීමට අමතර ව එම හේතුවෙන් රෝග පීඩාවලට ගොදුරු වීමට අමතර ව එමඟින් මිනිස් බලය ද අඩු වේ. මෙසේ මිනිස් බලය අඩු වෙන්නේ තම දිවි පැවැත්ම සඳහා වඩා හොඳ අරමුණකට යොමු කළ හැකි කාලය, ජලය සෙවීම සඳහා යෙදීමට ඔවුන්ට සිදු වී ඇති නිසා ය.

මහජනයාට වර්ග තුනක ජලය අවශ්‍ය වේ.

  1. කෑම පිසීම හා බීම සඳහා ඉතා වැදගත් තත්ත්වයේ ජලය
  2. සේදීම හා නෑම සඳහා එම ගුණාත්මක තත්ත්වයේ නොවුණත් දූෂණයෙන්, වර්ණයෙන් හා ගඳින් තොර වූ ජලය
  3. වතු වැඩ සහ වෙනත් කටයුතු සඳහා අඩු ගුණාත්මක තත්ත්වයෙන් යුතු ජලය

 

 

යෝග්‍ය ජල සහ සනීපාරක්ෂක තාක්ෂණය

සෞඛ්‍යය දියුණු කළ හැකි පූර්ව අවශ්‍යතාවක් නිර්මාණය කිරීමට හොඳ ජල සැපයුමක් සලසා දීම ඉවහල් වේ. ජලය හා සනීපාරක්ෂා ව්‍යාපෘතිවල සාර්ථකත්වය සඳහා වැදගත් වන තීරණ වන්නේ ජලයේ පිරිසිදුකම, පහසුවෙන් නඩත්තු කිරීම, සමාජ පිළිගැනීම හා සේවාවන් පුළුල් කරන අතරතුර පිරිවැය පහළ මට්ටමක තබා ගැනීම යන කරුණු ය.

ඉන්දියා මාක් 11 අත් පොම්පය, ගුරුත්ව – ප්‍රවාහ නළ ක්‍රමය, සම්ප්‍රදායික වළ වැසිකිළිය, කොටු – දෙකේ වැසිකිළිය, ජලයෙන් ගසා හැරීමේ වැසිකිළිය යන ඒවායේ තාක්ෂණය හා වැදගත්කම පිළිබඳ ව ව්‍යාපෘති වාර්තාවේ දී රූප සටහන් සමග විස්තර කර ඇත.

ජලය, සනීපාරක්ෂාව සහ රෝගීභාවය ලෝකයේ රෝගවලින් 60%ක් ම ප්‍රමාණවත් නොවන සනීපාරක්ෂාව හෝ ජලය නිසා ඇති වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි.

ජලයෙන් වැළෙඳන රෝග

බෝවීමට හේතු

  1. මළ මූත්‍රා කවළම් වූ ජලය පානය කිරීම
  2. අපිරිසි ජලයෙන් සේදූ ආහාර පරිභෝජනය කිරීම
  3. දෑත්, මුහුණ සහ උපකරණ අපිරිසිදු ජලයෙන් සේදීම

රෝගවලට නිදසුන්

ටයිෆොයිඩ්, කොලරා, පාචනය, අතීසාරය, බෝවන සෙංගමාලය

රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග

  1. ජලයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම
  2. අපිරිසිදු ජල මාර්ග භාවිතය වැළැක්වීම
  3. පානය කරන ජලය උතුරවා ගැනීම

සනීපාරක්ෂාව සහ ලෙඩ රෝග වැළැක්වීමේ සැලැස්ම

  1. රෝග වැළැක්වීම ගැන උනන්දුවක් දැක්වීම
  2. බටහිර වෛද්‍ය ක්‍රමය දේශීය තත්ත්වයට ගැළපෙන අන්දමට සකස් කර ගත යුතු ය.
  3. වෛද්‍ය අධ්‍යාපනික ක්‍රමයක් දියත් කළ යුතු ව ඇත.

නිගමන

  1. ජල සම්පාදන හා සනීපාරක්ෂාව පිළිබඳ මහජනයාට අවබෝධයක් ලබා දීම
  2. ඒ තුළින් අන් අයට එලෙස ක්‍රියා කරවීමට සැලැස්වීම
  3. අනාගත ලෝකය සඳහා සැබවින් ම ජලය පවිත්‍ර ව තබා ගැනීමට පියවර ගැනීම

 

