Project 10

පාසල් වත්තේ ඔසු උයනක්

චමාලි රංගිකා සමරකෝන් ජයසිංහ – එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය මුල්ලේරියාව

හැඳින්වීම

බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සමයේ උන්වහන්සේට රෝගාබාධ වල දී ප්‍රතිකාර කළ ජීවක වෛද්‍යවරයාගේ  න්‍යායය අනුව සැලකිමේ දී මිහිතලයේ වැවෙන සෑම ශාකයක් ම ඖෂධ ශාකයක් ලෙස සලකනු ලැබේ. පුරාණ කාලයේ සිට ම අපේ රටේ ජනතාව එදිනෙදා ජිවිතයට අවශ්‍ය වන අහාර, පළතුරු, ඛෙහෙත් පැළෑටි ආදිය තමන්ගේ ගෙවතුවල වගා කර ආරක්ෂා කිරීම පුරුද්දක් කොට ගෙන තිබුණි. ඖෂධ පැළෑටි භාවිත කරමින් තම සෞඛ්‍ය ගැටලූ හ`දුනා ගැනීමේ විද්‍යාව වසර 2500කට වැඩි ඉතිහාසයක් මුළුල්ලේ ම ශ්‍රී ලාංකිකයන් විසින් අනුගමනය කර ඇත. එහෙත් ලංකාව විදේශිය ආක්‍රමණවලට ලක්වීමෙන් අනතුරු ව අද වන විට ශීඝ්‍රයෙන් බටහිර සිරිත්විරිත් අනුගමනය කරන ජනතාවක් බවට පත්වීම නිසා ගෙවතුවලින් එම පැළෑටි ගස්වැල් ඉවත් වී අලංකාරය පමණක් මුල්කරගෙන ගෙවතු නිර්මාණය වෙමින් පවතී. ඖෂධ ශාක වඳ වී යාමේ තර්ජනයට ද අද අපි මුහුණපා සිටිමු.

අරමුණු හා අභිමතාර්ථ

  1. අපොස උසස් පෙළ ව්‍යාපෘතියක් කළ යුතු වීම.
  2. විනාශ වෙමින් යන ඖෂධ පැළෑටි සංරක්ෂණය කිරීම.
  3. පාසල තුළ ඔසු උයනක් ආරම්භ කිරීමට දායක වීම.
  4. දේශිය වෛද්‍ය විද්‍යාව ගැන කිසියම් හෝ අවබෝධයක් ලබා ගැනීම හා අන්‍යයන්ට දැන ගැනීමට සැලැස්වීම.

ක්‍රියාත්මක කළ ආකාරය

  • මාතෘකාවක් තෝරා ගැනීම
  • අවශ්‍ය උපදෙස් අදාළ ගුරුවරුන්ගෙන් ලබා ගැනීම
  • අවශ්‍ය භූමිය විදුහල්පතිතුමාගේ අවසරය මත ලබා ගැනීම
  • අවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ගැනීම
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

දත්ත හා දත්ත විශ්ලේෂණය

රෝගවලට ගුණදායක දේශිය ශාක සහ ශාක කොටස් මෙසේ වේ.

  • දෙළුම් – උදර හා සෙම් රෝගවලට
  • වැල් පෙනෙල – වා-පිත් සමනය කරයි
  • අමුකහ – ඇදුම, පීනස හා අපස්මාරයට
  • මොණරකුඩුම්බිය – සෙංගමාලය, සමේ තුවාල ආදියට
  • කුප්පමේනියා – පණු රෝග හා සෙම් රෝග වලට
  • පාවට්ටා – ඇදුම හා ප්‍රතිශ්‍යාවට
  • නිදිකුම්බා – සමේ තුවාල, දද, කැසීම් හා මුත්‍රා රෝගවලට
  • ඉඟ=රු – තුන් දොස් සමනය කරයි
  • සාරණ – ඉදිමුම් හා මූත්‍රා ගල්වලට
  • කොහොඹ – උණ, සෙම හා සමේ කුෂ්ටවලට
  • ඇඹුල් ඇඹිලිය – අජීරණයට හා අතීසාරයට
  • තීප්පිලි – කැස්ස හා ප්‍රතිශ්‍යාවට
  • කෝමාරිකා – සමේ පිළිස්සීම් හා උදර රෝගවලට
  • කරපිංචා – සර්ප විෂ හා චර්ම රෝගවලට
  • ඇත්තෝර – සමේ රෝග හා අක්මාව, ආමාශය පිරිසිදු කිරීමට
  • තෝර – සමේ රෝග හා රුධිරය පිරිසිදු කිරීම
  • ඉරිවේරිය – අතීසාරය හා සුදුකබර වලට
  • බැබිල – තුවාල පිරිසිදු කිරීමට හා බරවා රෝගයට

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් ¸

දේශීය චින්තනය මුල් කර ගනිමින් උසස් අරමුණු අතැති ව තමන්ගේ ම ව්‍යාපෘතියක් සැලසුම් කර ගැනීමේ වුවමනාව මෙම ප්‍රයත්නයේ දී ඉස්මතු වී ඇත. ව්‍යාපෘති ආකෘතියක තිබිය යුතු සමහර ගුණාංග සම්පූර්ණ වී නැතත්, හැඳින්වීම, අරමුණු හා අභිමතාර්ථ යටතේ ලියැවී ඇති සාහිත්‍යමය කරුණු ප්‍රමාණවත් ය.

ලියැවී ඇති වාර්තාවේ පහත අංශ කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇති ව ක්‍රියාත්මක කළේ නම් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ව තිබුණි.

  • අරමුණු හා අභිමතාර්ථ ඃ දේශිය ඖෂධ බෝග පිළිබඳ පාසල් දරු දැරියන්ගේ ආකල්ප හා ඒ පිළිබඳ උනන්දුව වර්ධනය කර ගැනීමේ දී, පළමු ව දැනට පවතින තත්ත්වය උරගා බැලීමට මේ සම්බන්ධ ප්‍රශ්නාවලියක් හා ඔවුන් සම`ග සාකච්ඡාවක් මගින් යථා තත්ත්වය තේරුම් කර ගැනීමට පුළුවන්කම තිබිණි. මෙයින් අනාවරණය කර ගන්නා කරුණු දත්ත විශ්ලේෂණය සඳහා පදනම් කර ගැනීමට ද හැකි ව තිබිණි.
  • ඖෂධ වටිනාකමක් ඇති බෝග දහ අටක් පිළිබඳ බෝගයේ ස්වභාවය හා ඒවායේ ඖෂධීය ගුණාංග සඳහන් කර තිබීම වැදගත් කොට දැකිය හැකි ය. එහෙත් ව්‍යාපෘති වාර්තාවක තමන් සිදු කළ අධ්‍යයනයේ ප්‍රතිඵල හා ඉන් අනතුරුව සාකච්ඡාවට භාජනය වීම වැනි තේමා ඉහත බෝග දහ අට වැනි ඇසුරින් කළ හැකි ව තිබුණි.
  • ඉහත දක්වා ඇති අරමුණු යටතේ සකස් කර ගැනීමට නියමිත ඔසු උයන පවත්වා ගෙන යාම හා ඒ මගින් පාසලේ සෙසු අය සංකල්පය පිළිබඳ යොමු කර ගැනීම හා දැනුවත් කිරීම සඳහා ඔබට කාලය ප්‍රමාණවත් ව යොදා ගැනීමට හැකි වුයේ කෙසේ දැ යි සඳහන් කළ හැකි ව තිබුණි.

කෙසේ වෙතත්, දේශිය සම්පත් ඛෙහෝ විට දෙවැනි හා තෙවැනි තැනකට තල්ලූ කරන මෙවන් යුගයක, පාසල් යන දරුවකු වශයෙන් මෙවැනි තේමාවක් යටතේ අධ්‍යයනයක නිරත වීම අතිශයින් ප්‍රශංසා කලයුතු ය. මක්නිසා ද යත් රටට ආදරය කරන දරු පිරිසක් අධ්‍යාපනය මගින් බිහි කර ගැනීම අද විශාල අභියෝගයක් බවට පත් වී ඇති හෙයිනි.

ආර්. ෆ්‍රැන්සිස්කෝ

ව්‍යාපෘති නිලධාරී, ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා ව්‍යාපෘතිය,

ජාතික අධ්‍යාපන ආයතනය

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් ¸¸

මෙම ව්‍යාපෘතිය නිසැකයෙන් ම කාලෝචිත ව්‍යාපෘතියකි. ශිෂ්‍ය උපනයනයේ දී මෙම ශිෂ්‍යාව එමඟට යොමු කළ අය අනාගතය උදෙසා ආයෝජනයක් කර ඇත. ඇය විසින් සඳහන් කරන අභිමතාර්ථ ඵලදායී අදහස් ම වේ.

ක්‍රියාත්මක කළ ආකාරය

ව්‍යාපෘතිය සඳහා යොදාගත් සම්පත් ඇසුරේ ඖෂධ පැළෑටි වගාව සඳහා තමා ගත් ක්‍රියා මාර්ගය පැහැදිලි කිරීම අවශ්‍ය ය. ඒවා ලබා ගත් ක්‍රමය ඇට වශයෙන් ද පැළ වශයෙන් ද වෙනත් ක්‍රමයකට ද යනු සඳහන් කිරීම අවශ්‍ය වේ.

ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීමේ දී තමන් මුහුණ දුන් ගැටලූ කිසිවක් සඳහන් කර නැත. තමන් යෙදූයේ ස්වභාවික පොහොර ද නවීන පෙහොර ද? එසේ අවශ්‍ය නො වී ද යනාදිය සඳහන් කළ යුතු ය.

පාසල් ඔසු උයන් ආදර්ශනය සැකසීමේ දී තමන් යොදාගත් බිම් ප්‍රමාණයේ වර්ග ප්‍රමාණය සඳහන් කළ යුතු ය. එසේ කිරීමේදී තමන් යොදාගත් ශාක ප්‍රජාව එම ඉඩකඩ භාවිතයට ගන්නා ආකාරය සැලසුම් කළ ආකාරය ස`දහන් කළේ නම් එය ව්‍යාපෘතියේ මෙහෙයුම් අගය වැඩි කරයි. එයින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ විශ්වසනීයත්වය ද වර්ධනය වනු ඇත.

දත්ත හා දත්ත විශ්ලේෂණය

මෙම මාතෘකාව යටතේ ශිෂ්‍යාව සෘජු ව ම ප්‍රවේශ වන්නේ ඇය තෝරා ගත් පැළෑටි සංඛ්‍යාව හා ඒවායේ ගුණාගුණ ගැන විස්තර කරන්නට ය. එහි දී එම දැනුම ලබා ගත් ආකාරය සම්බන්ධ ව විධිමත් ප්‍රකාශයක් නැත. පුස්තකාල ආශ්‍රිත ග්‍රන්ථ ගත කරුණු නම් ඒවායේ විස්තර ඇතුළත් කළ යුතු ය. සියලූ තොරතුරු ලබා ගත්තේ එක් විද්වතකුගේ මාර්ගයෙන් නම් ඒ බව පැහැදිළි ව නම, ගම, ස්ථානය ඇතුළුව සඳහන් කළ යුතු ය. ශිෂ්‍යාවකට එම ඖෂධවල ගුණ ස්වකීය අත්දැකීම් ලෙස උපදේශකයෙකු ඇසුරේ වුව ද මෙම කාල පර්ච්ෙජ්දය තුළ ලබා ගත නො හැකි ය.

මෙම ශාකවල ඖෂධීය ගුණ සඳහන් නවීන විද්‍යාව මගින් හඳුනාගත් රසායනික වර්ග සඳහන් නො කර තිබීම ඉතා වැදගත් ය. එයට හේතුව ව්‍යාපෘතිය පුරා එක් සම්ප්‍රදායක් රැකීමට උත්සහ කරන බැවිනි.

එහෙත් පැළෑටි හැඳින්වීමේ දී උද්භිද විද්‍යා නාම ද යෙදීමට සැලකිලිමත් වී තිබේ. එය ඉතා වැදගත් ය. පැළෑටිය නිවැරදි ව හඳුනා ගැනීමට එය ඉවහල් වන බැවිනි.

ඖෂධවල ගුණාගුණ ගැන ප්‍රකාශ කිරීමේ දී නිවැරදි මගක ගොස් එම තොරතුරු සොයා ගෙන ඇති බව පෙනේ. තෝර ශාකය ගැන සඳහන් කිරිමේ දී එය දිව්‍ය ඖෂධයක් වශයෙන් සඳහන් කර ඇත.මෙවැනි ව්‍යාපෘති වාර්තාවක එවැනි අලංකාරෝක්ති භාවිතා කිරීම සුදුසු නැත.

ව්‍යාපෘතිය හා ව්‍යාපෘති වාර්තාව

පොදුවේ මෙම ව්‍යාපෘති වාර්තාව ගත් කළ එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය ඇත්තේ කොහි ද යන්න සඳහන් කර නැත. එම ශිෂයාව මෙම ව්‍යාපෘතිය කවර දේශගුණික හා කාලගුණික රටාවකට සිදු කළේ ද යන්න තේරුම් ගැනීමට ක්‍රමයක් නැත. නිදිකුම්බා ශාකය ඇයගේ ඔසු උයනේ ව්‍යාපෘතියට අයත් ශාකයකි. එය ඇත්ත වශයෙන් ම වැව්වේ ද නැතහොත් ව්‍යාපෘති භූමිය තුළ ඉබේ වැවි තිබුණෙහි ද යන ප්‍රශ්නය පැන නඟී. නිදිකුම්බා ශ්‍රී ලංකාවේ බහුල ව වැවෙන අධික ව්‍යාපෘතියක් සහිත ශාකයකි. පාලනය කළ නො හැකි ශාකයකි. අනෙක් ශාක ගත් කල්හි බොහෝමයක් උද්‍යාන අලංකරණයන්ට යොදාගත හැකි ශාකයන් ය. ශිෂ්‍යාවගේ එක් අභිප්‍රායක් වන්නේ ඔසු උයන් වැවීම කෙරෙහි ජනතාව පෙළඹවීම ය. එසේ වී නම් එම නිරීක්ෂණය ඇයට මතු කළ හැකි විය යුතු ය.

මෙම ශාක අතරට කොහොඹ ගස ද යොදා ගෙන ඇත. මෙය මුල් අවස්ථාවන්හි දී කුඩා භූමි ප්‍රමාණයක එහි සඳහන් අනෙක් ශාක සම`ග උයනක් ලෙස වර්ධනය කළ හැකි ය. එහෙත් ගස වැඩෙත් ම අනෙක් ශාකවලට පරිසරය ඛෙදා ගැනීමට හැකි වේ ද යන්න ප්‍රශ්නයකි. මෙය භූමියේ ඉඩකඩ මත තීරණය වේ.

පාසල් වත්තේ ඔසු උයනක් යන මාතෘකාව සහ අරමුණු හා අභිමතාර්ථ අනුව තම ව්‍යාපෘති වාර්තාව තුළ ඔසු ගුණ ගැන වාර්තාවක් උක්ත මාතෘකාවට අදාළ නොවන පරිදි ඉදිරිපත් කිරීම වෙනුවට, ඔසු උයනේ වවා ඇති ශාක සම්බන්ධව ඉහත කී ගුණ ගැන වාර්තාව ඇය විසින් පාසලේ අනෙක් ශිෂ්‍යයින් දැනුවත් කිරීමක් ලෙස, පුස්තකාලය වෙත ඉදිරිපත් කළ ගුණාගුණ වාර්තාවක් ලෙස සටහන් වුණා නම් එය මැනවින් ගැළපේ.

ප්‍රධාන මාතෘකාවට අදාළ අධ්‍යයනයක්, එනම් පාසල් ඔසු උයනක් වැවීම, එහි සමාජීය අත්දැකිම්, එමගින් ශිෂ්‍ය ප්‍රජාව තුළ දැනුම වැඩි වීමට හෝ දේශිය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව ගොඩ නැඟ=ණු හොඳ හෝ නරක අත්දැකීම් සටහන් වීම අවශ්‍ය ය.

වෛද්‍ය හේමචන්ද්‍ර පතිරත්න

සභාපති – ජාතික වෛද්‍ය පදනම බත්තරමුල්ල