තොරතුරු සපයා ගත් මූලාශ්‍ර

  • ආර්ථීක විමසුම සඟරාව
  • විදුසර පුවත්පත

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

ජල සම්පාදනය හා සනීපාරක්ෂාව යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජලය ආශ්‍රිත මාතෘකා කිහිපයක් ඔස්සේ වැදගත් තොරතුරු රැසක් එක් රැස් කොට තිබේ. ශ්‍රි ලංකාව තුළ ජල සැපයුම් ස්වභාවය, ගෘහස්ථ ජල සම්පාදනය, නාගරික ජල සැපයුම, මහ කොළඹ ප්‍රදේශයේ ජල සම්පාදනය, ජලය අපතේ යන ක්‍රම, වියළි කලාපයේ ගැඹුරු ළිං මගින් පිරිසිදු ජලය ලැඛෙන බව යන කරුණු වාර්තාවේ මුල් කොටසේ ඇතුළත් වී තිබේ. අනතුරුව පිලිපීනය හා මලාවි යන රටවල ජල සම්පාදනය සම්බන්ධ අත්දැකීම් ඇතුළත් ය. වාර්තාව අවසානයේ ඉන්දියා මාර්ක් අත් පොම්මයක ඵලදායකත්වය, ගුරුත්ව නළ ක්‍රමයක විස්තර, විවිධ වැසිකිළි වර්ග පිළිබඳ හා බෝතල් කළ ජලය පිළිබඳ ලිපියක් ඇතුළත් ය. ජලයෙන් වැළෙඳන රෝග පිළිබඳ විස්තරයක් ද අඩංගු කර ඇත. මෙම තොරතුරු පිළිබඳ සලකා බලන කල ව්‍යාපෘතියේ යෙදුණු ශිෂ්‍යාව ජල සම්පාදනය හා සනීපාරක්ෂාව පිළිබඳ පෞද්ගලික ව දැනුමක් හා අවබෝධයක් ලබා ඇති බව පැහැදිලි ය. එය අගය කළ යුතු වේ.

නමුත් පාසල් මට්ටමේ ව්‍යාපෘති මගින් අප අපේක්ෂා කළ යුත්තේ කවරක් ද? ඉහත සඳහන් අන්දමේ විසිරුණු දැනුමක් ගොනු කොට තැබීම පමණක් ප්‍රමාණවත් ද? යන ප්‍රශ්න ව්‍යාපෘති වාර්තාව කියවීමෙහි දී මතු වේ. ව්‍යාපෘති මාතෘකාව අනුව සැලකූ විට මෙය කිසියම් ගැටලූවක් විසඳීම කෙරෙහි යොමුවන ව්‍යාපෘතියකි. නමුත් මෙහි ඇති ගැටලූව කුමක් ද යන්න ප්‍රථමයෙන් පැහැදිලි කර ගත යුතු ය. ව්‍යාපෘතියක නිරත වන ආධුනික ශිෂ්‍යයකු හට මේ සඳහා නිවැරදිව මගපෙන්වීම ගුරුවරුන්ගේ කාර්යය විය යුතු ය. උදාහරණයක් ලෙස ශ්‍රි ලංකාව තුළ ජල සම්පාදනය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පොදු ගැටලූවක් තිඛෙන බැවින් ශිෂ්‍යයා වෙසෙන ප්‍රදේශය අලලා එම ගැටලූවේ ස්වභාවය අධ්‍යයනය කිරීමට ඇය යොමූ කරවූයේ නම් තමාගේ ආසන්න පරිසරය අධ්‍යයනයෙන් ඇය වැදගත් දැනුම් කොටසක් අනාවරණය කර ගනු නිසැක ය. ඒ සඳහා හැකියාව ශිෂ්‍යයාව තුළ තිඛෙන බව ඇය විසින් සිය වාර්තාවට ඇතුළත් කර තිඛෙන තොරතුරු මගින් මනා ව හෙළි වේ. මෙම තොරතුරු සෙවීමටත්, ඒවා ඇගේ මුතුවන් අකුරින් සටහන් කිරීමටත්, ඇය විශාල කාලයක් හා ශ්‍රමයක් කැප කරන්නට ඇත. එවන් ශක්තියක් වඩාත් ඵලදායී කටයුත්තක් කෙරෙහි යෙදවීමෙන් අනාගතයේ සිය පරිසරයට ආදරය කරන, එය රැක ගන්න කැප වුණු පුරවැසියකු බිහි කරන්නට අවකාශය සැලසෙනු නොඅනුමාන ය.

විදුසර පුවත්පත හා ආර්ථීක විමසුම සඟරා කියවීමෙන් ශ්‍රි ලංකාවත්, ලෝකයත් ආශ්‍රයෙන් සනීපාරක්ෂක ජලය පිළිබඳ ගැටලූ ස්වභාවය ඇය අනාවරණය කොට ගෙන ඇත. තොරතුරු පෙළ ගැස්වීමට පමණක් ව්‍යාපෘතිය සීමා කිරීම තරුණ ජවයට අවමන් කිරීමක් ලෙස මට හැෙඟ්. උසස් පෙළ විභාගය සඳහා දරුවනට තිඛෙන සීමිත කාලය ව්‍යාපෘති නිසා නිශ්ඵල ලෙසට වැය වන බවට මිථ්‍යා මතයක් ගොඩ නැගීමට මෙවැනි ව්‍යාපෘති ද හේතුවනු ඇතැයි හඟිමි. මන්ද මෙවැන්නක් නිම කිරීමෙන් පසු ශිෂ්‍යයා තුළ උසස් ආකල්ප සංවර්ධනයක් සිදු වීමට ලැඛෙන ඉඩ ප්‍රස්ථාව සීමිත ය. එහි දී අඩු වශයෙන් තමා ජීවත් වන නගරයේ ජල මූලාශ්‍ර, එහි ජල සම්පාදනය සිදු කරන ආකාරය, එහි වැසියන් ජලය පරිහරණය කරන ආකාරය පිළිබඳ තොරතුරු රැස් කිරීමට ශිෂ්‍යාව යොමු කළේ නම් එම ප්‍රදේශයේ ජල පරිහරණයේ ස්වභාවය පැහැදිලි ව හඳුනා ගැනීමට ඇයට හැකි වනු ඇත. තමා අයත් ප්‍රජාවෙහි ගෘහස්ථ ජල භාවිතය, කර්මාන්ත සඳහා අවශ්‍ය ජල සම්පාදනය යනුවෙන් එය සුවිශේෂ ව දකන්නට ඇයට අවස්ථාව ලැඛෙනු ඇත. සිය ප්‍රදේශයට ජලය සැපයෙන මාර්ග අධ්‍යයනය කිරීමෙන් කෙතෙක් දුරට ජලය අරපිරිමැස්මෙන් යුතු ව භාවිතා කළ යුතු ද යන්න ගැන යෝජනා ඉදිරිපත් කිරීමට යොමුවක් ඇයට ලැඛෙනු ඇත. එම තොරතුරු ඇයගේ සමකාලීනයන් තුළට ද ගලා එනු නිසැක ය. මේ සඳහා තෝරා ගත් ප්‍රදේශයේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සම`ග සම්මුඛ සාකච්ඡාවන්ට ශිෂ්‍යයාව යොමු කළේ නම් අවශ්‍ය තොරතුරු සපයා ගන්නට ම`ග සැලසෙනු ඇත.

ව්‍යාපෘතියේ දී සැලකිල්ල යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් ලෙස එහි අරමුණු ලියා ඇති ආකාරය දැක්විය හැකි ය. මෙම ව්‍යාපෘති වාර්තාවෙහි අරමුණු කිහිපයක් දක්වා තිබේ.

  • ජල සම්පාදනය හා සනීපාරක්ෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
  • ඒ තුළින් අන් අයට අවබෝධයක් ලබා දීම
  • අනාගතය සඳහා ජලය සුරක්ෂිත කරවීම
  • ජල දූෂණය හැකිතාක් අඩුකර ගැනීමේ මාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම
  • ප්‍රසස්ථ ආකාරයේ ජලය පාවිච්චි කිරීම

මෙම අරමුණු ලිය වී ඇති ආකාරයෙන් හැෙඟනුයේ ඒහි අදියර දෙකක් ඇති බවත්, දෙ වන අදියරේ දී ජල සම්පාදනය හා සනීපාරක්ෂාව පිළිබඳ මහජනයා දැනුවත් කරන බවත් ය. නමුත් ව්‍යාපෘති වාර්තාව සම්පාදනයෙන් අවසන් වී තිබේ. එහි දෙ වන අදියරක් ගැන සඳහනක් නැත. එසේ නම් ව්‍යාපෘති වාර්තාවකින් නිම කරන අයුරින් අරමුණු සකස් විය යුතු ව තිබේ. මේ පිළිබඳ ව නිසි උපදෙස් ශිෂ්‍යාවට ලැබී නැත. ජල දූෂණය හැකිතාක් අඩුකර ගැනීමේ මාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවට ඒ සඳහා උචිත යෝජනාවලියක් ඉදිරිපත් කිරීම යනුවෙන් අරමුණු සකස් කළ හැකි ව තිබිණි. ඒ ඔස්සේ වාර්තාව සකස් කළේ නම් ශිෂ්‍යාව විසින් පුවත්පත් හා සඟරා ඇසුරෙන් සොයා ගෙන ඇති ජල පොම්පය, බෝතල් ජලය, ආදී තොරතුරු සමග සාකච්ඡා කරමින් තම පරිසරයේ ජල සම්පාදනය අධ්‍යයනයෙන් ලැඛෙන අනාවරණ හා ගැළපෙන යෝජනා ඉදිරිපත් කිරීමට ඇයට අවකාශ ලැඛෙනු ඇත.

එම්. ඒ. ඒ. සරෝජනී ඩයස්

ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී

පර්යේෂණ හා සංවර්ධන දේපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය